UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පෝදා සිදුවූ ඓතිහාසික අනාවරණය

ඇසළ පෝදා සිදුවූ ඓතිහාසික අනාවරණය

බුදුවරයෙකු ලොව පහළවන්නේ කුමක් සඳහා ද? කවර ගැටලුවක් විසඳාගැන්මට ලෝකයට මග පෙන්වීම පිණිසද?, මෙම ප්‍රශ්නයට දිය යුතු පැහැදිලි වූත්, පෙළ දහමට අනුකූල වූත් ධර්මානුකූල පිළිතුර නම්, “බුදුවරයෙකු උපදිනුයේ සසර දුකත්, දුක්ඛ නිරෝධයත් ප්‍රකාශ කරනු පිණිසය” යන්නයි. දුක යනු මානව සංහතිය ඉදිරියේ ඇති පෞද්ගලික වූත්, සාමාජික වූත් සියලු ගැටලු ඉක්මවා සිටින . එකී ගැටලු සියල්ල විසඳාගත්ත ද නොවිසඳී පවත්නා ගැටලුව ය.

දේශය කුමක් වුවද, කාලය කුමක් වුවද, ජාතිය කුමක් වුවද සමස්ත සත්ව සංහතියම මහා දුෂ්කරතාවයකට , මහා අමාරුවකට පත්ව සිටිති. ජාතිය, එනම් නැවත නැවතත් උපත ලැබීම, ජරාව, එනම් උපන් සත්වයාගේ දිරායාම, මහලුවීම, ව්‍යාධිය, එනම් අනේකාකාරවූ රෝග පීඩාවනට නැවත නැවතත් ලක්වීම මරණය එනම් ඒ ඒ සත්වයන් උපන් සත්ව නිකාය හැරයාම , දිවි තොරවීම සියල්ල අත්හැරයාමට සිදුවීම, අපි‍්‍රයයන් හා එක්වීමෙන්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමෙන් කැමති දේ නොලැබීමෙන් සැකෙවින් කිවහොත් රූපස්කන්ධාදී වශයෙන් දක්වන ලද උපාදාන කොටගත් පඤ්චස්කන්ධයෙන් විඳීමට සිදුවී ඇති කටුක , අප්‍රසන්න ,අසහනකාරී , තුච්ඡ , අර්ථශූන්‍ය, අතෘප්තිකර අත්දැකීම් අසාර,අපරිපූර්ණ පීඩාජනන අත්දැකීම් දුක්ඛ යන්නෙන් ප්‍රකාශිතය. බුදුවරු, විද්‍යාවෙන් අන්ධව අඳුරෙහි අතපතගාමින්, තණ්හාවෙන් මුසපත්ව නිබඳවම අනේකාකාර දැ සොයා යන මානව වර්ගයා තුළ ඉහත කී දුක පිළිබඳ අවදිකමක්, අවබෝධයක් ඇති කරනු පිණිසම ලොව පහළ වෙති.

එසේම එකී සසර දුකින් අත්මිදී කෙසේනම් පරම ශාන්ත වූ අධ්‍යාත්මික නිදහස, විමුක්තිය, උදාකර ගන්නේදැයි පෙන්වා දීම පිණිසම ලොව පහළ වෙති. මෙසේ දුකත්, දුකින් නිදහස් වීමත් හෙළිදරව් කරන දේශනාව නම් චතුරාර්ය සත්‍යයයි. එයම බුදුදහමෙහි හරය වෙයි.පදනම වෙයි. මූලික ඉගැන්වීමද වෙයි. දුක් ගිනි නිවා ගැන්මට නම් සැබෑ චරිත සංවර්ධනය වූ ශීලයද එය පාදක කොටගෙන අධ්‍යාත්මික සංවරය, සංවර්ධනය වූ සමාධියද එය පාදක කොටගෙන ඇති තතු ඇති හැටියෙන් දැන දැක පසක් කිරීම නම් වූ ප්‍රඥාවද වඩා වවාගත යුතුයැයි බුදු දහම පෙන්වා දෙයි. චතුරාර්ය සත්‍යය මෙන්ම එකිනෙකට සම්බන්ධව ඇත්තා වූද, එකිනෙක පරියායෙන් ප්‍රකාශිත වූද පටිච්ච සමුප්පාද ය, ත්‍රිලක්ෂණය , නාම රූප විභාගය, කර්මය ආදි සියලු බෞද්ධ මූලධර්මයෙන් දුකත්, දුකින් මිදීම පිණිස වන පිළිවෙත් මාර්ගයන් හෙළිදරව් කරන්නේය.

ආත්මය නිත්‍ය වේද? ලෝකය සදාකාලික ද, ශාස්තවද ආත්මය මරණින් කෙළවර වේද? ලෝකය තාවකාලිකද? අශාස්වතද යන උභතෝකෝටික අවුල් වියවුල් ගැටුම් ඇති කළ දාර්ශනික ප්‍රශ්න මෙන්ම එකී ප්‍රශ්න පාදක කොටගෙන උපන් සෙසු සියලු දෘෂ්ටිවාදි, අන්තවාදි ගැටලුද බුදුරජාණන් වහන්සේ විසින් ඨපනීය, එනම් පැත්තකින් තැබිය යුතු, පසුපස හඹා නොයා යුතු ප්‍රශ්න ලෙස සලකන ලදී. නිමක් නොපෙනෙන වාද විවාද උපදවා ලූ එම ප්‍රශ්න ව්‍යාකෘතය, ඒවා අර්ථ ශූන්‍ය වු, පීඩා ජනක වූ දෘෂ්ටි ජාලයෙක අප පටලවන බව බුදුසමය පෙන්වා දෙයි. අප ඉදිරියේ ඇති සියලු ආර්ථික ,දේශපාලන, සමාජ, සංස්කෘතිකාදී පෞද්ගලික හා සාමාජික ගැටලු පරදවන ඒවා ඉක්මවා සිටින සසර දුක නමැති මහා ගැටලුව විසඳා ගැන්මට කවර හැටියෙකින්වත් උපකාරී නොවන්නේ යැයි මජ්ක්‍ධිම නිකායේ චූල මාලුක්‍යපුත්ත ,අග්ගි වච්ඡගොත්තාදි දේශනාවලද තවත් නොයෙක් තැනද බුදුරජාණන් වහන්සේ වදාළහ.

විටෙක කොසඹෑනුවර ඇට්ටේරියා වනයෙක වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එහි ඇට්ටේරියා කොළ මිටක් අතින්ගෙන, බොහෝ කොළ ඇත්තේ තම මිටෙහිද? මහා වනයෙහිදැයි විමසූහ.” ස්වාමීනි, වනයෙහි කොළ අපමණ ය.

අත්ලෙහි ඇත්තේ ඉතා ස්වල්පයකැ’යි භික්ෂූහු පිළිතුරු දුන්හ. “මහණෙනි, මවිසින් මා සතු සුවිශේෂ වූ නුවණින්, කැලයේ කොළ මෙන් බොහෝ දැන සිටියද දේශනා කරවූයේ මිටට ගත් කොළ ටික මෙන් අතිශයින් ම වැඩදායක වූ දේ පමණකැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල්නොවන ,නිර්වේදය (කළකිරීම) විරාගය (නොඇල්ම) නිරෝධය (කෙලෙස් නැති කිරීම) වූපසමනය ( සංසිඳීම) වෙසෙස් නුවණ, සම්බෝධිය හෝ නිර්වාණය පිණිස උපකාරි නොවන දේ නොවදාරන බවද තවදුරටත් වදාළහ. එසේ පවත්වන දේශනාව කුමක්ද චතුරාර්ය සත්‍ය ධර්මයම වේ යැයි ද පැහැදිලි කළහ.

සූත්‍රාන්ත ධර්මයන්ට අනුව පඤ්ච නීවරණ යටපත් කොට ධ්‍යාන උපදවා චිත්ත පාරිශුද්ධියද , ඒකාග්‍රතාවයද ලබා පඤ්ච අභිඥා (ඍද්ධි විධ, දිබ්බසොත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාස, දිබ්බ චක්ඛු) ඥාන උපදවා ගන්නා ආර්ය ශ්‍රාවකයා, එම පදනම මත පිහිටා ආසවඛ්‍ය ඤාණය වෙත නැඹුරු වෙයි. එනම් චතුරාර්ය සත්‍යාවබෝධය තුළින් සියලු කෙලෙස් නසා ලබන ආවසානික වූ උත්තරීතර ඤාණයයි. දුකය, දුක්ඛ, සමුදයය. දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාව යැයි අවබෝධ කිරීමයි. හෙතෙම මේ ආශ්‍රවයෝය (රාගාදී කෙලෙස්ය) මේ සමුදයයි. (හටගැන්මයි) මේ ආශ්‍රව නිරෝධයයි. (නැති කිරීමයි) මේ අනුව නිරෝධ ගාමිණි පටිපදාව ( නැති කරන මග) යැයි ඇති හැටියෙන් දනියි. කාමාශ්‍රවාදින්ගෙන් මිදෙන හෙතෙම ඉපදීම අවසන් කළේය. බ්‍රහ්මචරියාව නිම කළේය. කළයුත්ත කළේය. දුකින් මිදීමට නිවන් දැකීමට තවත් කළ යුත්තක් නැතැයිද පසක් කළේය. මජ්ක්‍ධිම නිකාය මහා හත්ථි පදෝපම සූත්‍රය අනුව බුදුරදුන් වදාළ සියලු කුසල ධර්මයෝ. (සත්තිස් බෝධි පාක්ෂික ධර්මයෝම) චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් වෙති. මහ ඇතාගේ පා සටහන විශාල ය. වනයෙහි සියලු සතුන්ගේ පා ඒ තුළ බහාලිය හැකිය. එමෙන්ම චතුරාර්ය සත්‍යය ද පුළුල් අර්ථ ඇත්තේ ය. සමස්ත ධර්මයම එහි ඇතුළත් වෙයි.

ඇසළ පුන් පෝ දිනෙක සිදුකළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. ඉසිපතන මිගදායේ දී පස්වග භික්ෂූන් අමතා දේශනා කොට වදාළ එම සූත්‍රය අනුව චතුරාර්ය සත්‍යය පිළිබඳ ඓතිහාසික අනාවරණය එහිදී සිදුවිය. එතෙක් ලෝකයේ කිසිදු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මාරයෙකු විසින් ප්‍රකාශ නොකළ ධර්මය එයයි.

සූත්‍රය අනුව බුදුරජාණන් වහන්සේ තුළ චතුරාර්ය සත්‍යය අරබයා උපන් අවබෝධය පරිවට්ට (වට) තුනෙකි. සත්‍ය, කෘත්‍ය, කෘත යනුවෙනි. ආකාර දොළහකි. මේ දුක්ඛාර්ය සත්‍යයයි. මේ සත්‍යය පිරිසිඳ දත යුතුය. මවිසින් එය පිරිසිඳ දන්නා ලදී. මේ දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. මෙය ප්‍රහීණ කළ යුතුය. මවිසින් ප්‍රහීණ කරන ලද්දේ ය. මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි. එම සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. මවිසින් සාක්ෂාත් කරනා ලදී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයයි. එය වැඩිදියුණු කළ යුතුය. මවිසින් වැඩි දියුණු කරන ලදී. මෙකී අවදිකම හඳුන්වා ඇත්තේ යථාභූත ඤාණ දර්ශනය ලෙසිනි. සම්බෝධිය නිර්වාණය පසක් කිරීමට බුදුරජාණන් වහන්සේට හැකිවූයේ මෙකී සත්‍යාවබෝධයෙනි. එයින් උන්වහන්සේට නුවණැස පහළ විය. (චක්ඛුං උදපාදි) යථාභූත ඤාණය පහළ විය (ඤාණං උදපාදි) ප්‍රඥාව පහළ විය (පඤ්ඤා උදපාදි) විද්‍යාව පහළ විය. (විජ්ජා උදපාදි) යථාර්ථය දක්නා ආලෝකය පහළ විය. (ආලෝකො උදපාදි) මෙහිලා ආකාර පසෙකින්ම චතුරාර්ය සත්‍යාවබෝධය කියැවෙයි. එසේ සමානාර්ථවත් ප්‍රකාශ පහක්ම දක්වන ලද්දේ උපන් ඤාණය වඩාත් අවධාරණය කිරීම පිණිසයි. ඒ ඒ සඳහා භාෂාව ප්‍රමාණවත්වන්නේ දැයි උපන් විමතිය නිසාය.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]