UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප: කලා කෙතයි සඳකඩ පහණයි

කලා කෙතයි සඳකඩ පහණයි

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි, අක්ෂර, මූර්ති හා කැටයම් ආදී කිසිවක් මේතාක් සොයාගෙන නැත. ගොඩනැගිලිවල අත්තිවාරම් යැයි සිතිය හැකි කීපයක් අභයගිරියේ කැණීම්වලින් මතුවී තිබූ නමුදු ඒවා ගැන නිශ්චිත වූ තීරණයකට එළඹී නැත. එහෙත් දැනට අනුරාධපුරයේ ඇතුළුනුවර කරගෙන ගිය පුරාවිද්‍යා කැණීම්වලින් පණ්ඩුකාභය රාජසමයට අයත් යැයි සිතිය හැකි පස් ස්තර ලැබී තිබේ.

තව ද, අක්ෂර යැයි කිව හැකි සංකේත විශේෂයක් ද හමු වී ඇත. 1984 වර්ෂයේ දී හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර ජනාවාස ප්‍රදේශයේ වූ ථූපාරාමයට ඊසාන දිග හා විජයබා මාළිගය ගෙඩිගේ හා දළදා මාලිගය ආදී ප්‍රදේශයන්හි තම පර්යේෂණ කැණීම සිදු කළේ ය. අනුරාධපුරයේ මතුපිට සිට අඩි 30 පමණ ගැඹුරින් ක්‍රිස්තු පූර්ව 900 – 800 පමණ පැරැණි ශිෂ්ටාචාරයක නටබුන් සොයා ගත්තේ ය. ඒ යුගය විජයාවතරණයට වසර තුන් හාරසියයක් පැරැණි කාලයට අයත් ය. ඒ කැණීමෙන් හමු වූ නටබුන්වලින් යකඩ භාවිතය ද වී ගොවිතැන ද සකපෝරුවෙන් කරකවා සාදන ලද මැටි බඳුන් ද, ඒවා පිළිස්සීමට පෙර ලියන ලද බ්‍රාහ්මී අක්ෂර ද හමු වී ඇත. (දැරණියගල අභිනන්දන, ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ සේවය පිළිබඳ දේශනය, සංස්කාරක සිරිසමන් විජේතුංග. පි. 6 – 200 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.

මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් අපගේ මෙම ශිෂ්ටාචාරය මහින්දාගමනයට පෙර සිට දියුණුව පැවැති බව පමණක් නොව, ඊට පෙර බෞද්ධ කලාශිල්ප අවශේෂ හමු නොවන බව ය.

මුල් අවධියේ සඳකඩපහණක් හා මුරගල මිහින්තලය
 

මිරිසවැටියේ සඳකඩපහණ

මිරිසවැටියේ පාටිකාව
මුල්ම කාලයේ සඳකඩපහණ (පාටිකා)
මුරගල් දෙක සහ පඩිපෙළ

පැරැණි විහාර ආරාමවලට ඇතුළුවන දොරටුව පාමුල ඉතා සරල වූ ආයත චතුරශ්‍රාකාර ගල් පුවරුවක් ලෙසින් මුල් කාලයේ දී මෙම නිර්මාණය දක්නට ලැබුණි. ඒ අනුව මෙය මුලින් ම අර්ධ කවාකාර ව තිබුණේ නැත. එය ආයත චතුරශ්‍රාකාර ව තිබිණි. එවැනි වූ පැරැණි ගල් පුවරුවලට ව්‍යවහාර කළේ ද ‘සඳකඩපහණ’ යන වචනය නොවේ. ‘පාටිකා’ යන නාමයයි.

එවැනි වූ පාටිකාවක් අනුරාධපුරයේ අභයගිරිය දා ගැබට දකුණින් ඇති සන්නිපාත ශාලාවේ උතුරු දොරටුවේ පඩිපෙළ පාමුල ඇත. එය ඉතා කුඩා එකකි. එවැනි පාටිකාවක විශාල ප්‍රමාණයේ එකක් අනුරාධපුරයේ ජේතවන විහාරයට අයත් ජේතවන දාගැබෙහි වැලි මළුවට ඇතුළු වන පඩිපෙළ පාමුල පිහිටුවා තිබේ. අනුරාධපුරයට ගිය විට මෙම ස්ථාන දැක ගත හැකි ය.

දිගින් වැඩි, පළලින් අඩු (ආයත චතුරශ්‍රාකාර) මෙම ගල් පුවරුව පසු කාලයේ දී විවිධ ආකාරයේ වෙනස්කම්වලට පත්වීමෙන් අනුරාධපුර යුගයේ අවසාන කාලය වන විට සඳකඩ පහණ ලෙසින් සකස් වී ඇත. මෙහි මුල් ස්වරූපය ආයත චතුරශ්‍රාකාර ගල් පුවරුවකි. ඒ අනුව ඒ සඳහා භාවිත කළ නාමය ‘පාටිකා’ යන්නයි. මෙම පාටිකාවේ ඉදිරි කොන් දෙක රවුම් කර ඇත. එවැනි පාටිකා මිරිසවැටියට අයත් ගොඩනැගිලිවල ද, අනුරාධපුරයේ ගෙඩිගේ අසල ද තිබේ.

මෙසේ ඉදිරි නෙත්ති දෙක ද කකුල්වල හැපීම වැළැක්වීම පිණිස පසු කාලයේ දී රවුම් කරන්නට ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කරයි.

සඳකඩ පහණ පමණක් පඩිපෙළ පාමුල දක්නට නැත. එහි සඳකඩපහණ හා සම්බන්ධ වූ තවත් අංගයක් නම්, දෙපසින් වූ මුරගල් දෙක ය. එය පඩිපෙළ ආරක්ෂාවට නිර්මාණය කරන ලද්දකි. පඩිපෙළත්, මුරගලත් සම්බන්ධ කර ඇති තවත් නිර්මාණයක් ද එහි ඇත. එය හඳුන්වන්නේ ‘කොරවක්ගල’ යන නාමයෙනි. ඉහතින් සඳහන් කළ මෙම සියලුම ශිලා නිර්මාණ ඉතා සරල (කිසිදු කැටයමක් නැති) නිර්මාණයන් ය. ඒ අනුව පඩිපෙළ පාමුල සඳකඩපහණ ද, ඒ දෙපස මුරගල් දෙක ද, පඩිපෙළ හා දෙපස ඇති මුරගල් දෙක සම්බන්ධ කරන කොරවක්ගල් දෙක ද යන ශිලා නිර්මාණ තුනක් ම සඳකඩ පහණ හා සම්බන්ධ වී ඇත. අපි මේ අංග පිළිබඳ එකින් එක විමසා බලමු.

සඳකඩපහණේ නම සැදුණේ මෙසේ ය.

පැරැණි පාලි පොත් පත්වල සඳකඩපහණ යන නාමය භාවිත වී නැත. ඒ වෙනුවට පාටිකා යන නාමය භාවිත වී තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ දී පමණ ලියන ලද ‘සමන්තපාසාදිකා’ නමැති පාලි ග්‍රන්ථයෙහි පාටිකා යන වචනය වෙනුවට ‘අඩ්ඪ චන්ද පාසාන’ යන වචනය සඳහන් වී ඇත. එම වචනය සිංහල භාෂා ව්‍යවහාරය අනුව ‘අඩසඳ පහණ’ යනුවෙන් කියැවේ. අනුරාධපුර රාජධානි සමයේ අවසාන කාලය වන විට මේ සඳහා භාවිත වූයේ වෙනස් නාමයකි. එනම් ‘අඩ්ඪ චන්දක පදගණ්ඨිකා’ යන්නයි. 12 වැනි සිය වස වන විට (පොළොන්නරු රාජධානි සමය වන විට) ගුරුළු ගෝමි නම් කතුවරයා ලියූ අමාවතුර පුරාණ ග්‍රන්ථයෙහි ‘අඩසඳ පහණ’ යන නාමය සඳහන් වී ඇත. ඉන්පසුව දඹදෙණි රාජධානි සමයේ දී ලියූ සද්ධර්ම රත්නාවලිය නැමැති ග්‍රන්ථයෙහි (ධර්මසේන හිමි ලියූ) ද, කුරුණෑගල රාජධානි සමයෙහි ලියන ලද සිංහල ජාතක පොතෙහි ද ‘අභිධානප්පදීපිකා’ ග්‍රන්ථයෙහි ද ‘සඳකඩපහණ’ යන වචනය භාවිත කර ඇත. ඒ අනුව සඳකඩපහණ යන නාමයෙහි පද පෙරළියක් සිදු වී ඇත්තේ එය උච්චාරණය කිරීමේ පහසුව සඳහා බව පැහැදිලි කරුණකි. මෙහි දී පළමුව අනුරාධපුර කාලයේ දී නිර්මාණය කරන ලද සඳකඩපහණ පිළිබඳ විස්තර මෙසේ ය. (පුරාණ හෙළ කලා විස්කම් සිරිසමන් විජේතුංග පි. 07 – 2017 )

අනුරාධපුර යුගයේ සඳකඩ පහණ

අර්ධ වෘත්තයක් ලෙසින් පළමුව තිබූ සඳකඩපහණ (පාටිකාවලට පසුව) කිසිදු කැටයමක් නැතිව ද දක්නට ලැබේ. ඒ අනුව මුල් කාලයේ සඳකඩපහණවල කිසිදු කැටයමක් නැත. ඉන් පසු කාලයේ දී සඳකඩපහණ මැද නෙළුම් මලක් පමණක් කැටයම් කර ඇත. ඉන් පසුව දකින්නට ලැබෙන සඳකඩපහණෙහි මැද නෙළුම්මල් පෙති සහිත නෙළුම් මල ද සිව්පා සතුන් දෙදෙනා වූ සිංහයා, අශ්වයා, ගවයා සහ හස්තියාගේ රූප ද කැටයම් ලෙස සඳකඩ පහණේ නිර්මාණය කර ඇත. ආරම්භයේ ම පළාපෙති ද, ලියවැල් සහ හංසයින්ගේ රූප ද මෙම කාලයේ සඳකඩපහණෙහි දකින්නට ලැබේ.

අනුරාධපුර යුගයේ සඳකඩ පහණෙහි කැටයම් නෙළා ඇති සැලැස්ම මෙසේ ය. සඳකඩපහණේ මධ්‍යයෙහි අර්ධ පද්මයකි. (අර්ධ නෙළුම් මලකි) ඊළඟ තීරුවේ හංසයින් කැටයම් කර ඇත. ඊට පිට තීරුවෙහි ලියවැලකි. එයින් පිටත තීරුවේ ඔවුනොවුන් ලුහු බැඳ ගමන් කරන ඇතා, සිංහයා, අශ්වයා සහ ගවයා යන සතුන් සතරදෙනාගේ රූප කැටයම් කර ඇත. සඳකඩපහණෙහි පිටත ම තීරුවේ කැටයම් කර ඇත්තේ ගිනිසිළුවක් වැනි අලංකාර කැටයමකි.තද කළු ගලෙහි තරමක් ගැඹුරට ඉතා සියුම් කැටයම් මෙසේ නිර්මාණය කර තිබීම ශිල්පීන්ගේ දක්ෂතාවයකි. මෙම සඳකඩ පහණෙහි සතුන් සතර දෙනා ස්වභාවික ලක්ෂණවලට අනුකූල ව නෙළා තිබේ. අනුරාධපුර යුගයේ දී ක්‍රිස්තු වර්ෂ අට සහ නවය යන සියවස්වල නිර්මාණය කරන ලද සඳකඩ පහණ ඉතා විශිෂ්ට සඳකඩපහණක් ලෙස විද්වත්හු හඳුන්වති.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk