බැන්නත් තරහ නොගන්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පදියතලාවේ ඤාණවිමල හිමි
අප අනුන් සමඟ වෛරයකින් පසුවන අවස්ථා ඕනෑ තරම් ඇතැයි කිව හැකි ය. ඒ තරම්
ඊර්ෂ්‍යාවකින්, වෛරයකින්, ක්‍රෝධයකින් පසුවීමට බලපා ඇති සමීපතම කාරණාව කුමක්ද? ඔබේ
සිතින් මොහොතක් සිතා බලන්න.
එය කුඩා අත්වැරැදීමක් වෙන්නටද පුළුවනි. එනමුත් ඔබ ඒ ගැන දීර්ඝව නොසිතා වෛර බැඳගන්නේ
නම් ඉන් ඔබ ලබන සැනසීම කුමක්ද? තවමත් අපට සකස් කරගත නොහැකි වූ පුද්ගල මනෝභාවයකි මේ.
කුඩා හෝ අත්වැරැද්දක් වුවද ඒ වැරැද්දට හවුල් වූ තැනැත්තා සමඟ වෛරයෙන් පසුවීම. අප
සම්බුදුරජාණන් වහන්සේ මෙවැනි අවස්ථාවක දී ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි ඉතා පැහැදිලිව
දේශනා කර ඇති බව හඳුනාගත හැකි ය.
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අභාසි මේ
යේතං න උපනයිහන්ති
වේර තෙසූපසම්මති
මෙම ගාථා පාඨයෙන් පෙන්වා දෙන කාරණාව අපේ ජීවිතයට සැබැවින්ම අදාළ කරගත හැකි වන්නකි.
අසවලා මට බැන්නේ ය, මට පහර දුන්නේය, මා පැරදුවේ ය, මට සතුවිය යුතුදේ ලබාගත්තේය ආදී
වශයෙන් යමෙකු කෙරෙහි ද්වේශ සහගත සිතක් ඇති කර නොගන්නේ වී නම් එමගින් වෛරය සන්සිඳෙන
බව පෙන්වා දී ඇත. බොහෝ දෙනෙකු වරදවා ගන්නේ මෙම අවස්ථාවන්වලදී ය. තමාට වඩා යස
ඉසුරෙන් ආඪ්‍ය වන පුද්ගලයන් දෙස බලා තමන්ට කළ නොහැකි වූ , දිනිය නොහැකි වූ ජීවිතය
ජය ගත් බව සිතා ඔවුන් කෙරෙහි වෛරී සිතක්, ක්‍රෝධ සිතක්, ඊර්ෂ්‍යා පරවශ සිතක් ඇති
කරගෙන ජීවත් වන්නන් මේ ලෝකයේ වැලි කැට ගණනට සොයා ගත හැකි වන්නේ ය. එයින් ප්‍රකට
කරන්නේ පුද්ගල මනෝභාවයන්ගේ ස්වභාවය වුවත් අප වෙහෙසිය යුත්තේ අනුන්ගේ සැප දැක සතුටු
වීමටයි.
එක් අවස්ථාවක දී බුදුන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ නමින් වූ වටිනා උපදේශ සතරක්
උගන්වා ඇත. මෙවැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි වටිනාම කරුණු මේවා බව ප්‍රඥාවන්ත
වූ ඔබට ද හඳුනාගැනීම දුෂ්කර නොවේ. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නිරන්තරයෙන්
අප ප්‍රගුණ කළ යුතු වන්නේ එයින් අපට ලැබෙන සැනසීම කෙතරම් දැයි ප්‍රමාණ කළ නොහැකි
බැවිනි. ඉහතින් පෙන්වා දුන් ඊර්ෂ්‍යාකාරී සිතක්, ක්‍රෝධ සහගත සිතක් පහළ වන්නේ නම්
අප ඒ සිතිවිලි හැකි ආකාරයෙන් සිතින් ඉවත් කොට මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් හා
උපේක්ෂාවෙන් යුතුව ක්‍රියා කිරීමට මහන්සි ගත යුතුවේ. මේ විදියට කටයුතු කරන්නේ නම්
ඔබට නොදැනීම ඔබේ දිවිය සරුසාර වේවි. එය ඔබේ කායික මානසික දියුණුවට පමණක් නොව
ලෝකෝත්තර දියුණුව කෙරෙහි ද බලපානු නො අනුමාන ය. |