පටිපදා ඤාණ දස්සන විසුද්ධිය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස
පරිවේණාධ්යක්ෂ
ත්‍රිපිටක විශාරද,
ශාස්ත්‍රපති,
මකුලෑවේ විමල නා හිමි
මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය ඇති කරගත් යෝගාවචරයා ඉදිරියටම භාවනා කරමින් ඇති වන
විදර්ශනා ඤාණ නවය “පටිපදා ඤාණ දස්සන විසුද්ධිය වශයෙන් සැලකෙයි. එම ඤාණ නවය නම්
වශයෙන් මෙසේ ය. සම්මසන ඤාණය ,උදය – ව්‍යය ඤාණය ,භංගානුපස්සනා ඤාණය ,භයතු පට්ඨාන
ඤාණය ,ආදීනවානුපස්සනා ඤාණය ,නිබ්බිදානු පස්සනා ඤාණය ,මුඤ්චිතුකම්‍යතා ඤාණය
,පටිසංඛානුසප්සනා ඤාණය ,සංඛාරු පෙක්ඛා ඤාණය
සම්මසන ඤාණය
සම්මසන යන වචනයෙහි අර්ථය විමසා බැලීම යන්නයි. මග්ගාමග්ග ඤාණ දස්සනයෙන් යුතු
යෝගාවචරයා , නාමරූපයන්ගේ අනිත්‍ය, දුක්ඛ.අනාත්ම යන ත්‍රිලක්ෂණය දැන ගනී. ඔහු
ඉදිරියට උදයව්‍යය ආදි ඤාණ නවය ඇති කර ගැනීමට ක්‍රියා කරයි.
උදයව්‍යය ඤාණය
උදය යනු හටගැන්මයි. ව්‍යය යනු විනාශයයි. සංස්කාරයන්ගේ හට ගැන්ම සහ ඒවා බිඳී බිඳී
විනාශ වී යන ආකාරය දකිනා නුවණ උදය ව්‍යය ඤාණයයි.
භංගානු පස්සනා ඤාණය
එනම් සංස්කාරයන්ගේ විනාශය පිළිබඳ වැටහීමයි. යම්කිසි පුද්ගලයෙකු පොකුණු ඉවුරක හෝ
ගංගා ඉවුරක සිට වැහි වහිද්දී දිය මත වැටෙන දිය බුබුළු වහ වහා විනාශ වන අයුරු
දකින්නේ යම් සේ ද, එසේ ම සංස්කාරයන්ගේ සිදුවන වහා නිරුද්ධ වීම භංගානු පස්සනා
ඤාණයෙන් දක්නට හැකි ය.
භයතු පට්ඨාන ඤාණය
මීතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානචාර්ය ව වැඩ සිටි මාතර ඤාණාරාම ස්වාමීන්ද්‍රයන්
වහන්සේ භයතු පට්ඨාන ඤාණය ගැන කරන පහත දැක්වෙන සටහන කියවන්න. “යෝගාවචරයාට බලන බලන ,
හිතන හිතන හැම දෙයක් ම බිඳෙනු පෙනේ. නාමයන් හා රුපයන් බිඳෙනු පෙනේ. ඒ අවස්ථාවේ ඔහුට
තමා අනාත වූ ලෙසක් ද වැටහේ. අල්ලාගෙන සිටි නාම රූපය බිඳෙන විට පුදුම අන්දමේ
සංවේගයක් ඇති වේ. පිහිට කරගෙන සිටි හැම දෙයක් ම බිඳි - බිඳි යන විට “කෝ පිහිටක්, කෝ
සරණක්?” යනුවෙන් බයක් ඇති වේ. මෙම භයතු පට්ඨාන ඤාණය ( බිය විය යුතු දෙයක් හැටියට
සැලකීමේ ඤාණය) පහළ වූ විට තමාට ඇති වූ භය යෝගාවචරයා මෙනෙහි නොකළහොත් ඒ භය දිගින්
දිගට යයි. එය අවසන් කර ගැනීමට නොහැකි වීමෙන් භාවනාව කරගෙන යාමට නොහැකි වේ.”
ආදීනවානුපස්සනා ඤාණය
සියලු සංස්කාර ජාති,ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සා දී නොයෙක් ආදීනව දොස්
ඇතැයි සංස්කාරයන්ගේ ආදීනව සැලකීම අනුව උපදිනා ඤාණය මෙනමින් හැඳින්වෙයි. “භයතු
පට්ඨාන ඤාණය වඩන යෝගාවචරයාට මහා භූතයන් – භවත්‍රය දිලිසෙන අඟුරු පිරුණු වලක් මෙන් ද
සංසාරය ඝෝර විස ඇති සපුන් මෙන් ද, පඤ්චස්කන්ධය ඔසවන ලද කඩු ඇති වධකයන් මෙන් ද ඇස,
කන ආදි සය දෙන පාළු ගමක් මෙන් ද, රූප ශබ්ද ආදි සය දෙන ගම් පහරන සොරුන් මෙන් ද,
සියලු සංස්කාර ගඩු, වණ අජීර්ණ, සන්නිපාත, රෝගා ආබාධ ඇති, ආස්වාද රහිත, රසින් තොර
ආදීනව හෙවත් දොස් ඇති දේ යැයි දන්නා නුවණ ආදීනවානුපස්සනා ඤාණ නමි.”
නිබ්බිදානුපස්සනා ඤාණය
විවිධ ආදීනව දෝෂ ඇති සංස්කාරයන් ගැන කළ කිරීම අනුව ඇති වන ඤාණය මෙනමින් හැඳින්වෙයි.
මුඤ්චිතු කම්‍යතා ඤාණය ,කලකිරීමට හේතු වූ සංස්කාරයන්ගෙන් නිදහස් වනු කැමති වීම අනුව
උපදනා ඤාණයයි. ,පටිසංකානුපස්සනා ඤාණය නමින් හැඳින්වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන්
සියලු සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ විදර්ශනා ප්‍රඥාවෙන්
බැලීම අනුව උපදින ඤාණයයි.
පටිසංඛාරුපෙක්ඛා ඤාණය නම් සංස්කාරයන් නිත්‍ය, සුබ,ආත්ම යන සියල්ලෙන් සූන්‍ය වූවන්
බව වැටහීමෙන් කිසිදු අපේක්ෂාවක් නැතිව මධ්‍යස්ථ වීම අනුව උපදින ඤාණයයි. යෝගාවචරයාගේ
ශ්‍රද්ධා, වීර්යය ආදි ගුණධර්ම දියුණු තියුණු වී දැන් මාර්ග චිත්තය උපදිතැයි කිව
හැකි කාලයෙහි මෙතෙක් උදයබ්බය ඤාණය පටන් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා උපදවාගෙන ආ
විදර්ශනා පරම්පරාවටත් මතු උපදින මාර්ග ත්‍රිත්වයටත් අනුකූලව උපදින ඤාණය
සච්චානුලෝමික ඤාණය යි. |