UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතිපට්ඨාන භාවනාව - 31: ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව: ගතට සිතට සුව සලසන භාවනාව

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:

ගතට සිතට සුව සලසන භාවනාව

බුදුරදුන් ධරමාන කාලයේ තිස්ස නමින් ස්වාමීන් වහන්සේ නමක් වසර දොළහක් ම එකම නිවසින් දවල් දානය වැළඳුවා. එක්තරා දවසක ඒ නිවසේ ගෙහිමියාට මැණික් ගලක් ඔප මට්ටම් කර දෙන්නැ’යි කොසොල් රජතුමා එවා තිබුණා.

එය මේසය මත තබා නිවස තුළට පිවිසි ගෙහිමියා නැවත පැමිණෙද්දී මැණික් ගල මේසය මත තිබුණේ නැහැ. එය නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා විසින් ගිල දැමූ අතර දනට වැඩම කළ ස්වාමීන් වහන්සේ මැණික් ගල ගත් බවට ගෙහිමියා සැක සිතුවා. ඒ නිසා උන්වහන්සේට අසීමිත ව තරවටුකර තාඩන පීඩන සිදු කරමින් මැණික් ගල ගැන විමසා, හිසට වෙළුමක් දමා තද කර දැමුවා. ඒ නිසා ඇස් , කන් , නාසා ආදියෙන් රුධිරය ගලා ගියා. වැගිරෙන රුධිරය ගිල දමන්න පැමිණි ගිජු ලිහිණියා ගැන ද කුපිත වූ ගෙහිමියාගේ පා පහරින් සතා මිය ගියා. එය දැනගත් ස්වාමීන් වහන්සේ ගිජුලිහිණියාගේ කුස පලා බලන්නැ’යි පැවසුවා. ඒ අනුව මැණික් ගල ලැබුණා.

මෙහි දී ස්වාමීන් වහන්සේ කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගටම මෙනෙහි කර උන්වහන්සේගේ මරණය සහ රහත්වීම එකවර සිදු වී මහරහතන් වහන්සේ නමක් ලෙස අවසන් ගමන ගියා. කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගට ම මෙනෙහි කර, වේදනානුපස්සනා සතිපට්ඨානය හොඳට වැඩී බෝධි පාක්ෂික ධර්මයන් ද දියුණු වී පින මතුවී රහත් බවට පත් ව ඒ මොහොතේ ම පිරිනිවන් පෑවා.

අද සඳහන් කරන්නේ වේදනා උපාදානස්ඛන්ධය භාවනාවට වඩන ක්‍රමය යි. ශරීරයට දැනෙන වේදනාව වේදනා ස්ඛන්ධය යනුවෙන් හඳුන්වන අතර වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය නම් වෙයි. වේදනාව ප්‍රධාන වශයෙන් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් කොටස් තුනකට බෙදෙයි. නැවත එය සාමිස සුඛ වේදනාව , නිරාමිස දුක්ඛ වේදනාව , සාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් කොටස් තුනකට ද නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව , නිරාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් වේදනා තුනක් වශයෙන් ද සියල්ල නවයකට බෙදෙයි. නව ආකාර වේදනා පිළිබඳ මනා දැනීමක් ඇතිකරගෙන හොඳට නුවණින් බලමින් වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි වශයෙන් මෙනෙහි කරන්න.( උදාහරණ - සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි...)

වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ හොඳ දැනීමක් ඇතිකර ගත යුතු යි. වේදනාව ‘ගොඩක්’ ලෙස දැනුන ද එය රූපයක් නො වෙයි. වේදනාව මාත්‍රයක් පමණ යි. වේදනාව හොඳ හැටි දැන කියාගෙන මෙනෙහි කර, සිත දියුණු තියුණු කරගත යුතු යි. මේ මඟින් විශාල ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්. කායික වුව ද මානසික වුව ද සුවයක් ලබන්න වේදනාව යටපත් කළ යුතු යි. ඇතැමෙකුට වේදනාව උසුලා ගන්නට නො හැකිව කෑ කෝ ගසා විලාප නඟනවා.

වේදනානුපස්සනා භාවනාවෙන්, වේදනා ස්කන්ධය මෙනෙහි කර ගැනීමෙන් කුමන වේදනාවක් වුවද තමන්ට ඉවසා දරා ගන්න පුළුවන්. තම ජීවිතයට අත්‍යවශ්‍ය කරන ගුණ ධර්ම ඉදිරියට ගෙන ඒම සඳහා වේදනානුපස්සනාවට විශේෂ තැනක් තිබෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කළ යුතු යි. වේදනාස්කන්ධය , වේදනා උපාදානස්ඛන්ධය වේදනාව දැඩිව අල්වා ගැනීම මෙහි ප්‍රකාශ කෙරෙනවා. එවිට නාම රූප කොටස් දෙකක් තිබෙනවා. රූප විසිඅට ගැන පසුගිය ලිපියෙන් සඳහන් කළා. එය ද එකක් පාසා ම මෙනෙහි කළා සේ ම, වේදනානුපස්සනාව ද මෙනෙහි කර වේදනාව සම තත්ත්වයට ගත යුතු යි. මේ පිළිබඳ හසල දැනීමක් ඇතිකරගෙන කොයි කවුරු වුණත් වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ මනා දැනීමකින් වේදනාව මෙනෙහි කළ යුතු යි.

ගෞතම බෝසතාණන් වහන්සේ ද වේදනාව පුදුමාකර ලෙස ඉවසීමෙන් දියුණු කරගත් උත්තමයෙක්. වේදනා උපාදානස්ඛන්ධය මනා කොට තේරුම් බේරුම් කර ගැනීම ඉදිරියට යන්න පහසුවක්. තම සිරුරේ ඇති එක ගොඩක් වන්නේ වේදනාඋපාදානස්ඛන්ධය යි. වේදනාව දැඩි සේ ගැනීම නිසා තමන්ට දුකක් මිස සැපයක් නැහැ.

මහ රහතන් වහන්සේට වේදනා ස්කන්ධය මිස වේදනා උපාදානස්කන්ධ කොටස නැහැ. එසේනම්, ඒ තත්ත්වයට පත්වීම සඳහා බුදු දහම නොයෙක් කරුණු ගෙනහැර දක්වමින් කටයුතු කෙරෙන්නේ. තම ගුණ ධර්ම දියුණුවෙන්, සති, සමාධි, ඥාන දියුණු තියුණු කරගත යුතු යි.

තෙවැන්න සංඥා උපාදානස්ඛන්ධය යි. එහි වැඩි විස්තරයක් නැහැ. එය වැඩි දෙයක් හඳුනා ගැනීම යි. මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ගේ දොර ආදිය හඳුනාගන්නේ සංඥා උපාදානස්ඛන්ධයෙන්. එය සංඥා චෛතසිකය නම් වෙයි. එය සංඥා උපාදානස්ඛන්ධය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. එසේනම්, සංඥාව යනු කුමක්දැ’යි හොඳ දැනීමක් කොයි කා ළඟත් තිබෙනවා. සංඥාව පිළිබඳ ව වටහා ගෙන, සංඥා චෛතසිකයක් බව වටහාගෙන, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කර ගත යුතු යි. සංඥාව ඇසට පෙනෙන, කනට ඇසෙන දෙයක් නො වන අතර එය නාම ධර්මයක්. එසේනම්, නාමයක් වන සංඥාවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාවට ගන්නා ක්‍රමය පැහැදිලි කළා. සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නුවණින් බලන්න. එවිට තමන්ට විශාල ශක්තියක්, දියුණුවක් ඇති කරගන්න පුළුවන්.

භාවනා ක්‍රම දියුණු කර ගැනීමේ දී ඡන්ද ඍද්ධි පාද, චිත්ත ඍද්ධි පාද, විරිය ඍද්ධි පාද , වීමංස ඍද්ධි පාද යන සතර ඍද්ධිපාදයෝ අත්‍යවශ්‍ය කරනවා. භාවනාව දියුණු කර ගැනීමට ඇති කැමැත්ත ඡන්ද ඍද්ධි පාදය යි. ඒ සඳහා අවශ්‍ය බලවත් සිත චිත්ත ඍද්ධි පාදය යි. භාවනාවට ගන්නා වූ නුවණ නොහොත් විමසීම වීමංස ඍද්ධි පාදය යි. ඒ සඳහා ගන්නා උත්සාහය විරිය ඍද්ධිපාදය යි. මේවා බණ භාවනා ක්‍රම වලට අත්‍යවශ්‍ය කරනවා. ඕනෑම දෙයක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. වේදනාව, සංඥාව මෙනෙහි කර, විදර්ශනා ඥාන පහළ කරගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන ආදිය නව ලොවුතුරා ධර්මය අවබෝධ කර ගැනීමේ ක්‍රමය පහදා දුන්නේ. මේ ගැන දැන පහදාගෙන ඉදිරියට පිවිස හසල දැනුමකින් සම්මා සම්බුද්ධ ශාසනයේ ලබා ගත යුතු ගුණ ධර්ම සොයා ඉදිරියට යා යුතු යි. සිහි නුවණ හොඳට දියුණුවෙන්, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි , ඥාන , ඉන්ද්‍රිය හොඳට දියුණු තියුණු කරගෙන භාවනා ක්‍රම ටිකත් සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ නිවැරැදිව නැතිනම්, ඉදිරියට පිවිසෙන්න අපහසු යි. ඒ නිසා කොයි කවුරු වුණත්, බුදු දහම වැළඳගෙන බණ භාවනා ක්‍රම පිළිබඳ හසල දැනුමකින් ඉදිරියට පහසුවෙන් ගමන් කළ හැකි යි. බුදු දහමට අනුකූලව කටයුතු කිරීමෙන් සැමට යහපතක් මිස අයහපතක් නැහැ. ඒ නිසා මෙහි සඳහන් වූ වේදනානුපස්සනාව නම් වූ වේදනාස්ඛන්ධයත් එනම් වේදනා චෛතසිකය, සංඥා ස්ඛන්ධයත් එනම් සංඥා චෛතසිකයත් හොඳින් අවබෝධයෙන් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර භාවනා දැනීම ශක්තිමත් ව ඉදිරියට ගෙන යා යුතු යි. එවිට භාවනා ක්‍රමය තමන්ට පහසුවෙන් ගෙන යා හැකි යි. වේදනාව වේදනාව වශයෙන් හඳුනාගෙන, වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කර, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරන්න. එවිට තම නුවණ හොඳින් වැඩී තම පුණ්‍ය වාසනාව ද දියුණුවෙන් පාරමිතාවන් ද සම්පූර්ණ කර ගන්න පුළුවන්. මේ කරුණු හොඳින් දියුණුවෙන් භාවනාව පිළිබඳ දැනීමක් ඇතිකරගෙන කටයුතු කරගත යුතු යි. එවිට අප යන ගමන් මඟ වරදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නිවන් මග පැහැදිලිව යන්නට පුළුවනි. එසේනම්, මේ පිළිබඳ හොඳ දැනීමක් ලබා, සියලු කටයුතු සඵල කරගෙන බණ භාවනා කටයුතු ද සාර්ථක කරගෙන , ගුණ ධර්ම ද දියුණුවෙන් පාරමිතා ද ඉක්මනින් ම සම්පූර්ණ කරගෙන නිවන් පසක් කරගන්නට ලැබේවා!

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk