සසුන බබළවන දනට සෙත සදන
බුද්ධ පුත්‍රයාණෝ
බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ
" අනගිභවනීය මෙහෙවරකට යොමු වෙමින් සසුනෙහි වැඩ වසන හිමිවරුන්ගේ මව්පියවරුන්
වෙනුවෙන් මව්පිය සෙවණක් ඉදිකිරීමට මුල පිරූහ. ඊට නිවසක්ද සහිතව අක්කර දෙක හමාරකින්
යුත් භූමි භාගයක් ඤාණා ද සිල්වා මුණසිංහ මහත්මිය විසින් සඟ සතුව පූජා කළ අතර එහි නව
ගොඩනැගිලි සංකීර්ණයක් ගොඩනගා මෙම මස 8 වනදා එය විවෘත කිරීමට කටයුතු යොදා ඇත."
ගිහි ගෙයිදී ලැබෙන සියලු ගිහි සම්පත් අතහැර පැවිදිවීම දුෂ්කර කරුණකි. එසේ පැවිදි
වුවද දිගුකලක් ඒ පැවිද්ද පවත්වා ගැනීම ඊට වඩා දුෂ්කර කරුණකි. එමෙන්ම එම පැවිද්ද
නිවැරැදිව පවත්වාගැනීම ඊටත් වඩා දුෂ්කර ය.
සසර අපමණ පුරුදුතාවයන් වර්ධනය කළ හෙයින් ම උතුම් පැවිදි දිවිය දිවි පරදුවට තබා
සුරකින අපමණ යතිවරයාණන් වහන්සේලා ගෙන් මෙරට සම්බුදු සසුන ශෝභාවත්වී අලංකාරවත්වීම
දකින්නට අප කෙතරම් නම් පින්රැස් කරගන්නට ඇතිද?
ගිහිගෙයින් බැහැරව පැවිදි දිවියට ඇතුළත්ව පන්සලේ නේවාසික වූ දා පටන් ගමනින් ශාන්ත
වෙයි. පැවැත්මෙන් සංවර වෙයි. තිදොර සංවරයට නිරන්තරයෙන් පැමිණෙයි. ස්වකීය දිවිමග
අධ්‍යාත්මික සුවයෙන් පෝෂණය කර ගනියි. එපමණක් නොව ශක්ති පමණින් දායකකාරකාදීන්ගේ
දිවිමග ද අධ්‍යාත්මිකව සුවපත් කර ගැනීමට අවශ්‍ය දහම් මග පහදා දෙයි. බොහෝ දෙනාගේ හිත
සුව පිණිසම ක්‍රියා කරයි. ආදර්ශවත් එබඳු උතුම් යතිවරුන් ගිය , යන මග යන්නට සිය සිසු
හිමිවරුන් ද උනන්දුවනු නොඅනුමාන ය. ගුණවත්, නැණවත්, සිල්වත් මහ යතිවරුන් සසුනඹරෙහි
මිණි පහන් වනුයේ ද ඒ නිසාම ය. අපේ රටේ සම්භාවනීය මහ යතිවරුන් ශාසනික, ආගමික වශයෙන්
පමණක් නොව සාමාජික වශයෙන් ද සිදුකරන මෙහෙවර අත්‍යුදාරය.දිවිමග ගැන ආපසු බලා සතුටු
විය හැකි නම් එබඳු දිවිය කෙතරම් ආදර්ශයක් සමාජයට උදාකර දෙයිද?
මෙතෙක් පැමිණි ගමන් මග බලා නිරන්තරයෙන් සතුටු වන මහ යතිවරයන් වහන්සේ නමකි, පයාගල
මලේගොඩ පුෂ්පාරාමාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
බෙන්තර වලල්ලාවිට දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ.
කළුතර මලේගොඩ මූලටියන ග්‍රාමයේ දොන් රිචඩ් ලියනාරච්චි සහ ඩබ්ලිව්. කේ. ඇලිස්නෝනා
දම්පතීන්ගේ පුත්‍ර රත්නයක් ලෙස 1945 දෙසැම්බර් 31 වනදා උපත ලද පින්වත් පුත්රුවන
නමින් "නන්දසේන" විය. කුඩා කල හැදී වැඩී නිසි වියේ දී මලේගොඩ කනිටු විදුහලෙන් මූලික
අධ්‍යාපනය ලැබී ය. 1958 අපේ‍්‍රල් 12 වනදා මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමයේ දී පයාගල
සෝමසාර නායක ස්වාමීන් වහන්සේගේ හා මලේගොඩ චන්ද්‍රජෝති නායක ස්වාමීන්වහන්සේගේ ද
ආචාර්යත්වයෙන් මලේගොඩ නන්ද නමින් පැවිදි බිමට පත් විය.
සිය ඇදුරු හිමිවරුන්ගෙන් මූලික බණ දහම් හදාරා රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනින්,
මුලික පිරිවෙන් අධ්‍යාපනය ලබා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් විය.
විද්‍යෝදය පරිවේනාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකර මහානායක
ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්මාන්තේවාසික වීමේ වාසනාව ලද මලේගොඩ නන්ද හාමුදුරුවෝ ඒ
ඇසුරෙන් ලද ක්‍රියාකාරකම් මගින් තම දිවිමග සඵල කර ගැනීට උත්සුක වූහ. වර්ග
පටිපාටියෙන් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබුව ද කළුකොඳයාවේ
පඤ්ඤාසේකර මහා නාහිමියන්ගේ උපදෙස් අනුව විද්‍යෝදය ත්‍රිපිටක විභාගයට ඉදිරිපත් වී
ඉන් උසස් ප්‍රතිඵල ලැබූහ.
1966 ජුනි 27 වනදා කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී කෝට්ටේ කල්‍යාණි
සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක මොල්ලිගොඩ අරියවංශ මහා නාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් පයාගල සෝමසාර, මලේගොඩ චන්ද්‍රජෝති. ආචාර්ය කළුතර ජිනවංශ යන නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් අධිසිල් ලැබූහ.
1970 දී රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ මලේගොඩ නන්ද
හාමුදුරුවෝ පුරා වසර දහයක් මුළුල්ලෙහි ස්වකීය ගුරුදේවයන් වහන්සේලා වෙත සිය
දායකකාරකාදීන්ගේ ද සහයෙන් මහත් ගුරු ගෞරවයෙන් ඇප උපස්ථාන කළහ.
1975 දී මලේගොඩ පුෂ්පාරාමයේ විහාරධිපති ධුරයට පත්ව එතැන් පටන් විහාරස්ථානය ගමේ
සැදැහැවතුන්ගේ ආගමික කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නට මහත් කැපවීමෙන් ක්‍රියා කළහ. නව
විහාරාංග ගොඩ නංවමින් අංග සම්පූර්ණ පින්බිමක් බවට පත් කළහ. ශ්‍රීමත් අනගාරික
ධර්මපාල පරෝපකාර පදනමෙහි ප්‍රධාන ලේකම් ධුරයට පත් වූ මලේගොඩ නන්ද හාමුදුරුවෝ එමගින්
සුවිසල් සමාජ මෙහෙවරකටද යොමු වූහ. සර්වෝදය ව්‍යාපාරය හා එක්ව ග්‍රාමීය සංවර්ධනය
කෙරෙහි ඇප කැප වූ උන්වහන්සේ "දවස" පුවත්පත් ආයතනයේ දහම් පහන වැඩ සටහනෙහි
ක්‍රියාකාරි නියමුවරයෙකු ලෙස කටයුතු කළහ. ශ්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස
ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් උදාගම් දහම් පහන වැඩ සටහන්ද දියත් කළහ.
1988 කැරැල්ලේ අසරණ වු තරුණයන් පුනරත්ථාපනය කිරීම සඳහා මලේගොඩ පුෂ්පාරාමයේ
පුනරුත්ථාපන කඳවුරක් ආරම්භ කරමින් එහි දී තරුණයන් පන්සියයකට අධික පිරිසක්
පුනරුත්ථාපනය කරමින් ඔවුන්ගේ දිවිමග සාර්ථක කර ගැනීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කළහ.
කුලදරුවන් රැසක් උදෙසා සාසන දායාදය ලබා දුන් උන්වහන්සේ 1992 දී මලේගොඩ පුෂ්පාරාමයේ
සිරිනන්දන ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන ආරම්භ කළහ. මේ වන විට උන්වහන්සේගේ පැවිදි
ශිෂ්‍යයන් 87 ක් නමක් පමණ වන අතර උන්වහන්සේලා වියත් බුද්ධිමත් ශිෂ්‍යයන් වහන්සේලා
වන හෙයින් පුෂ්පාරාමාධිකාරි රාජකීය පණ්ඩිත උණාවටුනේ වංශානන්ද හිමියන් හා
ශාස්ත්‍රපති අතුරලියේ සෝමානන්ද හිමියන් විශේෂ ස්ථානයක් ගනී.
2001 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර වලල්ලාවිට
කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් වූ මලේගොඩ නන්ද නායක හාමුදුරුවෝ ස්වකීය පැවිදි
දිවිය ආදර්ශවත්ව ගත කරමින් උත්සාහයෙන් හා තිර අදිටනින් කවදත් කටයුතු කරති. උදාර
සමාජ සද්කාර්යයන් රැසක නිරතව වැඩ සිටින උන්වහන්සේ 2016 වසරේ දී අනගිභවනීය මෙහෙවරකට
යොමු වෙමින් සසුනෙහි වැඩ වසන හිමිවරුන්ගේ මව්පියවරුන් වෙනුවෙන් මව්පිය සෙවණක්
ඉදිකිරීමට මුල පිරූහ. ඊට අක්කර දෙක හමාරකින් යුත් භූමි භාගයක් සහිත නිවසක්ද ඤාණා ද
සිල්වා මුණසිංහ මහත්මිය විසින් සඟ සතුව පූජා කළ අතර එහි නව ගොඩනැගිලි සංකීර්ණයක්
ගොඩනගා මෙම මස 8 වනදා එය විවෘත කිරීමට කටයුතු යොදා ඇත. කළුතර ඈතගම ගාලුපාරේ අංක 274
ස්ථානයෙහි පිහිටි බෝසත් මව්පිය සෙවණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත ය.
සේයාරූ - චාමර කවිරත්න |