අධිපොසොන් පුර පසළොස්වක 2018.05.29
යහපත් උපාසකයා
පුර පසළොස්වක පොහෝ දිනයන්හි වෙහෙර විහාරස්ථාන බොදු උවසු උවැසියන්ගෙන් පිරී යයි.
වර්තමානයේ දී බාල, තරුණ, පිරිස් ද සීල සමාදාන පින්කම්වලට වැඩි දායකත්වයක් ලබා දෙති.
සීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ද, ආමිෂ පූජාවන්ගෙන් ද සම්මා සම්බුදුරජාණන්
වහන්සේ පුදනු පිණිස බොදු දනන්ගේ මේ ඒකරාශි වීම ඔවුනොවුන් අධ්‍යාත්මික ගුණ ධර්මයන්
ගෙන් පොහොසත් කරවීමෙහිලා සුවිශේෂී වේ. පොදුවේ ගුණ ගරුක සමාජයක ආරම්භය ද එයම වන්නේය.
සමාජයක් ගුණ ගරුක වනවා යනු ගහ කොළ, සතා සිවුපාවුන් ඇතුළු මුළු මිනිස් ප්‍රජාවටම
බියෙන් තොරව, සැකයෙන් තොරව සතුටෙන්, සැනසීමෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක් සුසැදීම
ය. කරුණාව, මෛත්‍රිය අගයන, මනුසත්කම හඳුනන, මිනිසුන්ට ගරු කරන, දයාර්ද මිනිසුන්
සිටිනා තැන දුසිරිත්කම්, නොපනත්කම් අසන්නට ලැබෙන්නේ ම නැත.
එවැනි සුපින්බර සමාජයක
ජීවත් වීමට ලැබීම ම භාග්‍යයකි. එසේ වුවද ඇතැම් විටෙක ඇස ගැටෙන, කන වැකෙන සිදුවීම්
ගුණ දහම්හි දිළිඳුබව මිස පොහොසත්කමක් නම් පෙන්වන්නේ නැත. බොහෝ දෙනෙක් ඒ ගැන කියමින්
තැවෙති. තවත් කෙනෙකුට දොස් නගති. එකිනෙකාට වරද බාර කරමින් තමන් නිදහස් වන්නට සිතීම
අර්ථ විරහිත ය. අප තුළ ද බොහෝ අඩු ලුහුඬුකම් තිබෙන්නට ඇත. අප සිතා නොබලා කළ කී
ඇතැම් දේ නොදැනුවත් ව හෝ යම් වරදකාරී දෙයකට වක්‍රව හෝ අනුබලයක් වන්නට ඇත. අප වෙතින්
ද යුතුකම්, වගකීම් මග හැරෙන්නට ඇත. නිවසේ, රැකියා ආයතනයේ, සමාජයීය පරිසරයේ මේ කවර
තැනෙක දී හෝ අඩුපාඩු සිදුවන්නට ඇත. ඒ තුළ, තවත් තැනෙක අයහපත් පුද්ගලයෙක්,අදැහැමි
මිනිසෙක් නිර්මාණය වන්නට ඇත. තම තමන්ගේම චරිතය ගැන ආවර්ජනයක නියැළෙන්නට කාලය එළඹ
ඇත. ඒ වැරැදි නිවැරැදි කරගන්නට මිස කළ කී දේ ගැන තැවෙන්නට දැවෙන්නට නොවේ. සැබැවින්
ම බොදු උවසු උවැසියන් සතු ගුණාංග අප සතු වේද? එසේනම් අප අත් දකින සමාජ ව්‍යාකූලතා
කුමටද? හොඳින් විමසා බැලුවේ නම්, පිළිතුරු තම තමන්ටම සොයා ගත හැකි වනු ඇත.
සම්බුදු දහමට අනුව උපාසක උපාසිකාවන් වන ගිහි බෞද්ධයෝ දෙවර්ගයකි. උපාසක චණ්ඩාල හා
උපාසක පුණ්ඩරික ලෙස ය. උපාසක චණ්ඩාල නම් නරක බෞද්ධයා ය. ඔහු වෙහෙර විහාරස්ථාන ඇසුරු
කරයි. ආගමික වැඩ කටයුතුවල දී ද ඉහළින් දායකත්වය දෙයි. එහෙත් අනවබෝධයෙනි. යහපත්
බොදුනුවෙකු ලෙස පෙනුණ ද ගතිගුණ ඊට හාත්පසින්ම වෙනස් ය. බුද්ධ, ධම්ම, සංඝ යන
ත්‍රිවිධ රත්නය පිළිබඳ ඔහු තුළ මතු පිටින් පෙන්වන ශ්‍රද්ධාව නැත. දුසිල්වත්ය.
ඊර්ෂ්‍යාව , තරහව, වෛරය ආදී සිතිවිලිවලින් අනූනව අනුන් විපතේ හෙළන්නට නිරන්තරයෙන්
මෙහෙයවන සිත් ඇත්තේය. බොහෝ කොට සුබ අසුබ නිමිති පිළිගනී. කර්මය නොපිළි ගනී. කර්මය
නොපිළිගන්නා පුද්ගලයා පරපණ නසන්නට බිය නැත. අනුන් ඉන් වළකාලන්නට උත්සාහ ගන්නේ ද
නැත. සොරකමට, කාම මිථ්‍යාචාරයට බොරුවට ලජ්ජා බිය නැත. අනුන් ඒවායින් වළකාලන්නට
කැමැත්තක් නැත. සුරාවෙහි ආදීනව ද නොදන්නේ ය. තෙරුවන් සරණ හැර අන් සරණ සොයන්නේ ය.
එහෙත් පුණ්ඩරික නම් වූ යහපත් බෞද්ධයා ඉහත කී මගට හාත්පසින් ම විරුද්ධ වුවෙකි.
තෙරුවන් පිළිබඳ අපමණ ශ්‍රද්ධා ඇත්තෙකි. හේ පස් පවින් වැළකී දහමට අනුවම ජීවිතය ගෙන
යයි.
තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ දහම් මාවතක් අපට පෙන්වා දී තිබේ. ඒ දහම් මග නිවැරැදිව
අවබෝධ කරගෙන ජීවිතයට සමීප කරගන්නවා විනා ධර්මය පිළිපදිනවා යැයි අනවබෝධය තුළ සිත
රවටා ගැනීම ඵල රහිත ය. සම්බුදු සසුනේ පුණ්ඩරීක උපාසක උපාසිකාවක ලෙස නිවැරැදිව දහම්
මාවතේ ගමන් කරන්නට අප්‍රමාදී වෙමු. එවිට මෙලොව ද පරලොව ද ජීවිතය සුවපත් වනු ඇත.
|