බුදුරදුන් ලොවට දුන් ආදර්ශය
මාස්පොත
ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානාවාසී
කු/නික / වාරි රත්මලේ රතනසෙල
ඓතිහාසික මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති
ගලගෙදර රතනවංස හිමි
මිනිසෙකු වශයෙන් උපදින්නේ බොහෝ පින් කිරීමේ විපාකයකිනි. ‘දුල්ලභංච මනුස්සත්තං’
මිනිසත් බව ලැබූ සැම කෙනෙකුම සිතිය යුතු වන්නේ එය දුර්ලභ කාරණයක් බවයි. කෙසේ හෝ
මිනිසෙකු වී ඉපදුන ද එම මිනිසත්කම ඔපවත් වන්නේ ගුණධර්ම තුළිනි. මැණිකක් ඔප කිරීමෙන්
වඩාත් දිස්නය දෙමින් ගුණාත්මක බව වැඩි වන්නා සේ මිනිසෙකු හොඳ ගුණ ධර්ම ප්‍රගුණ
කරන්නේ නම්, එම මිනිසත්කම වඩාත් වටිනාකමකින් හෙබි වන්නේ ය.
තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොටගෙන ලොවට දුන් පළමු පාඩම වන්නේ ද,
කළගුණ සැළකීම නොහොත් මුල අමතක නොකිරීමේ පාඩමයි. උන්වහන්සේට බුදුවීම උදෙසා සෙවන
ලබාදුන් බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා හිඳ එම කෘතගුණ සැලකීම කරන ලදී.
එපමණක් නොව බුදුවීමට උත්සාහවත්වන කාලය තුළ තමන්ට උපස්ථාන කළ, පිහිට වුණ. පස්වග
තවුසන් සොයාගෙන ගොස් පළමු දම් දෙසුම වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිදුකරන
ලදී. මේ ආදී මුළු බුද්ධ චරිතය පුරාම එම උතුම් ගුණය ඉස්මතු වී පෙනෙන ආකාරය ඉතා
පැහැදිලි ය.
බුද්ධශ්‍රාවකයන් වූ භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකාවන් තුළ ද එම උතුම් ගුණය
ප්‍රගුණ කළ යුතු ආකාරය ආදර්ශයෙන් ම බුදුරදහු ලොවට දේශනා කළහ. ලොව පරම සත්‍ය අවබෝධ
කරගත් නික්ලේසී එවැනි උතුමෙක් කළගුණ සැලකීම නම් උතුම් ගුණාංගය ප්‍රගුණ කළා නම්, අප
වැනි පුහුදුන් අය විසින් අනිවාර්යයෙන් ම එය වර්ධනය කළ යුතුව ඇත. මව්පිය, දූ දරු,
ගුරු සිසු, ස්වාමි භාර්යා, ස්වාමි සේවක, ගිහි පැවිදි හා මිතුරන් මිතුරන් යනාදී සෑම
අංශයක් තුළම එම උතුම් ගුණාංගය වර්ධනය කළ යුතුව ඇත.
සමාජය තුළ මුල අමතක කිරීමේ මිනිසුන් බහුල වන අතර මුල මතක අය ඉතා ස්වල්පව ඉඳී.
කෙනෙක් සරණක් නොමැතිව මංමුලා වී අසරණව සිටින මොහොතක සද් පුරුෂයෙක් ඔහුට අත දී ඔහු
සමාජ තත්ත්වයකට ගැනීමට උත්සාහවත් වනු ඇත. නමුදු එවැනි අය සමාජයේ තත්ත්වයකට ආ පමණින්
තමාගේ මුල අමතක කිරීම සිදු කරති. අලුත් යාළුවො, අලුත් සම්බන්ධතා මත ද, මුල අමතක වී
යනු ඇත. ලාබ ප්‍රයෝජන වැඩි වීමත් සමඟ ඒවා රැක ගැනීමට උත්සාහවත් වනවා හැර ගුණධර්ම,
පිළිබඳ කිසිදු තැකීමක් නොකරනු ඇත. එය අකෘතඥ කමක්, දුෂ්ඨකමත් වශයෙන් බුදුදහම තුළ
පෙන්වා දී ඇත.
සමාජයේ බොහෝ දෙනෙකුට කළ උපකාර ඉතා ඉක්මනින් අමතක වෙති. එය අකෘතඥකමයි. බුදුදහම තුළ
නිරන්තරයෙන් කතා කරන්නේ තමනට තව කෙනෙකු උදව්වක් උපකාරයක් කළහොත් එය අමතක නොකරන
ලෙසයි. මනසින් උසස් යයි කියාගන්නා ලද මිනිසුන් තුළ නොමැති කළගුණ සැලකීම නොහොත් අමතක
නොකිරීමේ ගුණය සතා සිව්පාවන්ට ඇති බව පැහැදිලි වේ. සුනඛයෙකුට ආහාර වේලක් දුනහොත් එම
සතාට එය සැමදා මතක තිබෙනු ඇත. අන් සතුනට ද එසේම ය. නමුත් මිනිස් සතා තුළ එම ගුණ
ඉක්මනින් අමතක කිරීමේ ප්‍රවණතාවය වැඩි ය. එය මෙම මිනිස් සමාජයේ පිරිහීමට හේතුවක්
වනු ඇත. උසස් මනසක් ඇති මිනිසාගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීමට අපහසු ය. නමුත්
සිදුවන්නේ එයම ය. එය පහත් ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට පුළුවන. මිනිස් සමාජයට අකෘතඥ
මිනිසුන් සාපයකි. මිනිසාට පමණක් නොව සතා සිව්පාවුන්, ගස් කොළන් ඇතුළු ස්වභාව
ධර්මයටද ඔවුන්ගෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු වීමට නොපුළුවන.
ජාතක පොත් වහන්සේ තුළ සඳහන් 508 වෙනි ජාතක කතාව වන මහා කපි ජාතක කතාව තුළ ගුණ ධර්ම
අමතක කළ දුෂ්ඨ මිනිසෙකු පිළිබඳ සඳහන් වේ. කළගුණ දන්නා අය ලොව දුර්ලභය යන බුදු වදනට
අනුව එම කතා පුවත ඉතා වැදගත් වනු ඇත.
යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි එක්තරා බමුණෙක් තමාගේ
ගොනුන් සොයමින් වනයට ගොස් අතරමං වී සතියක් පමණ කුසගින්නෙන් ඇවිදින අතර ගසකට නැග ගඩා
ගෙඩි කන අතරේ දී ගසින් වැටී අසල ඇති ගැඹුරු වළකට වැටුණේ ය. එයින් ගොඩවන්නට නොහැකිව
දවස් හයක් පමණ දුක් විඳිමින් ඉන්න අතරේ දී අපගේ බෝධිසත්වයෝ වඳුරු කුලයක ඉපිද වනයෙහි
ඇවිදින අතරේ දී එම මිනිසා දැක මහත් කරුණාවෙන් ඔහු ගොඩ ගත්හ. මිනිසා ගැන විශ්වාසයෙන්
වෙහෙස නිවා ගැනීමට මිනිසාගේ උකුල මත හිස තබාගෙන වඳුරා නිදා ගත්තේ ය. පසුව අර දුෂ්ට
මිනිසා වඳුරා මරා මස් කෑ යුතු යැයි සිතා ගලක් ගෙන වඳුරා මතට දමා ගැසී ය. එයින්
වඳුරාට මඳක් තුවාල විය. නමුදු එම වඳුරාගේ තිබුණ කරුණාව හේතුවෙන් වනයේ අතරමං වී
සිටින මෙම දුෂ්ඨ මිනිසා තුළ දුර්ගුණ තිබුණත් මොහුට පිහිට නොවී සිටීම මා වැන්නෙකුට
සුදුසු නොවන්නේයැයි සිතා ඔහු මිනිස් වාසයට ඇරලුවේ ය.
මෙම දුර්ගුණ මිනිසා තමාට උදව් කළ වඳුරාට කළ අකෘතඥකම ගැන නිතර නිතර සිතා ඒ තුළින්ම
ශෝචනීය ව රෝගාතුර විය. ශරීරය පුරාම කුෂ්ඨ රෝගයක් ඇති වී අප්‍රමාණ වේදනාවකින් තැනින්
තැන ඇවිදිමින් රජ ගෙදරට පැමිණ රජ්ජුරුවන් හමු විය. රජතුමා එයට හේතු සාධක අසා තමාට
උදවු කළ වඳුරා මැරීම බව පැවසීමෙන් ඒ සමඟම පොළොව පළා ගෙන ආ ගිනි දැල්වලින් වැසී ගිය
එම අකෘතඥ පුරුෂයා මහ පොළොව යටට ඇදී ගොස් නිරයෙහි උපන්නේ ය.
ඉහත කතා පුවතින් පැහැදිලි වන්නේ ද ජීවිතය පවා බේරාගැනීම අමතක කොට ද්‍රෝහිවීමේ
සිද්ධියකි. එවැනි මිනිසුන් බුදුන් කල ද සිටියහ. ගඟෙන් වතුර බී මුහුදට ආ වැඩීම ආදී
පාඨ තුළින් ද පැහැදිලි වන්නේ අකෘතඥයන්ගේ දුෂ්ඨකම් ය. සමහරු අවි රස්මියෙන් මිදීමට
ගසක සෙවණ ලබා ගත්තත් එම ගස කැපීමට, විනාශ කිරීමට තරම් දුර්ජනයින් වන පුවත් ද අසන්නට
දකින්නට ලැබේ. කිරි දුන් මව, කෑම දුන් පියා ඉවතට දැමීමට තරම් සමහර දූ දරුවෝ අකෘතඥ
වෙති.
උසස් මනසක් ලද මිනිසුන් එසේ කරනවානම්, එය සමාජ ප්‍රශ්නයකි. ඔවුන්ගේ කිසිදු පිහිටක්
බලාපොරොත්තු විය නොහැකි අතර ඔවුන් විශ්වාස කිරීම ද අපහසු ය. එවැනි දුර්ජනයින් උදවු
කරපු මිනිසාටම විපතක් කිරීමට පුළුවන. මොකද ඔහු තමන් අසරණව සිටින කල පිහිට වූ බව තව
කෙනෙකුට කියයි හෝ, තමාට එය මදි කමක් යැයි සිතා හෝ තමාට උදව් උපකාර කළ කෙනාටම
කරදරයක් කිරීමටද බැරි නැත.
තමන් ආ ගමන් මඟ දෙස නැවත නැවත හැරී බැලීම මිනිසත්කම ඔපවත් කර ගැනීමට රුකුලක් වනු
ඇත. එසේ නොවන්නේ නම්, එය මනුෂ්‍යකමට නොගැළපෙන්නකි. සමාජයේ කුමන විධියකින් ධන
සම්පත්, නම්බු නාම, තානාත්තර ලබා සිටියත් මුල දී සද්පුරුෂයින්ගේ පිහිටක් පිළිසරණක්,
උදව්වක් උපකාරයක් නොලැබුනා නම්, වෙසෙස් තත්ත්වයට ඒමට අපහසු ය. එසේ සත් පුරුෂ ඇසුරක්
නොලැබුණානම් සමහර විට දුර්වල මිනිසෙකු බවට පත්වීමට ද ඉඩසැලසෙනු ඇත.
ඒ අනුව මිනිසත් බව ලැබූ අප කවුරුත් අපට උදව් උපකාර කළ අය අමතක නොකළ යුතු ය. ලොකු
මිනිසුන් පසුවට හමු වුව ද මුලදී තම යාළුවො, සත්පුරුෂයෝ, වැඩිහිටියො කළ උපකාර අමතක
නොකළ යුතු ය. එබැවින් බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට පළමුවෙන් කියාදුන්,
ආදර්ශයෙන් ම පෙන්වා දුන් එම උතුම් ගුණාංගය වර්ධනය කරමින් දුර්ලභව ලැබූ මිනිසත් බව
ආරක්ෂා කර ගැනීමට උත්සාහවත් වෙමු. |