UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුසස් දෙන පින්කමක බල මහිමය

අනුසස් දෙන පින්කමක බල මහිමය

කඨින සිවුරු පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත් වූ පින් රැස් කර ගැනීමට හැකි උතුම් පින්කමකි.

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් සිටීම, දායකයෝ විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට දියයුතු වීම, එතැන්හි දී ම කපා මසා සකස් කර ගත යුතු වීම, ආදී කරුණු රාශියක් එකතු වීමෙන් සිදුවන පින්කමක් හෙයින් කඨින පූජාව දුර්ලභ පින්කමක් ලෙස සැලකේ.

කඨින පින්කම සැදැහැවත් බෞද්ධයන්ට කළහැකි ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. එහි ආනිශංස තිස් කල්පයක් අපාගත නො වීමට හේතු වන්නකි. සත්‍ය ලෙස ම පංච ශීලය ආරක්ෂා කරමින්, දැහැමි ජීවිතයක් ගත කරන අයෙකු කරන වස් ආරාධනාවෙන් ලැබෙන ආනිශංස ඉමහත් ය. හේතුව මේ සඳහා වැඩි කාලයක් සූදානම් වීමයි. කුසලයක ආනිශංස වැඩි වන්නේ සීලය ප්‍රධාන කරගෙන දරන පරිශ්‍රමය අනුව ය. වස් කාලය අවසානයේ චීවරයක් පූජා කිරීමෙන් පමණක් කඨිනානිසංස ලබාගත නො හැක. එසේ ම, අතහිත දීමෙන් ම පමණක් සම්පූර්ණ අනුහස් සපුරා ලද හැකි බව සිතීම ද වැරැදි ය. එහෙත් කෙසේ හෝ මෙබඳු පින්කමකට සම්බන්ධ වීම ද ආනිසංස දායක ය. කුමන හේතුවකින් හෝ ජීවිතයේ එක් වරක් කඨිනානිසංස පුණ්‍ය කර්මයක් සපුරා ගැනීමට හැකි වුවහොත් සසර වසනතුරු බලගතු වාසනා මහිමයක් ලැබෙනු ඇත.

එකල පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ පාංශකූලික ආරණ්‍යවාසී සංඝයා වහන්සේලා තිස්නමක් වැඩ සිටිසේක. එම සඟරුවන බුදුරජාණන් වහන්සේ දැක කමටහන් ලබා ගැනීමට කැමති ව සැවැත් නුවරට වැඩම කරන්නේ සැවතට යොදුන් හයක් තිබිය දී වස්සාන සෘතුව එළඹිණි. අතර මඟ සාකේත නුවර නතර විය. වස් කාලය අවසන් වූ වහාම තව දුරටත් වැසි වැටෙද් දී තෙමී ගත් සිවුරුවලින් යුතු ව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එම කරුණ එදා කඨින චීවරයක් මහා සංඝරත්නය වෙත අනු දැනීමේ මඟ විය. දිය බේරෙන, තෙමී ගත් සිවුරුවලින් යුතු ව පීඩාවට පත් ව සිටි තම ශ්‍රාවක පිරිස කෙරෙහි සානුකම්පිත ව තථාගතයන් වහන්සේ වස් වසා නිමකළ භික්ෂූන් වෙත කඨින චීවරයක් පිළිගැනීමට සුදුසු බව වදාළහ. පෙර වස් බිඳ ගැනීමක් සිදු නො වූ මහා පවාරණයෙන් පවාරණය කළ සංඝයා වහන්සේ නමක් විය යුතු ය.

සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිත ව පවතින මෙකල උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටීම ඉමහත් ගෞරවයකි. බොදු සැදැහැවතුන් විසින් වස් විසීමට ආරාධනා කිරීම චාරිත්‍රයක් ලෙස සිදු කරයි. සමහර සැදැහැවතුන් තනවන ලද මෙම නිවාසයන් හි දී පදිංචියට පෙර වස් වසා පින්කම් සිදුකරයි. දැහැත් ගොටුවක් පිළිගැන්වීමෙන් ආරම්භ කරන වස් විසීමත්, චීවර මාසයේ සිදු කරන කඨින පින්කම් මුල, මැද, අග යන තුන් තන්හි ම සංවිධානය බොහෝ දුරට සැදැහැති බෞද්ධ පින්වතුන් විසින් කරනු ලබන්නකි.

කඨින වස්ත්‍රය මහා සංඝයා වෙත පූජා කිරීමට පෙර ඒ පිළිබඳ ව අසන දෙය පමණක් භික්ෂූන් වහන්සේලා කියා දී නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. එය අහසින් පහළ වූ දෙයක් පරිදි සංඝයාට හැඟෙන අයුරින් පූජා කිරීමට හැකි තරම් යහපත් යන හැඟීම පුරාණයේ සිට බෞද්ධයන් අතර පැවතුණි. තෙමසක් පුරා වස් පින්කම් පැවැත් වූ බෞද්ධ ජනතාව තවත් පූජා පින්කම් සමයක් අරඹයි. වප් මස අවපෑලවිය සිට ඉල් මස පුර පසළොස්වක පෝය දක්වා එය පැවැත්වේ. චීවර මාසය නම් වූ මේ කාලය තුළ නියම කරගත් එක් දිනක දී, එක් තැනක දී අවුරුද්දේ එක් වරක් පමණක් කළ හැකි පුණ්‍ය කර්මය කඨින පූජා පින්කම් වශයෙන් හඳුන්වයි.

කඨින චීවර දානමය කුසල කර්මය මහ පොළොව මෙන් කිසි දිනක කම්පා නොවේ. මහමෙර මෙන් අධික සුළඟින් නො සැලේ. දියමන්ති පර්වතයක් මෙන් නො බිඳෙන හෙයින් මේ ස්ථාවර කුසලයට කඨින යැයි කියනු ලැබේ.

කඨින දානමය කුසලය අට මහා කුසල් අතර ප්‍රධාන වන්නේ ය. ආර්ය පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් කරන ආමිස දානයන් අග්‍රස්ථානය ගනී.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ඉමහත් හරසරින් පවත්වන උත්සව අතරින් කඨින පූජෝත්සවය ප්‍රධාන වේ. බෞද්ධ පින්වතුන් පුරුද්දක් වශයෙන් කඨින පූජා පින්කම චාරිත්‍රවලට මුල් තැන හිමිකර දෙමින් හිමිදිරි පාන්දර සිදු කිරීමට පුරුදු පුහුණු ව සිටී. පෙර වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ නියම කර ඇති පරිදි සැදැහැවත් දායක පිරිස පූජා කළ වස්ත්‍රය කඩ කපා, පඬු පොවා සකස් කර කප් බිංදුව තබා අධිෂ්ඨාන කර ගනී. දෙපට සිවුර, තනිපට සිවුර හෝ අඳනය යන තුන් චීවරයන් ගෙන් එකක් ඒ සඳහා සකස් කර ගනී. අපට දෙවෙනි බුදු කෙනෙකු පරිදි වූ අනුබුදු මිහිඳු හිමියන්ගේ සමාරම්භ වූ තැන් පටන් ශාසනයෙහි මේ දක්වා පැවත එන චාරිත්‍රයකි. වංශ කතා අනුව අතීතයේ ලක් රජය හෙබවූ නරපතියෝ මේ මහා පින්කම මහානර්ඝ අන්දමින් පැවැත් වූ බව වංශ කතාවලින් සනාථ වේ. ගමක වෙසෙන සාධු ජන සමාජය සාමූහික ව එක් ව සිදුකළ හැකි පුණ්‍ය කර්මයකි. වස් වසා, වස් ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේ නමකට කඨින චීවරයක් පූජා කිරීම දුර්ලභ ගනයෙහි ලා සැලකිය හැකි කුසල කර්මයක් රැස්කර ගත හැකි අවස්ථාවකි.

නිවන් දක්නා ජාති දක්වා උප නිශ්‍රය වන, පරලොව ද සුගතිගාමි කරවන උදාර වූ කුසල ශක්තියකි. පැවිදි පක්ෂය හා ගිහි පිරිස අතර මනා සංයමයකින් සිදු කරනු ලබන ශාසනික වූ එකම සුවිසල් කුසල කර්මය ද කඨින පින්කම ය.

ගුණ නුවණින් පරිපූර්ණ රාජ රාජ මහාමාත්‍යාදී, පුණ්‍යකාමී, කලණමින්, සිල්වත් මහ සඟරුවන ඇසුරු කරමින් ඒ ඒ විහාර ආරාමයන්හි මහත් ශ්‍රද්ධා භක්තියෙන් කරනු ලැබූ විශේෂ කුසල කර්මයකි. අපමණ පින් ඇතිවන අනුහස් ඇති කඨින සිවුරක් පූජා කරගත් අයට ආනන්තරීය කර්ම හැර ඉන් මෙ පිට කවර විදියේ අකුසල කර්මයක් කෙරී තිබුණ ද ඒවා යටපත් කිරීමේ ශක්තියක් බලයක් ඇති වේ. දෙව් මිනිස් දෙ ගතියෙහි ම සැරිසරමින් මහා කල්ප තිහක් පමණ මෙම කුසලයෙන් විපාක ලැබිය හැකි ය. සක් දෙවි රජෙකු වීමට හේතුවන කුසලයකි. උපනූපන් සෑම තැනක දී ම සියලු සම්පත් ලැබීමට හේතු වේ. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, යන උසස් කුලවල ඉපදීමට උපකාර වේ. සෑම තැන්හි ම පි‍්‍රය මනාප පුද්ගලයෙකු වේ. මේ අනර්ඝ කුසල කර්මයෙහි දී සංඝයා වහන්සේලාට අවශ්‍ය බඩු බාහිරාදිය ද පූජා කිරීමක් සිදුවේ. ඉදල, කොස්ස, පැදුර, කොට්ටය, පාපිස්ස ආදී උපකරණ පමණක් නොව විහාරස්ථානයට අවශ්‍ය ඇඳ, පුටු ආදී ගරු භාණ්ඩයෝ ද පූජා කළ හැකි ය. වැඩ සිටින සියලුම භික්ෂූන් වහන්සේලාට සිවුරු පූජා කිරීම ද වස්සාවාසික චීවර පූජා නමින් හඳුන්වයි. එ පමණක් නොව දායක පිරිස විසින් විහාරස්ථාන භූමිය එළි පෙහෙළි කොට විහාර බෝමලු ධර්මශාලා ආදී ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරනු ලබයි. හෙළ බොදු සැදැහැවතුනට මහානිසංසදායි කුසල ක්‍රියාවට උතුම් චාරිත්‍රයකි. පුරා මාස තුනකට වඩා පිළිවෙත් පිරීම නිසා පැවිදි පක්ෂයට ලැබෙන අනුසස් ද අපමණ ය.

වප් පොහෝ දිනය කඨින චීවර මාසය ආරම්භ වීම ඇතුළු තවත් වැදගත් කරුණු ගණනාවකින් ම පූජණීයත්වයට පත් වූ දිනයකි.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවෙන් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, භික්ෂූන් වහන්සේ විනය ප්‍රඥප්තියක් ඉටු කරන දිනය වීම, දෙවන පෑතිස් රජතුමා අරිට්ඨ කුමාර ඇතුළු දූත පිරිස ධර්මාශෝක රජු වෙත යවා ජය සිරි මහා බෝධි ශාඛාව ලංකාවට වැඩමවීම හා අරිට්ඨ කුමරු, සිඟාල මහ රහතන් වහන්සේ විසින් මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම ආදිය වප් පෝය හා පවතින ශාසනික වැදගත් සිද්ධීහු වෙති.

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]