UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කනිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් කුමරා නමින් කරුණාතිලක සකලසූරිය නම් විය.

හේන්පිටගෙදර සකලසුන්දරාරාම විහාරස්ථානය සඟසතුකර පූජා කරන අවස්ථාවේ දී තම ඥාති සහෝදරයින් දෙදෙනෙකු සමඟ මාස 11 ක කුඩා දරුවෙකු වූ කරුණාතිලක දරුවා සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ව වැඩ විසූ හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මාහිමියන් විසින් හේන්පිටගෙදර ඤාණාවාස නමින් 1926 අගෝස්තු 26 දින පැවිදි ජීවිතයට ඇතුළත් කරන ලදී.

බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙන් මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින් 1940 දී උපසම්පදා විය. 1940 දී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිත ව රාජකීය පණ්ඩිත උපාධිය සමත් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1955 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සමත් විය. 1964 දී දර්ශන විශාරද උපාධිය ද හිමිකර ගැනීමට සමත් විය. රත්නපුරයට වැඩම කර හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන් සමඟ එක් වී සිංහල බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙන, සුමනා බාලිකා උසස් විද්‍යාලය බිහි කිරීම සඳහා මූලික වී කටයුතු කළ අතර බුළුගහපිටිය, තුම්මෝදර, තෙප්පනාව ප්‍රදේශවල පිහිටි ශ්‍රී සුමන පිරිවෙන් ආයතන ඇතුළු තවත් පිරිවෙන් රාශියක් දියුණු කිරීමට කටයුතු කළේ ය. හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පැල්මඩුල්ල පාතකඩ තිබූ භික්ෂු අභ්‍යාස විද්‍යාලය ඇතුලු ආයතන කිහිපයක් ම වැඩකටයුතු අඬපණ නොවී පවත්වාගෙන යෑමේ වගකීම ඤාණාවාස නාහිමියන් වෙත පැවරුණු අතර එම කටයුතු මනා ලෙස ඉටුකිරීමට නාහිමියන් සමත් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ද විවිධ තනතුරු දැරූ අතර 1973 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨාධිපති ධූරය ද' අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ කාල්ටන් විශ්වවිද්‍යාලයේ බුදු දහම පිළිබඳ මහාචාර්ය පදවිය ද ඉසිලීය. බෞද්ධ සම්මේලන කටයුතු හා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විදේශ රටවල් රාශියක සංචාරය කර ඇති නාහිමියෝ පාලි භාෂාව මෙන්ම විදේශ භාෂා රාශියක ප්‍රවීණත්වය ඉසිලූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දරමින් 1986 දී අධිකරණ සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබී ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමටද මුල් වී කටයුතු කළ අතර ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බලගල්ල සරස්වතී ආයතනයේ අධිපතිධූරය ද ඉසිලූහ. නිකාය බේදයකින් තොරව තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය මෙන්ම අන්‍ය ආගමික පූජකතුමන්ලා සමඟ ද එක්ව රටේ පැවති ආගමික, සාමාජීය හා ජාතික ප්‍රශ්නවලදී ඒවා විසඳීමට මුල් වී කටයුතු කළේ ය.

1986 නොවැම්බර් 02 දින අපවත් වී වදාළ මහාචාර්ය හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියන් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කොන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුලුගහපිටියේ සුමංගල හිමියන් හා රෝහාන් මුනිපේම, විහාරස්ථ දායක සභාව බෞද්ධ කාන්තා සමිතිය එක්ව රත්නපුර ශ්‍රී සුමන මහා පිරිවෙනේ දී පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.

හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියන් වහන්සේට නිවන් සුව අත් වේවා.

****

පූලියද්දේ ඤාණාලෝක නා හිමි

සාරසිය පත්තුවේ කටුගස්තොට යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය ඓතිහාසික විහාරස්ථානයකි. එම විහාරස්ථානයේ වර්තමාන අධිපති පූලියද්දේ ඤාණාලෝක නාහිමියන්ගේ ජීවන පුරාවෘත්තය ද විචිත්‍ර ය.

1960 ජූනි 23 වෙනි දින මහනුවර අම්පිටිය පල්ලේගමදී ජන්ම ලාභය ලැබූ අතර ගිහි නාමය කපිල රත්න බණ්ඩාර සුනිල් කුමාර පූලියද්ද වේ. බෝපිටිය වළව්වේ පුංචි බණ්ඩාර පුලියද්ද නිළමේ තුමා සහ හීන්මැණිකේ මාතාව උන්වහන්සේගේ මව්පියන් ය.

1964 දී අම්පිටිය සිද්ධාර්ථ විදුහලෙන් සිප්සතර හැදෑරී ය. අනතුරුව අම්පිටිය බෙරවස්ට් විදුහලට ඇතුළත්ව සාමාන්‍ය පෙළ විද්‍යා අංශයෙන් ඉහළින්ම සමත් විය. විදුහල් යන අවධියේ දක්ෂ ශිෂ්‍ය භටයෙකු සහ බාල දක්ෂයෙකු ද විය. 1976 – 1977 පේරාදෙණිය සාරානන්ද පිරිවෙන ද උන්වහන්සේ අධ්‍යාපනය ලද විද්‍යාස්ථානයක් විය. එකල සිටි දක්ෂ ගුරුවරුන් වන රත්න ලියනගේ, නිහාල් ශ්‍රී ලාල් ජයවර්ධන, සාලමුල්ලේ දයානන්ද ආදීන්ගෙන් විවිධ විෂයන් හැදෑරූ නා හිමියන් චතුර ලෙස ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමේ දක්ෂයෙකු ද විය. ගිහි කල හෝටල් විෂයය පිළිබඳ පාඨමාලාවක් සහ ප්‍රංශ භාෂාව ද නා හිමියන් හදාරා ඇත. පසුව මාතලේ සාසන තිලක නා හිමියන් යටතේ දහම් දැනුම ලැබූ උන්වහන්සේ දහම් පාසල් ගුරුවරයෙකු ලෙස ද සේවයේ නිරත විය. 1981 දී ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පිළිබඳ හැදෑරීමට කොළඹ ප්‍රදේශයට ගිය උන්වහන්සේ නැවතී සිටියේ බොරැල්ලේ සිය හිතවතෙකුගේ නිවසේ ය.

1986 ජනවාරි මාසයේ 21 වන දා සිය ගුරු දේව වළල විමලරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගත වූ පූලියද්දේ නා හිමියන් 1986 දී උපසම්පදා සීලයෙහි ද පිහිටි අතර 1989 මැයි 12 වන දින සිය ගුරුදේවයන්ගේ අපවත්වීමෙන් පසු යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාර අධිපතිධූරයට පත් විය. 1986 දී යටිවාවල ශ්‍රී රාජසිංහාරාම විහාරස්ථ සිරිසිදුහත් දහම් පාසල ආරම්භ කළේ ය. කොළඹ හුණුපිටියේ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි අධ්‍යාපනය ලද අතර රාජසිංහාරාම විහාරය පිළිසකර කර සියලු විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ කළේ ය.

ඤාණාලෝක හිමියන්ගේ සාසනික මෙහෙවර සහ කැපවීම නිසාම 2011 වසරේ එවකට ජරා වාසව තිබූ දොරගමුව ශෛලපබ්බතාරාම විහාරය හිමියන් වෙත භාර කිරීමෙන් එම විහාරය අද වන විට බෞද්ධ සැදැහැවතුන්ට වන්දනා මාන කිරීමට සුදුසු විහාරයක් බවට පත් කොට ඇති අතර අස්ගිරි විහාරය විසින් එහි නිත්‍ය නා හිමි ලෙස උන්වහන්සේ පත් කළ අතර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දොරගමුවේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සසුන්ගත කොට එම විහාර භාරකාරිත්වය සහ දහම් කටයුතු කරගෙන යෑමට පඤ්ඤාලෝක නා හිමියන් යටතට පත් කර ඇත. එම විහාරයට ගමන් කිරීමට සුදුසු මාර්ගයක් පවා නොතිබුණු යුගයක එකල ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාර උපකාර මත මහාමාර්ගයක් ඉදිකර ඇත. යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය සහ දොරගමුව ශෛලපබ්බතාරාම පුරාණ විහාරය යන විහාර දෙකෙහි ම අධිපතීත්වය දරමින් කටයුතු කරන පූලියද්දේ ඤාණාලෝක නා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නමක් වන වෙලපහල ධම්මාලෝක හිමියන් විසින් යටිවාවල ශ්‍රී රාජසිංහාරාම විහාරාධිකාරී ධූරය සහ සිරිසිදුහත් දහම් පාසලේ ප්‍රධාන ආචාර්යධූරය වර්තමානයේ දරනු ලබයි.

****

සීදූවේ සුමනවංස නාහිමි

සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමියෝ සසුන් දිවියට පත්ව වසර 48 ක් සපුරති.

සීදුව මූකලන්ගමුව ගම් පියසේ විසූ පරලෝ සැපත් විශ්‍රාමලත් පොලිස් නිලධාරී කේ.එන්. පේ. රොවෙල් මහතා සහ එම්.එස්. පෙරේරා උපාසිකා මාතාවටදාව උපන් දරුවන් නවදෙනා අතරින් එක් දරුවෙකු සීදූවේ සුමනවංස හිමි නමින් 1970 ඔක්තෝබර් මස 31 වෙනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරස්ථානයේ දී සසුන් දිවියට ඇතුළත් විය. රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපති අපවත් වී වදාළ රද්දොළුවේ අරියවංස මා හිමියන් හා අපවත් වී වදාළ අමරපුර පාර්ශ්වයේ සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංස නාහිමියන් උන්වහ න්සේගේ පැවිදි ආචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙති. කුඩා කල ආචාර්යවරුන් වෙතින් බණ දහම් හදාරා පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලීය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ජිනරතන උසස් අධ්‍යාපනයට ඇතුළත්ව ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා, ජපන් තානාපති කාර්යාලය මඟින් මෙහෙයවූ ජපන් භාෂා පාඨමාලා කාණ්ඩ තුන මැනවින් හදාරා ජපන් භාෂාව පිළිබඳ මනා දැනුමත්, ජර්මන් තානාපති කාර්යාලීය ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් මෙහෙය වූ ජර්මන් භාෂා ත්‍රිත්වයක් හදාරා භාෂාත්‍රයෙන් ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද, පාලි හා බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමා සහතික ද ලබා ගත්හ. පාලි, අභිධර්මය හා දෙමළ භාෂාව පිළිබඳව මනා දැනුමක් ලබා ගත්හ. සීදූවේ සුමනවංස හිමියන් 1978 ජූලි මස 25 වෙනි දින අම්බලන්ගොඩ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගත් උන්වහන්සේ කටාන සමථමූල මණ්ඩලයේ ආරම්භක සාමාජික වශයෙන් වසර 12 ක් සේවය කර ඇත. රද්දොළුව දකුණ ග්‍රාමනිලධාරී වසමේ ග්‍රමෝදය මණ්ඩලයේ සභාපති පදවිය හොබවමින් ප්‍රදේශයට අතිමහත් සේවාවන් ඉටු කළහ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් වසර 08 ක් ද, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් වසර 16 ක් ද, 1990 සිට අඛණ්ඩ ව කටාන මීගමුව ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් අද දක්වා ඉමහත් ශාසනික, ජාතික සේවා, දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා කැප වී ක්‍රියා කරති.

සීදූවේ සුමනවංස නාහිමියන් රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් රජයේ පාසල් ගුරු දිවියේ වසර 30 ක් උදාර සේවාවක් ඉටුකර 2015 වසරේ විශ්‍රාම ගන්නා ලදී. 1980 රද්දොළුව ශ්‍රී අභිනවාරාමය වත්මන් ශ්‍රී අමර විහාරස්ථානයට වැඩමකර පැවිදි ආචාර්යන් වහන්සේ වන රද්දොළුවේ අමරවංස අනුනාහිමියන්ගේ අනුශාසනා උන්වහන්සේට නිරතුරුවම ලැබුණු අතර, විහාරස්ථානයට අඩුවක්ව පැවැති ජලය, විදුලිය හා දුරකථන පහසුකම් ලබාගනිමින් විහාරස්ථානයට ප්‍රවිෂ්ඨවන ප්‍රධාන මාර්ගය පුළුල් කර, පිළිසකර කරවීමත්, දම්සක් විහාර මන්දිරය සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු විහාරාංග සහ දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සහිත ධර්ම මන්දිරයේ පළමු මහලේ සියලු වැඩ නිමකර ඇත. නව දානශාලාව සහිත දෙමහල් සංඝාවාසය ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, මේ සඳහා දේශපාලන අධිකාරයේ හා ව්‍යාපාරික ප්‍රජාවේද විහාරස්ථ දායකකාරකාදීන්ගේ සහයෝගය නිරන්තරයෙන් ලැබිණ. තම පැවිදි ආචාර්යයන් වහන්සේ 2017 ජනවාරි මස 29 වෙනි දින අපවත් වීමෙන් පසුව ස්වනිකාය මඟින් විහාරාධිපති පදවියට අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අමරපුර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රධාන ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මඟින් පත්කරන්නට යෙදුණි.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk