අම්මටයි තාත්තටයි පින් පුරනවා
දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වන අතර
ලෝකවාසී බොදු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සීල ගුණෝපේත ධර්ම විනයධර යතිවරයාණන් වහන්සේ
නමකි.
උන්වහන්සේගේ දහම් දේශනාවන්ගෙන් ධර්ම ඥානය නොලද එකදු ලාංකේය බෞද්ධයෙක් නොමැති
තරම් ය.
මේ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් තමන් වහන්සේගේ පින්වත් මෑණියන් ගැන කී
කතාව ය.
මගේ අම්මා ඩබ්ලිව්.ටී. සෝමාවතී. දික්වැල්ලේ බතීගම ඩිංගි අප්පුහාමි පියාණන්,
වීරසූරිය ආරච්චිගේ සේදරහාමි මෑණියන් මගේ අම්මාගේ මව්පියන්. පවුලේ දූ දරුවන් හය
දෙනාගෙන් පස්වැනි දුවණිය ඇයයි. විවාහයෙන් පස්සේ අම්මා දොඩම් පහළ හිරිකැටිය ගමට
එනවා.
මගේ තාත්තා විජේදාස කස්තුරිආරච්චි. රැකියාව හැටියට කළේ කැමරාකරණය. වැඩි කාලයක්
ජීවත් වුණේ යාපනේ. ඒ නිසා මගේ කුඩා කාලය වැඩිපුරම ගෙවුණේ අම්මාගේ සමීපයේ. ඒ කාලේ මා
දුටු ලස්සනම කාන්තාව මගේ අම්මා. ඇයගෙන් ලැබුණු ආදරය, කරුණාව මොන තරම් ද? හැම
මොහොතකම අම්මාගේ හිතේ තිබුණේ අප සතුටින් තබන්නටයි. අම්මා ඒ වෙනුවෙන් ජීවිතයම කැප
කළා. අපමණ වෙර වීරිය දැරුවා.
මගේ අම්මාගේ කාරුණික බව තමන්ගේ දරුවන්ට විතරක් සීමා වුණේ නෑ. ගමේ හැම දරුවෙක් ම
අම්මට තමන්ගේ ම දරුවන් වගේ. වරදක් දුටු තැන දඬුවම් කරන්න ඇය කිසිම වෙලාවක පැකිළුණේ
නෑ. සරුංගල් යවන වෙල් එළියේ, මුහුදු වෙරළේ, කලපුව මායිමේ නිතරම අම්මාගේ ඇස් රැඳුණා.
ඒ කවුරු හෝ දරුවෙක් අනතුරක් කරගනියි කියන බයට. අපේ ගම මුහුදට සමීපව, කලපුවට
මායිම්වයි තිබුණේ. මේවා බිලිගන්නා තැන්. කාගේ හෝ දරුවෙක් ඒ තැනෙක ඉන්නවා දැක්කොත්
අම්මගෙන් කෝටුපාර නියතයි. අම්මා දකිනකොට ‘ඔන්න සෝම නැන්දා එමෝ’ කියල හැමෝම දුවනවා.
මගේ අම්මා ගැහැනු ළමයින්ට හරි ආදරෙයි. අපේ පවුල බරපතළ වුණත් අම්මාගේ ඥාතීන්ගේ දූලා
හැදුණේ වැඩුණේ අපේ ගෙදර. එළදෙනගේ කිරිටික දොවලා අම්මා අපට දුන්නේ නෑ. ඒවා ලැබුණේ
ගෙදර හිටිය ඥාති ළමයින්ට. නොතේරුම්කමට අප කියනවා ‘අපිට කහට තමයි’, කියලා. ‘කිරි ටික
නොදුන්නොත් ඒ ළමයිනුත් ඔය කතාවම කියයි. හෙට මගෙ පුතාලට දෙන්නම්' ඒ වෙලාවට අම්මා
ප්‍රශ්නෙ විසඳනවා. ඒත් ඒ හෙට දවස නම් ආවේ නෑ.
අපේ තාත්තා කවදාවත් මත් වතුර බීවේ නෑ. ඒ නිසා ගෙදර රණ්ඩු සරුවල් ඇති වුණේ නෑ. එය අප
ලැබූ ලොකු භාග්‍යයක්. අම්මා රණ්ඩු දබර කළේ නෑ. කුස්සියේ කතා බහක් ඇති වුණත් මම හරි,
මගේ අයියා හරි ඒ පැත්තට යනවා. එතකොට ඒ කතාවත් නවත්වනවා.
ඒ කාලේ අම්මයි තාත්තයි වාද කළේ හිටිවන කවියෙන්. හිත අමනාප වුණාම තාත්තා ගිහින් පාරේ
වාඩිවෙනවා. අම්මා වළං සෝදන ගමන් තාත්තට කවියෙන් දොස් කියනවා.
“කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල’ වගේ සමාජමය කවිත් ඒ අතර කියැවෙනවා. තාත්තා
කවියෙන් ම උත්තර දෙනවා. මේ කවි පුංචි අපේ හිත්වල ඇති කළේ අපූරු රසඥතාවයක්.
අපේ ගෙදර කවදාවත් ගාණට මිම්මට ආහාර පිසුවේ නෑ. බත්වලට අමතරව කොස් ගෙඩියක්, අල බතල
ඩිංගක් තම්බන්න අම්මා අමතක කළේ නෑ. හැම වේලකටම ගෙදර කෑම ඉතිරි වුණා. ගමේ කෙනෙක්,
අසල් වැසියෙක් පාරේ යනවා දැක්කොත් අඬ ගහලා කෑම ටිකක් දෙන්න අම්මා අමතක කළේ නෑ.
“මාටින් මාමේ, මල්ලියේ ඇවිල්ලා කාල පළයල්ලා” කියලා අම්මා කියනවා. ඒ නිසා අපේ ගෙදර
නිතරම කවුරුහරි ගැවසෙනවා. එය අපට හයියක් වුණා.
අම්මා උගත් කෙනෙක් නොවෙයි. ඉස්කෝලේ ගිහින් තියෙන්නේ දෙකේ තුනේ පන්තියට විතරයි. ඒත්
අම්මා තුළ තිබුණු මහා ඤාණයක් අපි දැක්කා. මගේ අම්මා සමාජ සේවයට හරිම ලැදියි. කාගෙ
හරි දුකක දි, කරදරයක දී මුලින් ම පෙනී හිටියේ අම්මා. ගමේ කවුරු හෝ හදිසියේ අසනීප
වුණත් රෝහලට ගියේ මගේ අම්මාගේ උකුළේ.
ගමේ රණ්ඩු දබරයක් ඇති වුණත් අම්මා බය නැතිව ඉස්සරහට යනවා. සාමකාමී කරනවා. අදත් ඒ
ආධිපත්‍යය ඒ විදිහමයි. තමන්ගේ ආඥාව තබාගෙනයි ඉන්නේ. ගමේ හැමෝම අම්මට බයයි. ඒ වගේ ම
ගරු කරනවා.මොන තරම් වැඩිහිටියන් වුණත් අම්මාගේ ආඥාව අපටත් ඒ වගේ ම තමයි.
අම්මා පුළුවන් හැම වෙලාවෙම සිල් සමාදන් වෙන්න ගියා. අපේ ගෙදර කළුවර කාමරයක් තිබුණා.
එය වෙන් කරලා තිබුණේ බුදු කුටිය විදිහට. හැමදාම මල් පහන් පූජා කළා.
හැමදාම නින්දට යන්න කලින් බුදුගුණ සිහි කරන්න ඕනෑ. ‘ඉතිපි සෝ’ ගාථාව කියන්න ඕනෑ.’
අම්මා මට හොඳට ගුණ දහම් පුරුදු කළා. මම පැවිදිවෙන්න පන්සලට එනකොට අවශ්‍ය සියලු බණ
දහම් ටික ඉගෙනගෙනයි ආවේ. අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නෑ. හොඳ ඇබිත්තයෙක් විදිහට
පුරුදු කරලා තිබුණා.
අම්මා කොහු ලණු අඹරලා ගෙදරට අමතර ආදායමක් හොයා ගත්තා. අපි අම්මට උදව් වුණා.
පොල්ලෙලි තලන්න, කොහු වේලන්න උදව් වුණා. මගේ අම්මා හැමදාම පාන්දරින් නැඟිටිනවා.
ආප්ප හදලා අවට කඩවලට දානවා. බොහෝ වෙලාවට ඒවා අරගෙන ගියේ මම. මම මහණ වෙනවට මුලදී
අම්මාගේ ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. මගේ පෙරැත්තයටයි කැමැත්ත දුන්නේ. මහණ වෙන දවසේ
අම්මා කීවේ ‘මගේ අත් දෙක කැඩුණා හා සමානයි’ කියලා.
අම්මට උදව්වෙන අතරේ මම තාත්තා එක්ක වෙලට ගියා. ගවයන් දිගේලි කළා. ඒ අතරේ පාසල්
ගියා. හොඳට ඉගෙන ගත්තා. පුංචි කාලෙම කාල කළමණාකරණය ඉගෙන ගත්තා. ඒ මගේ අම්මාගෙන්.
පුංචිම දේට වුණත් අම්මා අපට දඬුවමක් දුන්නා. ඒ දඬුවම්වලට වැඩිහිටියෙක් සම්බන්ධ
කරගත්තා. පැවරුණු වැඩක් නොකළොත් ඊළඟ පෝය දවසට අහළ පහළ සීයා කෙනෙක් නාවන්න ඕනෑ.
සමහර වෙලාවට අපේ වැරැදි තාත්තට කියලා තාත්තාලවා අපට දඬුවම් කරවනවා. අම්මා ගැහුවේ
නෑ. අපට නෑසෙන්න, ‘එහෙනම් දෙකක් ගහන්න’ කියනවා. තාත්තා දඬුවම් දෙනකොට ‘ඔය පොඩි එකා
මරන්නද හදන්නේ’ කියලා බේරා ගන්නවා. මේ දේවල් එදා අපට හරිම විනෝද ජනකයි.
ඒ කාලේ තාත්තා වළස්ගල ටවුමට ගිහින් එළවළු ගෙනත් වෙළෙඳාම් කරනවා. ගෙදරට කන්න
ලැබෙන්නේ බොහෝ වෙලාවට නරක් වුණ පනුවන් විදපු එළවළු, අම්මා ඒකට කැමැති නෑ.
තාත්තට පේන්න ඉස්සරහ කඩෙන් එළවළු ගේනවා. ඉතින් තාත්තාත් හොඳට කෑම ටික කනවා.
“අම්මට පිස්සු වුණාට මට පිස්සු නෑ. මගේ කඩෙනුත් සල්ලි දීලා එළවළු ගන්න කියලා අම්මට
කියපං” කියලා තාත්තා හිනාවෙලා කියනවා. අම්මත් කට කොණකින් හිනා වෙනවා. මේ වගේ සුන්දර
අවස්ථා තිබුණා.
ඒ කාලේ අපි නිදා ගත්තේ අම්මා ළඟ.නින්දට යන්නේ අම්මගේ කෙස් ගහක් හරි අල්ලගෙන. අපි
බිම පැදුරු එළාගෙන අම්මගේ වටේට නිදා ගන්නවා. අපි අතර පුදුම බැඳීමක් තිබුණා. ගැහුවත්
බැන්නත් ඒ ආදරේටයි. අදටත් ඒ මතක අමතක කරන්න බෑ.
දැන් මගේ අම්මට අවුරුදු අසූ එකක් අදටත් සමිති සමාගම්වල ක්‍රියාකාරී සාමාජිකාවක්.
ඉහළ අධ්‍යාපනයක් නැතත් අම්මාට තැනට සුදුසු දැනුම තිබෙනවා.
සමිතිවල, අම්මගේ අනුශාසනා අහන්න හැමෝම කැමතියි. මම අහනවා ඔය විදිහට කතා පවත්වන්නේ
කොහොමද කියලා. ‘මම උදේට රේඩියෝවේ ධම්ම චින්තා අහනවා. පාඩම් කරගෙන ගිහින් තැනට
සුදුසු විදිහට ගලපනවා.’ අම්මා කියනවා.
අද අම්මා ජීවිතයේ උපරිම සැප සම්පත් විඳිනවා. හැම දරුවෙකුගෙන් ම සැලකිලි ලබනවා.
අම්මා වැඩි කාලයක් ඉන්නේ මගේ ළඟ. බොහොම සතුටින් ජීවත් වෙනවා. මීට අවුරුද්දකට පෙර
මගේ තාත්තා මිය ගියා. අම්මාට එකම ගැටලුවකට තිබෙන්නේ එයයි. මගේ අම්මා, තාත්තා අතර
පුදුම බැඳීමක් තිබුණා. අම්මට දූලා දෙන්නෙක් ලොකු පුතෙක් නැති වුණා. ඒත් ධර්මානුකූලව
හිත හදාගන්න අම්මා උත්සාහ ගන්නවා.
අම්මා කොළඹ හිටියත් හැම පෝයකටම ගමට යනවා. ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න. පන්සලේ
පොඩි හාමුදුරුවන්ට, ගමේ සිල් ඇත්තන්ට අම්මා නැතිවම බැරි චරිතයක්.
සිංහල අවුරුද්දේ නොනගතය වෙලාවට අම්මා හැමදාම පන්සලට දානය උයාගෙන යනවා. එළියේ ලිපක්
බැඳලා හරි දානය පිළියෙළ කරනවා. ‘දානෙ ටික නැති වුණොත් හාමුදුරුවෝ බඩගින්නේ.” කියලා.
අම්මට මේ දේවල් ගැන පුදුම අවබෝධයක් තිබුණා.
පැවිදි ජීවිතය ගෙවන මා දිහා බලලා අම්මා අද පුදුම සතුටක් විඳිනවා. ප්‍රසිද්ධ තැන්වල
ආගමික වැඩසටහන්වලට මම අම්මයි තාත්තයි සහභාගි කරවා ගන්නවා.
පැවිදි ජීවිතයේ මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පින් පුරනවා. මගේ පුතා ප්‍රතිපත්ති
ගරුක කෙනෙක් කියලා අම්මයි, තාත්තයි දන්නවා.
ඒ කාලේ තාත්තා අමනාප වුණාම අම්මා තාත්තා බය කරගන්නේ ‘මම මැරෙනවා’ කියලා. තාත්තා
කියනවා ‘මම යාපනේ යනවා’ කියලා ඉතින් පහුවදා උදේට අපි නැගිටින්නේ හිතේ බයෙන්. තාත්තා
යාපනේ ගිහින් ඇති, අම්මා මිය ගිහින් ඇති කියලා, හඬමින්. ඒත් එළියට එනකොට අම්මයි
තාත්තයි එක අල්ලට සීනි අරගෙන එකළඟ ඉඳගෙන තේ බොනවා. අදත් අපේ අම්මා මා බය කරන්නේත්
මම මැරෙනවා කියලා. ඒ අම්මගේ හැටි. අම්මා තවමත් සමහර දේ අත් හැරලා නෑ. දරු
මුනුපුරන්ට බැඳීම වැඩියි. මගේ තාත්තා මුල් කාලේ පන්සල් ගියේ නෑ. ඒත් පසුව බෞද්ධයා
නාලිකාවේ සියලු ධර්ම දේශනාවලට සවන් දුන්නා. බණ දහමට යොමු වුණා. හොඳ ධර්මඥානයක්
තිබුණා. තාත්තා අවසාන කාලේ අත්හැරීම පුරුදු කළා.
මගේ අම්මාට, මගේ තාත්තාට මේ සංසාරයේ නැවත මා මුණ නොගැසේවි. මා අනුගමනය කරන සීල
ප්‍රතිපදාවත් එක්ක. මම ප්‍රාර්ථනා කරන්ගේ අම්මා දසසිල් මාතාවක් වෙන්න කියලයි. ඒත්
අපි වැඩිහිටියන් වනතුරු මව්පිය සෙනෙහස ලැබීම මහා භාග්‍යයක්. මම පැවිද්ද ආරක්ෂා
කරගෙන මගේ අම්මට, තාත්තට පින් දෙනවා. ඒ පිනෙන් අම්මයි තාත්තයි නිවන් දකියි.
- රමණී සුබසිංහ |