නොදැමුණු සිත
දමනයට ...
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
දරුවනේ, ‘සිත’ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. හැම තැනම දුවනවා. එකම අරමුණක තියෙන්නේ
නෑ. සිත කියන කියන වැඩ කරනවා. සරලව ම කියනවා නම්, හිත හරිම හිතුවක්කාරයි. එය අපි
නිතර ම අහන වචනයක්නේ, අද මම දරුවන්ට කියා දෙන්නේ හිතුවක්කාරකම නැති කර ගන්නා ආකාරය
පිළිබඳව යි. ඊට ක්‍රම බොහොමයක් තිබෙනවා.
සමහර දරුවෝ වේවැල දුටුවා ම, බණින විට හිතුවක්කාරකම් නවත්වනවා. ඒත් ටික වෙලාවකට
පමණයි. ආයෙත් පුරුදු තැනටම යනවා. ඒත් දරුවනේ සමහරු මේ හිතුවක්කාරකම් නිසා අධ්‍යාපනය
නැති කර ගන්නවා. රැකී රක්ෂා නැති කර ගන්නවා. පවුල් ජීවිත විනාශ කර ගන්නවා.
මේ නොදැමුණු සිත දමනය කර ගතහොත් තමයි දරුවනේ, හිතුවක්කාරකම නැති වෙන්නේ. එය හිතන
තරම් පහසු නෑ. පළමුවෙන් ම කරන්නට ඕනෑ සිත කියන්නේ කුමක් ද කියලා හොඳින් හඳුනා
ගැනීමයි. ඊළඟට සිත දමනය කර ගන්නේ කොහොමද කියල දැන ගන්න ඕනෑ. දැමුණු සිතක ආනිශංසයන්
දැන ගන්න ඕනෑ.
සිත දමනය කර ගන්නා ප්‍රධානතම ක්‍රමවේදය තමයි ‘භාවනාව’ කියන්නේ.
‘භාවෙති කුසල ධම්මෙ ආසෙවති
වඩ්ඪෙති එතායති භාවනා’
භාවනාව කියන්නේ වැඩීම කියන එකයි. මොනවද වඩන්නේ? සිත. සිතෙහි වැඩිය යුතු මොනවා ද?
සිතිවිලි. මොනවගේ සිතිවිලි ද? කුසල් සිතිවිලි.
සිතෙහි කුසල් සිතිවිලි වැඩීමට තමයි දරුවනේ, අපි භාවනාව කියලා කියන්නේ. සිත තුළ
කුසල් සිතිවිලි වැඩිය යුතුයි කියන්නේ ඇයි? අපේ සිතේ ඉබේ ම වැඩෙන්නේ අකුසල සිතිවිලි
නිසයි. එහෙනම්, හිතුවක්කාරකම් ඇති වෙන්නේ අකුසල සිතිවිලි සමඟයි. තවත් කෙටියෙන්
කියනවා නම්, සිතට එහෙ මෙහෙ දුවන්නට දෙන්නේ නැති ව, එක අරමුණක පිහිටුවා ගැනීමටයි
භාවනාව කියන්නේ. තවත් ගැඹුරින් කියනවා නම්, ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් කියනවා නම්,
සම සතළිස් කර්මස්ථානයන් (කමටහන්) නැවත නැවත වඩමින්, රාගාධි කෙලෙස් තැවීමටයි භාවනාව
කියන්නේ.
සිත කිලිටි කරනා
රාගාදි පව් වඩනා
සිතිවිලි භාවනා
දෙකෙකි විදසුන් සමථ විසිනා
භාවනාව කොටස් දෙකකට බෙදනවා. සමථ භාවනාව හා විදර්ශනා භාවනාව කියලා. දහම් පාසල්
අධ්‍යාපනය ලබන දරුවන් ලෙස මේ ගැන බොහෝ කරුණු ඉගෙනගෙන ඇති. සමථ භාවනාව කියන්නේ
දරුවනේ, සැම තැනම දුවන සිත එක් තැනකට ගෙන එන්නට උපක්‍රමශීලී ව සිදුකරන
ක්‍රියාදාමයටයි. භාවනා කිරීමට අරමුණක් ඕනෑ වෙනවා. ඒ අරමුණුවලට කියන්නේ කමටහන් කියල
යි. මේ සිත මොනතරම් කලබල ද කියනවා නම්, කලබල සිත සන්සුන්, කරගන්න, දුවන සිත එක්තැන්
කරගන්න .කමටහන් හතළිහක් තිබෙනවා. ඒ කමටහන් අතර දස කසිණ යනුවෙන් කමටහන් දහයක්
තිබෙනවා. සාමාන්‍ය ක්‍රමයට සිත එකඟ කර ගන්නට නොහැකි වුණොත්, පඨවි කසිණයෙන් සිත
එකඟකර ගන්නවා. අපි දැන් පඨවි කසිණය හදාගනිමු. පළමුව තුඹසකින් ගත් මැටි හොඳින් වියළා
ගන්නවා. ඉන්පසු හලාගත් සියුම් මැටි තැටියක අතුරා ජලය මිශ්‍රකර තලපයක් ලෙස හදා
ගන්නවා. එය තැටියේ අතුරා නැවත වියළෙන්නට හරිනවා. හොඳින් වියළුණ පසුව ඒ තැටියේ වියළි
මැටි අතින් පිරිමදිමින් පඨවි, පඨවි, පඨවි යනුවෙන් ඒ ගැන ම සිතනවා. තද ගතිය, තද
ගතිය, තද ගතිය ආදි ලෙස සිතමින් සිත එකඟ කර ගන්නවා.
ඒ විදිහට සිත එකඟ කර ගන්නට නොහැකි වුණොත් මේ උපක්‍රමය අනුගමනය කරන්න. පහනක් දල්වා
ගන්න.
නැතිනම් ඉටි පන්දමක් දල්වා ගන්න. එහි ආලෝක දැල්ල දෙස බලාගෙන ආලෝකය, ආලෝකය කියමින්
දිගටම මෙනෙහි කරන්න. එවිට සිතට නැඟෙන්නේ, ආලෝකය පමණයි. ඒ ලෙස පහන් දැල්ල දෙස ම
බලාගෙන සිත එකඟ කර ගන්නවා. එයට කියනවා ආලෝක කසිණය කියලා.
ඊළඟට දරුවනේ, ඔය ක්‍රම දෙකෙන් ම සිත එකඟ කර ගන්නට බැරිවුණොත් අනුස්සති භාවනා දහයක්
තිබෙනවා. ඒවාට දස අනුස්සති කියලත් කියනවා. එකක් තමයි බුද්ධානුස්සතිය.
බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම. බුදු ගුණ එකින් එක මෙනෙහි කරනවා.
උදාහරණ ලෙස අරහං,අරහං, අරහං යනුවෙන් මෙනෙහි කරනවා. බුද්ධානුස්සති භාවනාවෙන් සිත එකඟ
කරගන්නට නොහැකි වුණොත් මෙත්තානුස්සතිය වඩනවා. මෛත්‍රීය වඩමින් සිත එකඟ කර ගන්නවා.
කාගෙවත් බල කිරීමකට නොවෙයි. මේ මුළු ලෝක සත්වයන් වෙනුවෙන් සියලු සත්ත්වයෝ නිදුක්
වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් මෙත් සිතිවිලි වඩනවා. මෛත්‍රී
කිරීමෙන් සිත එකඟ නොවෙනවා නම්, අසුභානුස්සතිය මෙනෙහි කිරීමෙන් සිත එකඟ කර ගන්න
පුළුවන්. අසුභානුස්සතිය කියන්නේ අපේ ශරීරයේ තිබෙන්නා වු අසුභ කොට්ඨාශයන් පිළිබඳ ව
අසුබ ලෙස මෙනෙහි කිරීමයි. අපි සිතමු හිස කෙස් ගැන. මේ හිසකෙස් හොඳට තිබුණාට අසුබයි.
අසුබයි.වෙනස් වෙනවා. විනාශ වෙනවා. මේ විදිහට ශරීර කොටස් ගැන අසුභය වැඩීමෙන් සිත එකඟ
වෙනවා.
ඒ විදිහටත් සිත එකඟ කර ගන්න බැරිවුණා කියලා අපි සිතමු. එවිට මරණානුස්සතිය වඩනවා.
මම කවදා හෝ මිය යනවා, මේ ජීවිතය අනිත්‍යයි. දුක්ඛයි, අනාත්මයි කියමින් මරණානුස්සතිය
වඩනවා. එයත් අනුස්සති භාවනාවක්.
මීළඟ බුදුසරණ කලාපයෙන් භාවනාවේ අනුසස් ගැන දැන ගනිමු.
රමණී සුබසිංහ |