වප් අව අටවක 2018.10.31
කලණ මිතුරන් ඇවැසි ය
සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කරුණක් බව අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල
සූත්‍රයේ දී දේශනාකොට වදාළහ. ජීවිතය වඩාත් යහපත් වන්නේත්, සාර්ථක වන්නේත්, කරදර
බාධක අවම වන්නේත් එවැනි තැනක ජීවත්වන්නට හැකිවූයේ නම් ය. ප්‍රධාන වශයෙන් ජීවත්වීමට
වඩාත් සුදුසු, කලණ මිතුරන් ඇසුරු කළ හැකි තැන් ය. තුනුරුවන්ගේ ඇසුර ලද හැකි තැන් ය.
අයහපත පෙන්වා දෙන්නේත්, යහපතෙහි යොදවන්නේත්, දුකේ දී පිහිටට එන්නේත් කලණ මිතුරන් ම
ය. බුද්ධ ,ධම්ම, සංඝ යන තුනුරුවන් වැඩ සිටිනා තැන අදහම බැහැර කොට දහම තෝරා ගත හැකි
ය. අධර්මචාරි නොවී ධර්මචාරී විය හැකි ය. වර්තමාන සමාජ සංසිද්ධීන් හා සසඳන කල
ගැටලුවකට ඇත්තේ එවැනි ප්‍රදේශයක් තෝරා ගැනීම ය. අපගේ වාසනාවට මේ පින් බිමේ තෙරුවන්
වැඩ සිටිති. එහෙත්, ප්‍රතිපත්තියට නොව නමට තෙරුවන් සරණ යන අය වැඩි ය. තෙරුවන් සරණ
ගිය සැබෑ බෞද්ධයා තමන් ජීවත්වන පරිසරයට, එහි වෙසෙන මිනිසුන්ට සේ ම, සතා සිව්පාවුන්ට
ද හිතකාමී ය. ඔවුන්ගේ යහපතට මිස අයහපතට තම හැසිරීම් නො හසුරුවන්නේ ය. සරලව ම කියනවා
නම්, කලණ මිතුරෙක් වන්නේ ය. අප ජීවත්වන සමාජයේ ද එවැනි කල්‍යාණ මිතුරන් සිටිය ද, ඒ
අතර සිටින පස මිතුරන් නිසා වන හානිය යහපත ඉක්මවා යන ආකාරය දකිමු. අප අද මුහුණ දී
සිටින පාරිසරික ගැටලු එහි දී ප්‍රධාන ය.
ආත්මාර්ථය සාධනය පිණිස ඇතැමෙක් මහ පොළවටම සෙවණ දෙන මහා රූස්ස ගස් බිම හෙළති. පරිසරය
රැකගත් මහා වන බිම් කාන්තාර බවට හැරෙමින් තිබේ. සුළු පරිමාණ ව ද, මහා පරිමාණ ව ද
සිදු කෙරෙන මෙවැනි ව්‍යසන පසුපස සිටින්නෝ කෙසේනම් කලණ මිතුරන් විය හැකි ද? අවස්ථාව
ලද සැණින් කෙසෙල් ලෙල්ලේ සිට ගෙදර එකතුවන කසළ මල්ල ඉඩ ලද සැණින් මහ මඟ කොතැනක හෝ
අතහැර, තමන්ගේ පිරිසුදුකම රැකුණායැයි සිත සනසා ගන්නට සූදානම් මිනිසෙකු තුළ පස
මිතුරෙකු මිස අන් කවරෙක් නම් ජීවත් වන්න ද? අපේ මුතුන් මිත්තෝ මළ මුත්‍ර පවා
පරිසරයට මුදා හැරියේ පරිසර හිතකාමී ව ය. එහි ජීවත්වන ප්‍රාණීන්ට හානියක් නොවන ලෙස
ය. තවත් පැත්තකින් පස ද පෝෂණය වන ලෙස ය. එහෙත් අද වන විට එවන් පරිසර හිතකාමීත්වයක
ලකුණකුදු නැතිවන තැනට වැඩ සෑදෙනු පෙනේ.
රාජ්‍ය මට්ටමින් සේ ම, වෙසෙසින් බොහෝ බෞද්ධාගමික විහාරස්ථාන මඟින් ද පරිසරය රැක
ගැනීමෙහි ලා ඇති වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කරමින් රුක් රෝපණ වැඩ සටහන්, කසළ
කළමනාකරණය, පරිසරයට මුදා හැර ඇති පොලිතින්, ප්ලාස්ටික් එක් රැස් කිරීමේ විවිධ
වැඩසටහන් ක්‍රියාත්මක ය. ඒවා ඇගයිය යුතු ම ය. එහෙත් පරිසරය රැක ගැනීමේ ඕනෑකම එක්
අයෙකුට පමණක් තිබුණාට මදි ය. සමස්ත මානව ප්‍රජාවේ ම උනන්දුව, ඕනෑකම ඊට තිබිය යුතු
ය. මීට මාස කිහිපයකට පෙර කසළ වෙන්කොට බැහැර කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණි.
වෙන්කළ කසළ බැහැර කිරීමේ බඳුන් ද ප්‍රධාන ස්ථානවල තබා තිබුණි. බොහෝ දෙනෙක් ඊට අනුගත
වූ හ. ඒ කසළ ද විධිමත් ව එක් තැනෙකට බැහැර වන අයුරු දුටුවෙමු. ඒ ක්‍රමවේදය ද දැන්
පරිහානියට යන අයුරු ඇතැම් තැනෙක දකින්න ට ලැබේ. කසළ එක්රැස් කරන බඳුන් කැඩී බිඳී
ගොස් ය. පටු මාර්ගයන්හි සේ ම ප්‍රධාන මාර්ගයන්හි ද කසළ කපුටන් ඇද පාර පුරා විසුරුවා
හැර තිබේ. වෙසෙසින් වැසි සමයට මේ කසළ ප්‍රධාන රෝග කාරක ය. කාලානුරූප ව පරිසරය රැක
ගන්නට වහ වහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් අවශ්‍ය ය. එවැනි වැඩ පිළිවෙළ පසුගිය දිනවල
ක්‍රියාත්මක විය. එය ඇගයිය යුතුම ය. එහෙත් ඒ හා සමගාමී ව පුද්ගල ආකල්ප ද වෙනසකට ලක්
කළ යුතු ය. වරකට දෙකකට නොව නිරන්තරයෙන් ම එය කළ යුතු ය. අපේ සමහර මිනිසුන්ගේ මතකය
ද, හැදියාව ද යාවත්කාලීන වන්නේ එවිට ය. එවැනි වටපිටාවක හෝ පරිසර හිතකාමී කලණ
මිතුරන් බිහිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
|