උඳුවප් පුර අටවක 2018.12.15
යුතුකම සහ වගකීම
සහජීවනයෙන් යුතු සමාජයක ජීවත්වීම අප සැමගේ ම අපේක්ෂාව ය. කෙනෙක් තමන් සමඟ ජීවත්වන
අන්‍යයන්ගේ දුක හඳුනා ගැනීම තුළ ය, එවැනි සමාජයක් නිර්මාණය වන්නේ. එහෙත් අප ජීවත්වන
පරිසරයෙහි එවැනි සහනශීලි බවක් තිබේද යන්න ගැන ඇත්තේ ගැටලුවකි. පවුලේ සාමාජිකයන්
අතර, අසල්වාසීන්, ගම් වාසීන් අතර, ආයතන තුළ විවිධ සමාජ කණ්ඩායම් තූළ එවැනි සහනසීලි
පරිසරයක් නිර්මාණය වී තිබේද? ඇසෙන, දකින දෙයින් ගම්‍ය වන්නේ නම්, එය ඉතා සුළු
ප්‍රමාණයක් බව ය.
එකම පවුලේ සාමාජිකයන් අතර පවා ඇතැම්විට අඬ දබර ය. විටෙක මේ ගැටුම් කෙළවර වන්නේ කාගේ
හෝ මරණයකිනි.
මේ, කුමක් සඳහා ද? ඇතැම් විට බිම් අඟලකට ය. වැට මායිමකටය. එසේත් නැතිනම් කාගේ හෝ
අයිතියක් හිමි කර ගන්නට ය. වැට මායිමක ඉබේ වැවුණු ගහක කොළක අයිතිය බෙදා ගන්නට ය.
නැතිනම් කාගේ හෝ කේළාම් බසකට ය.
අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ආගමනයත් සමඟ බුදු දහමින් සුපෝෂිත වූ වටිනා හර පද්ධතීන්
වලින් එදා අපේ ජන ජීවිතය පෝෂණය විය. වසර ගණනාවක් පුරා ඒ හරපද්ධතීන් අවිච්ඡින්නව,
පරම්පරාවෙන්, පරම්පරාවට පැවත ආයේ ය. එහෙත් කාලානුරූපව වෙනස්කම්වලට ලක්වෙමින්
වර්තමානය වන විට ඒ හරවත් ජීවන පැවතුම් බැහැර වී යන සැටිත්, හරසුන් ඇවතුම් පැවතුම්
වර්ධනය වන අයුරුත් පෙනෙන්ට තිබේ. මිනිසුන් පෙළන පීඩනය, අසහනය, අසමගිය, විෂමාචාර එහි
ප්‍රතිඵලයන් ය. මේ විපරීත ස්වභාවය තවදුරටත් වර්ධනය වූයේ නම් වන ව්‍යසනය මහත් ය. වහ
වහා ම ඊට පිළියම් සෙවිය යුතුව තිබේ. එය කළ හැක්කේ තමන් සමඟ ජීවත්වන අනෙකාට නොව
තමන්ටම ය. සමාජයක් හැදෙන තුරු බලා නොසිට පළමුව තමන් හැදිය යුතු ය. ඊට ඇරඹුම දිය
යුතු පවුලෙනි. පූර්වාචාර්යවරුන් ලෙස මව්පිය දෙදෙනා දරුවන්ට දෙන ගුරු හරුකම්,
ආදර්ශයන් ම ය මතු දිනෙක ඒ දරුවන් මව්පියන් වී සමාජයට දායාද කරනුයේ
‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි......’
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා , ධර්මය විසින් ම ආරක්ෂා කරන බවත්, මනාව පිළිපදින ලද
ධර්මය ඒ පුද්ගලයාට සැප ගෙන දෙන බවත්, හේ, මරණින් මතු දුගතියකට නො පැමිණෙන බවත්
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. බෞද්ධ සමාජය ගමන් කළ යුතු ධර්ම මාර්ගයේ ම මිස
අධර්ම මාර්ගයේ නොවේ. වෙසෙසින් අඹු දරුවන් පෝෂණය කරන ගිහි සමාජයක ඇවතුම්, පැවතුම්
ධර්මානුකූලව පැවැත්විය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ
දේශනාකොට වදාළහ. එහි සඳහන් සදිසා සමාජ ක්‍රමය සාමය, සහජීවනය, විනයගරුක බව, සහනශීලි
බව අගයන සමාජයකට ඉතාමත් අගනේ ය.
සැමියාගෙන් බිරිඳට,බිරිඳගෙන් සැමියාට, මව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් මව්පියන්ට,
ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ආදි ලෙස මනාව යුතුකම් ඉටුවීම තුළ
එකිනෙකා පිළිබඳව ආදරය,ගෞරවය, සැලකීම ලැබීම නිතැතින්ම සිදුවේ. එම යුතුකම් හඳුනාගෙන
දැනුමට සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයකි. මන්ද, යුතුකම්
ඉටුවන තැන එක් පාර්ශ්වයකට හෝ අසාධාරණයක්, අකටයුත්තක් සිදු නොවේ. එමෙන් ම තමන්ට නිසි
ගෞරවය, පිළිගැනීම, ආදරය සෙනෙහස ලැබෙන තැන, අනෙකාගෙන් විය යුතු යුතුකම්, වගකීම්
නිසියාකාරව ඉටුවන විට මානසික පීඩනයට ඉඩ අවම ය. අන්‍යයන් කෙරෙහි තරහ , කෝපය, වෛරයට
ඉඩක් නැත. ඒ තුළ නිතැතින්ම නිර්මාණය වන්නේ සහනශීලි පරිසරයකි.
මිනිසුන් ලෙස අපට මේ සමාජයේ තනිව ජීවත්විය නොහැකි ය. එවිට පැවැත්මක් නොවන්නේ ය.
සමාජ ජීවිතයේ දී අපි විවිධ චරිත නියෝජනය කරමු. ඒ චරිත අව භාවිත කළේ නම් ලැබෙන ඵලය ද
අවලස්සන ය. විපරීත ය. පා පැදියක් මනාව පැද යා හැකි දම්වැල සවි ශක්තිමත් ව පැවැතියේ
නම් ය. එක පුරුකක් හෝ ගිලිහී ගියේ නම්, කඩතොළු වූයේ නම් එය පැද යා නොහැකි ය. සමාජ
ජීවිතය ද එවැනි ය. දම්වැල් පුරුක් සේ අපි ඔවුනොවුන් හා එකට බැඳී සිටිමු. එක් අයෙක්
හෝ යායුතු මග නො ගියේ නම් එතැනින් එහාට ගමන දුෂ්කර ය. අසහනකාරී ය. මේ නිසා ඔවු
නොවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටුකොට සහජීවනයෙන් යුතු සහනශීලි සමාජයක් ගොඩනඟමු.
|