ඇසළ අව අටවක 2018.08.04
ශික්ෂණය වැදගත් ය...
යම් දෙයක් පිළිබඳව සිතා බලා කටයුතු කරන්නට තරම් ඉවසීමත්, බුද්ධියත් වේ නම් එමඟින්
සිදුවිය හැකි ගැටලු, ප්‍රශ්න අවමය. ක්‍රියාවට සේ ම කතාවට ද එය එක හා සමානය. බොහෝ
දෙනාතුළ නැත්තේ ද එම ගුණාංගයම ය. ජීවිතයේ සුළු ප්‍රශ්නයක්වත් විසඳා ගන්නට නොදැන,
ආවේගකාරීව ප්‍රශ්න දුරදිග ගෙන යන අවස්ථා කොතෙකුත් ය. එහෙත් ධර්මානුකූලව ජීවිතය
හසුරුවා ගන්නා පුද්ගලයෙකු නම් ප්‍රශ්න හමුවේ සැලෙන්නේ නැත. කලබලයෙන්, ආවේගයෙන් ඒවා
විසඳා ගන්නට ගොස් අලුත් ප්‍රශ්න නිර්මාණය කර ගන්නේ ද නැත. එවැනි නුවණැත්තෝ ද බොහෝ
වෙති. ඒ අතරම වැරැදි මඟ යන්නෝ ද වෙති. ඇස ගැටෙන සිදුවීම් අනුව නම් වයස් භේදයක් එහි
නැත.
සති කිහිපයකට පෙර එවන් අශෝභන සිදුවීමක් දින කිහිපයක් පුරා ඇදී යනු ඇස ගැටුණේ පොදු
මගී ප්‍රවාහන සේවාවක දී ය. කනගාටුවට කරුණ නම් ඒ හිරිමල් තාරුණ්‍යයේ දරුවන් වීම ය.
ඇඟලා සිටි නිල ඇඳුම්, ඒ පාසල් දරුවන් බව පෙන්නුම් කළේ ය. ප්‍රශ්න විසඳාගන්නා අශිෂ්ට
ආකාරය දුටුවේ පාසලට යන අතරමඟ දී ත් පාසල නිම වී ආපසු යන ගමනේ දී ත් ය. පොලු
මුගුරුගෙන ප්‍රශ්නය විසඳන්නට ආවේ තවත් තරුණ කණ්ඩායමක් ය. ඔවුන් පාසල් යන සෙයක්
නොපෙනුණි. ඉන්නේ කොතැන ද, කරන්නේ මොනවා ද, අවට සිටින්නේ කවුරුද යන්න ගැන ඔවුන්ට
කිසිදු හෝ හැඟීමක් ඇති බවක් පෙනුණේ නැත. පාසල් ගිය ද නොගියද කවරෙකු තුළ වුවද
විනයගරුක බව, ශික්ෂණය, ඉවසීම තිබිය යුතු ය. කෙනෙක් කඩුපොලු ගෙන ප්‍රශ්න විසඳා ගන්නට
එනවා නම්, ඊට ඒ ආකාරයෙන්ම ආවේග වී පිළිතුරු දෙන්නට සූදානම් වන්නේ නම් ඒ අඥානකමය.
ප්‍රශ්නයක් තිබෙනවා නම් තමන්ගේ මවුපියන්ට හෝ ගුරුවර වැඩිහිටියන්ට ඒ පිළිබඳව දැනුම්
දී එය විසඳා ගත යුතු හොඳම ක්‍රමයට විසඳාගන්නට පාසල් දරුවෙකුට ඉවසීම ද, බුද්ධිය ද
තිබිය යුතු ය.
එසේ නොවන්නේ නම් එහි වරදට මවුපියන්ද වගකිව යුතු ය. නිවසින් එළියට බසින දරුවා කරන්නේ
කුමක්ද? ඇසුරු කරන්නේ කවුද? යන්නේ කොහේද ගැන නිරන්තර සොයා බැලීම ඔවුන්ගේ වගකීමකි.
මේ එක සිදුවීමක් පමණක් නොවේ. මෙවැනි දේ ඕනෑ තරම් සිදුවේ. ඉතා සුළු සිදුවීමකට ශිෂ්‍ය
නායකයකුට මරණයට පත්වන්නට තරම් සැහැසි ලෙස පහර දුන්නේ සම වයසේම පාසල් දරුවෙකි. ඒ මීට
මාස කිහිපයකට පෙරය.
අප උත්සාහ ගත යුතු මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත සිදුනොවන්නට ඉඩ දීමය. එහි
ප්‍රධාන වගකිව යුත්තෝ පූර්වාචාර්යවරුන් වන මව්පියන් ය. ඊළඟට ගුරුවරු ය. විෂයය
දැනුමෙන් පමණක් ජීවිත ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙයි. බුද්ධිය ද අත්‍යවශ්‍ය ය.
සංවේදී බව ද ඕනෑ ය. ඒ සඳහා දරුවා මෙහෙයවනු ලැබිය යුතු වැඩිහිටියන් විසිනි. විනය,
ශික්ෂණය දරුවන්ට හුරු පුරුදු කළ යුතුමය. ඒවා නොවූ තැන ඉස්මතු වන්නේ වෛරය, තරහව,
ක්‍රෝධය වැනි දරුණු හැඟීම් ය. විනය ශික්ෂණය ඇති තැන ගහ බැණ ගැනීම් නැත.
ප්‍රතිපහර නැත. අනතුරු අවමය. බොහෝ දෙනෙක් පහරට පහරින් ම පිළිතුරු දෙන්නට යන්නේ එසේ
නොවුයේ නම් එය නිවටකමක් ලෙස සලකා ය. මේ ආකල්ප වහ වහා වෙනස් කළ යුතුව තිබේ.
මනුෂ්‍යත්වය, පෞරුෂත්වය කුමක්දැයි දරුවන්ට හඳුන්වා දිය යුතුව තිබේ.
ජීවත් විය යුතු නිවැරැදි වත් පිළිවෙත් රාශියක් බුදු දහමේ උගන්වා ඇත. ගමේ
විහාරස්ථානයේ දී මතු නොව ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඒ සදුපදේශ සහිත දහම්පද
නිතර ශ්‍රවණය වේ. දහම් ඇසුවාට ප්‍රමාණවත් නැත. ඒවා හොඳින් ග්‍රහණය කොට ප්‍රායෝගිකව
ජීවිතයට ගළපා ගත යුතු ය. ‘සුනාථ ධාරෙථ චරාථ ධම්මේ’ යැයි බුදුරජාණන් වහන්සේ
ඉගැන්වූහ. වත් පිළිවෙත් නොපුරන්නාගේ සිල් නොපිරේ යැයි දහමේ සඳහන් ය. දහම් මග යන්නා
සිල්වත් විය යුතු ය. අප සමාජයට දායාද කළ යුතු වන්නේ ද එවන් සිල්වතුන් ම ය.
|