නිකිණි අවඅටවක 2018.09.03
හුදෙකලාවතුළ අතරමං වීම
සම්බුදු දහමෙන් සුපෝෂිත, අපූර්වතම වූ වටිනා සමාජ සංස්කෘතියක් අපට හිමි ය. ඒ තුළ
බෙදා හදා ගැනීම, එකමුතුකම, අනුන්ගේ දුකේ දී පිහිටවීම, අන්‍යෙන්‍ය උපකාරය, ආගන්තුක
සත්කාරය, කළගුණසැලකීම ආදි සමාජ ප්‍රගමනයට, සංහිඳියාවට උරදෙන ගුණාංගයෝ බොහෝ ය.
පරපුරෙන් පරපුරට උරුමව ආ මේ ගුණධර්මයෝ දැන් දැන් ඉතා වේගයෙන් ගිලිහී යන සෙයක්
දැනෙන්නේ සාමූහික දිවි පැවැත්ම වෙනුවට ඔවුනොවුන් හුදෙකලා වන ස්වභාවයක් පෙනෙන්නට
තිබෙන නිසා ය. පවුල තුළ පවා මවුපිය දූ දරුවන් ඔවුනොවුන්ගෙන් දුරස්ව තනිවන ආකාරයක්
දිස්වේ. මේ පිළිබඳ සමාජ විචාරකයන් විටින් විට අවධාරණය කරති. සමාජ සාමාජික
සාමාජිකාවන් අතර පවා සාකච්ඡාවට බඳුන්වේ.
විශේෂයෙන් හුදෙකලාවීම සම්බන්ධව දරුවන්ට චෝදනා කිරීම, සාකච්ඡා කිරීම පමණක්
ප්‍රමාණවත් නොවේ. වහ වහා ඊට පිළියම් යෙදිය යුතු වේ. මේ තත්ත්වය වඩා වර්ධනය වූයේනම්,
වන විපත මහත් වන නිසා ය. හුදෙකලාව තුළ පුද්ගල වශයෙන් මානසික ආතතිය වැඩිවිය හැකි ය.
සමාජමය වශයෙන් පෙර කී ගුණ ධර්මයෝ වියැකී යා හැකි ය. මිනිසා යනු ස්වභාවයෙන් ම
පුද්ගලාන්තර සන්නිවේදනය පි‍්‍රය කරන්නෙකි. ඒ තුළ ඔහු ජීවිතයේ දුක සතුට බෙදා හදා
ගනී. ප්‍රශ්න ගැටලු වඩාත් හොඳින් විසඳාගන්නට අන්‍යයන්ගේ උපකාර, උපදෙස් ලබා ගනී.
එය මානසික සුවයට යහපත් ය. පසුගියදා ඉරුදින දහම් පාසලක ප්‍රධානාචාර්ය ස්වාමීන්
වහන්සේ නමක් උදෑසන රැස්වීමේ දී මවුපිය – ගුරුවර, දූ දරුවන් අමතා කළ දේශනයක ඉතා
කාලෝචිත උපදේශයක් අසන්නට ලැබුණි. උන්වහන්සේ එහි දී අවධාරණය කළේ ඉරුදින දහම්පාසලට එන
යන ගමනේ දී හෝ දරුවන් යාන වාහනවල නොව ගම මැදින් දිවෙන මාර්ගයේ දෙපයින් රැගෙන ඒමට
සැලකිලිමත් වන ලෙසට ය. ඒ, එකම ප්‍රදේශයක ජීවත්වුව ද බොහෝ විට වර්තමානයේ ඔවුනොවුන්
පිළිබඳ දැන හඳුනා ගැනීම විශේෂයෙන් බාල පරපුර වෙතින් ගිලිහෙමින් පවතින නිසාය.
අතීතයේ නම් ගැමියෝ සේ ම නාගරිකයෝ ද තමන් ජීවත්වන ප්‍රදේශයේ අය ගැන හොඳින් දැන
සිටියහ. කුඩා දරුවෙක් ගැන පවා කාගේ කවුදැයි කියන්නට, මේ අසවලාගේ දරුවෙක් යැයි
කියන්නට දැන සිටියහ.
ඒ තුළ මහ මගදී, දුකක දී කරදරයක දී පවා ආරක්ෂාවක් ලැබුණි. අනෙක් පසින් සොර
සතුරන්ගෙන්, විෂමචාරි පුද්ගලයන්ගෙන් ප්‍රදේශය ආරක්ෂාවුණි. හිතවත්කම්, දැන හැඳීනීම්
තුළ, තමන්ගේ ගමේ, ප්‍රදේශයේ කෙනෙක් යන හැඟීම තුළ සාමූහිකත්වයත්, එකමුතුකමත්,
ගොඩනැඟුණි. බොහෝ අනර්ථයන්ගෙන් සමාජය ආරක්ෂා වන්නට එය ප්‍රබල හේතුවක් වුණි.
විශේෂයෙන් දැන්, දැන් මත්ද්‍රව්‍ය රකුසා ඈත පිටිසර ද ගිලගන්නට උත්සාහ කරන ආකාරය
දිනෙන් දින වාර්තාවන ප්‍රවෘත්තීන්හි පළ වේ. පවුල,ගම, රට, විනාශ කරන මෙවැනි දුරාචාර
වළකන්නට ඕනෑම ප්‍රදේශයක ජීවත්වන මිනිසුන්ගේ සාමූහික බව ඉතා ප්‍රයෝජනවත් ය. ගමට,
නගරයට වින කරන්නෝ හඳුනාගෙන ඔවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නට හැකියාව ලැබෙන නිසා
ය.
ඔවුනොවුන් හුදෙකලාවීම වේගවත් වීමට වර්තමානයේ තාක්ෂණික මෙවලම් විශාල බලපෑමක් කරන
ආකාරය පෙනේ. මහමඟ පවා අනතුරු නොසලකා අන්තර්ජාලයෙහි සැරිසැරීම සුලබ දසුනකි. තාක්ෂණය
යොදාගත යුතු තමන්ගේ දියුණුවට මිස පරිහානියට නොවේ. එය යහපත්ව පරිහරණය කළේ නම් ලෝකය
ගැන විශාල දැනුම් සම්භාරයක් උකහා ගත හැකිය. කනගාටුවට කරුණ යහපතට වඩා අයහපතට යොමු
වීමය. එහි වගකිව යුත්තෝ වැඩිහිටි අපම ය.
අද අපේ දරුවන්ට සම වයස් දරුවන් සමඟ කෙළි සෙල්ලමට කාලයක් නැත. ගෙදර සිටින සුළු වේලාව
ද පරිගණක ක්‍රීඩාවන් හි ය. මෙහිදී, දරුවාට ජීවිතයට උකහා ගන්නට දෙයක් නැත.
ජය පරාජය විඳ දරා ගැනීම, ඉවසීම, දරා ගැනීම, තීරණ ගැනීම මිනිස් හැසිරීම් හඳුනාගැනීම
ආදියට පෙරහුරුවක් ලැබෙන්නේ නැත. කොටින්ම ඔවුන් ජීවිතය ඉගෙන ගන්නේ නැත.
අපගේ බාල, තරුණ පරපුර හුදෙකලාව තුළ අතරමං නොකර, ඔවුන්ට ජීවිතය ඉගැන්වීමට කාලය පැමිණ
තිබේ. වගකිව යුතු වැඩිහිටියන් අද අදම ඒ වෙනුවෙන් විචාරශීලි විය යුතුව තිබේ.
|