UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසරකට පෙර පරලොව සැපත් බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

වසරකට පෙර පරලොව සැපත් බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

සිංහල බෞද්ධ ජනතාවට සතර පොහොයට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ප්‍රකාශයට පත්කරන ‘බුදුසරණ’ පුවත්පතෙහි වසර දහඅටක් තිස්සේ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ඉටු කළ මෙහෙය සැබැවින් ම ඒ කාලයේ දී ම ඇගයුමකට ලක් වූ බව සඳහන් කළ යුතුව ඇත.

පොල්ගස්ඕවිට කහතුඩුව ග්‍රාමයේ උපත ලද පේ‍්‍රමසිරි අබේසිංහ මහතා කහතුඩුවේ කණිටු විදුහලෙන් හය වන පන්තිය දක්වා ඉගෙන ගත්තේය. ඉන්පසු ඔහු ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා අධ්‍යාපනය ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ය. ඒ කාලයේ දී ඉතා ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ ආභාසය ද ඔහුට නිබඳව ම ලැබුණි. ඒ කාලයේ සිටම අබේසිංහ ශිෂ්‍යයා ලේඛන කලාව කෙරෙහි යොමු වී සිටියේ ය. ආනන්ද ශාස්ත්‍රාලයේ දී ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ පේ‍්‍රමසිරි අබේසිංහ ශිෂ්‍යයා හොරණ විද්‍යාරත්න පිරිවෙනේ දී පාලි සහ සංස්කෘත භාෂාවන් ඉගෙනීමට ද අවස්ථාව ලබා ගත්තේ ය. ඔහු ශිෂ්‍ය කාලයේ සිටම පුවත්පත්වල ළමා පිටු සඳහා ලිපි හා කවි ලිවීමෙන් සතත අභ්‍යාසය ලද ලේඛකයෙකු වූයේ ය.

පිරිවෙනේ අධ්‍යාපනයෙන් පසුව ඔහු ලංකාදීප පත්‍රයේ පොල්ගස්ඕවිට වාර්තාකරු ලෙස ද සේවය කළේය. ඒ කාලයේ දී ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වූ ඩී.එම්.අබේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ පේ‍්‍රමසිරි අබේසිංහ මහතාට පුවත්පත් කලාව පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ද ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. ඉන්පසු කලක් දවස පුවත්පතේ ද සේවය කළ ඔහු දිනමිණ උප කතුවරයෙකු ලෙස කලක් සේවය කළේ ය. සිංහල භාෂාව සමඟ පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ අවබෝධයක් ලබා සිටි පේ‍්‍රමසිරි අබේසිංහ මහතාගේ නිසි දක්ෂතා පෙන්වීමට කදිම අවස්ථාවක් උදා වූයේ ලේක්හවුස් ආයතනයේ සභාපති රණපාල බෝධිනාගොඩ මහතා සේවය කළ අවදියේ දී ය. 1980 දී ඔහු ‘බුදුසරණ’ ප්‍රධාන කර්තෘ ධුරයට පත් වූයේ ය. පේ‍්‍රමසිරි අබේසිංහ මහතා මහා සංඝයා වහන්සේලා ඇසුරෙන් ඉතා දක්ෂ ලෙසින් බුදුසරණ පත්‍රය සංස්කරණය කළ අවදිය මගේ මතකයට නැගේ. ඒ අවස්ථාවල දී ඔහු බුදුසරණ පත්‍රයට පුරාවිද්‍යාත්මකව ලිපි ලිවීමට මා වෙත ආරාධනා කළ නිසා මම ඒ කාර්යයෙහි යෙදුනු බව ඔහුට තුති පෙරටුව මෙහි සඳහන් කරමි.

පේ‍්‍රමසිරි අබේසිංහ මහතා බුදුසරණ පුවත්පත මගින් ඉටු කළ මෙහෙය අගැයීමට ලක්වූ අවස්ථාවක් ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා සංඝ සභාව මගින් බෞද්ධ පත්‍ර කලාසූරි සම්මානයෙන් පිදුම් ලැබීම හඳුන්වාදිය හැකි ිය. බුදුසරණ පුවත්පතට සම්බන්ධවීමත් සමඟ ඒ මහතා ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමයක් පිහිටුවීමෙහි ද මුල් වී ය. එහි ආරම්භක ලේකම්වරයා වූයේ ද පේ‍්‍රමසිරි අබේසිංහ මහතා ය. ලේක්හවුස් ආයතනය මගින් වෙසක් පහන් තරග සහ භක්තිගීත තරග පැවැත්වීමේ ආරම්භයට ද පේ‍්‍රමසිරි අබේසිංහ මහතා දායකත්වයක් දැරුවේ ය. මීට අමතරව ලේක්හවුස් ආයතනය මගින් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවේ සංවිධාන කටයුතුවලට වසර 15 ක් දායක විය.

පුවත්පත් කලාවේදියෙකු ලෙසින් ඉමහත් සේවාවක් ඉටු කළ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා ලේඛනයට පමණක් නොව කවි ලිවීමට ද දක්ෂතාවයක් දැක්වූ කවියෙකි. අගනුවර තරුණ කවි සමාජයෙන් ඔහු කිවිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

දඹදිව සහ තායිලන්තය වැනි රටවල වන්දනා කටයුතුවල යෙදී ලෝක ධර්ම සන්නිවේදන කාර්යයෙහි නිරත වූ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා බුදුසරණ පත්‍රයට ඔහු ලියූ කතු වැකි එකතු කොට ‘යහමගට සිතුවිලි’ නමින් ග්‍රන්ථයක් ද පළ කළේ ය.

සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පේ‍්‍රමසිරි අබේසිංහ මහතාට කලාභූෂණ සම්මානය ද ප්‍රදානය කළේ ඔහු විසින් පුවත්පත් කලාවටත් , කවියටත් ලබාදුන් මහඟු දායකත්වය ද නිසා ය.

මොහු ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

තමා වාසය කළ ප්‍රදේශයට ද ඉමහත් සේවාවක් සිදු කළ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා කහතුඩුව හී‍්‍ර නන්දාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති හා පසුව ගිහි අනුශාසකවරයා ලෙසින් ද කටයුතු කළේ ය. බන්දුල ප්‍රජා මණ්ඩලයේ ආරම්භක ලේකම්වරයා වූ අබේසිංහ මහතා කහතුඩුව දකුණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ද වූයේ ය. ප්‍රදේශයේ සමාජ ආගමික හා සංස්කෘතික සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙසින්ද ක්‍රියා කළ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා මීට වසරකට ඉහත දී අභාවප්‍රාප්ත වූයේ ය. ඔහුට අපි නිවන්සුව පතමු.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]