අරි අටඟි මඟ වඩිමින් පිළිවෙත් පුරන්නෝ
වාරියපොල
ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ
සීලක්ඛන්ධ නා හිමි
“චත් තාරිමානි භයානි ඉධෙකච්චේ පුග්ගලෙ
ඉමස්මිං ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං
පබ්බජිතෙ පාටිකංඛිතබ්බානි.
කතමානි චත්තාරි ඌමිභයං,
කුම්භීලභයං, ආවට්ටභයං,
සුසුකාභයන්ති”
අපේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක චාතුමා නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන අවස්ථාවක
භික්ෂූන් වහන්සේලා අරමුණු කොට දේශනා කෙරුණු වැදගත් වන කාරණ රැසක් සිහියට නැඟෙන
සූත්‍ර පාඨයක්. ඉහතින් සඳහන් කළේ.
දවසක් දා බුදුරජාණන් වහන්සේ චාතුම නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන කාලයේ සැරියුත් හා
මුගලන් මහරහතන් වහන්සේලා දෙනමත්, උන්වහන්සේලාගේ ගෝලයෝ පන්සියයක් පමණ භික්ෂු
පිරිසකුත් බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩියා. මේ පන්සියයක් භික්ෂු පිරිස අලුත
පැවිදිවුණු පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ දකින්නට හරි ඕන කමකුත්. ආශාවකුත්
තිබුණා. මේ පිරිස බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ස්ථානයට ඇවිත් තමන්ට ඒ දවසේ කාලය
ගත කරන්නට ලබා දුන්නා. ආවාස ගෙවල් ඇතුළට ගිහින් තම තමන්ගේ සයනාසන, කොට්ට, ඇඳ
ඇතිරිලි තෝරා ගන්නට, වෙන් කරගන්නට, ඔවුනොවුන් ශබ්ද නඟමින් කෑගසමින් හොඳ සයනාසන ආදිය
වෙන් කරගන්ට පටන් ගත්තා.
මේ මහ ඝෝෂාව බුදුහාමුදුරුවන්ට ඇහුණා. බුදුහාමුදුරුවෝ කවදත් නිශ්ශබ්දතාව ප්‍රිය කළ
උතුම් ශාස්තෘවරයෙක්. උන්වහන්සේ නිකරුණේ කාලය ගත කරන්නේ නැහැ. කිසියම් විවේකයක්
ලදොත් ඵලසමවතට සම වැදී විමුක්ති සුවය විඳීමිනුයි කාලය ගත කරන්නේ. අනිත් හැම වේලාවක
ම මොනවා හෝ පරහිත පිණිස හේතුවන ක්‍රියාවකයි උන්වහන්සේලා යෙදී වැඩ ඉන්නේ. ඉතින් මේ
නවක භික්ෂූන් වහන්සේලාගේ අර ගිහි ගතිය තවමත් ඇකී මැකී නො ගිය නිසා ම මේ ඝෝෂාවෙන්
බුදුරජාණන් වහන්සේ කිසියම් දැඩි ස්වරූපයක් ඇති ව “කවුද ආනන්ද ඒ මාලු දැලක් ගොඩට
අදින තැනක වගේ උස් හඬින් මහහඬින් කෑ මොර දෙන්නේ?” කියා. ඒ වෙලාවේ උන්වහන්සේට දැන
ගන්නට ලැබුණා මේ අග්‍රශ්‍රාවක දෙනම සමඟ ආ භික්ෂු පිරිසක් සෙනසුන් තෝරා ගැනීමේදී ඇති
වූ ඝෝෂාවක් බව.
බුදුරජාණන් වහන්සේ ඒ අයට “වහාම පිට වී මේ සීමාවෙන් යන්න” කියා නියම
කළා. මෙයින් මහත් කම්පාවට පත් භික්ෂු පිරිස තමන්ගේ පාත්‍ර සිවුරු හැරගෙන ආපසු
පිටත්ව යන විට අතරමග දී හමු වූ ගිහි දායක පිරිසක් විමසුවා “ආ විගස ම ආපසු යන්නේ
ඇයි?” දැයි කියා. සිද්ධිය සිදු වූ ආකාරයෙන් ම ඒ අයට භික්ෂු පිරිස දැනුම් දුන්නා.
ඉතින් මෙයින් මහත් කම්පාවට පත් දායක පිරිස “මෙහෙම ගියොත් අපිට අපේ හාමුදුරුවරු
මහණකම ගැන කළකිරිලා සිවුරෙන් ඉවත් වේවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කරුණු කියලා මේ
නවක හාමුදුරුවරුන්ට සමාව ලබා දෙන්නට ඕන කියලා හිතාගෙන ඒ භික්ෂු පිරිස සමඟ නෙල්ලි
වනයට ගිහින් බුදුහාමුදුරුවන්ට කරුණු කිවා. “ස්වාමීනි. මේ හාමුදුරුවරු ළඟදී මහණ වුණු
අය. මේ අයට නිශ්ශබ්දතාව රැකීම පිළිබඳ තවම අදහස් වැඩි දියුණුවෙලා නැහැ.
ඔබවහන්සේ
දැකල යන්නට යි දුර සිට වැඩලා තියෙන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරාණන් වහන්ස, ඔබවහන්සේ
මෙවැනි කරුණුවලට මීට පෙරත් සමාව දුන්නා අපට මතක යි. දැනුත් මේ අයගේ මේ නවක
ගතිසිරිත් ගැන අනුකම්පා කර සමාව දෙනු මැනවි. නැතිනම් මේ හාමුදුරුවරු බලවත් දුකට පත්
වෙනවා, වතුර අවශ්‍ය වෙන වේලාවට වතුර නො ලැබුණොත් බීජ වේලී යනවා. පැළ හට ගන්නේ නැහැ.
මේ විපත දුටු සහම්පති මහාබ්‍රහ්මයාත් බුදුරදුන් හමුවට පැමිණ මේ විදියටම ඉල්ලීම් කර
තිබුණා. මේ කරුණු කියාපෑමෙන් බුදුරජාණන් වහන්සේ මේ කරුණ පිළිබඳ මධ්‍යස්ථ වී ඒ අයට
සමාව දීමට තීරණය කළා. මුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂු පිරිසට ආපසු එන ලෙස පණිවුඩ
යැව්වා. මේ අවස්ථාවේ මෙතැනට සැරියුත් තෙරුවන් වහන්සේ වැඩියා. ඒ අවස්ථාවේ බුදුරජාණන්
වහන්සේ සැරියුත් මුගලන් යන අග්‍රශ්‍රාවක දෙනමගෙන් ම විමසා සිටියා එදා තමන් වහන්සේ
මේ විදයට එම භික්ෂූන් වහන්සේලාට මේ ස්ථානයේ නොවැඩ පිටවී යන ලෙස කී බව දැනුණු විට
කුමක් සිතුණේ ද කියා.
මේ භික්ෂූන් වහන්සේලා හදා වඩා ප්‍රියශීලි බවට පත් කොට
ඉදිරිපත් කිරීමේ වගකීම තමන් වහන්සේලාගේත් වගකීමක් නිසා, ඒ අනුව ඉදිරියට කටයුතු කරන
බවට ගිවිස ගත්තා. මේ අවස්ථාවේ දී අප තිදෙනා ම එකතු වී භික්ෂූන් වහන්සේලා නිසි මාවතට
ගැනීමට කටයුතු කරමු කියා බොහෝම සරල ලෙස එකඟ වී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා
මේ පැවිදි ජීවිතයට ඇතුළත් වී පැවිද්දේ ඇල්ම හෙවත් අභිරතිය ඇති කරගෙන මහණදම් පිරීමට
සූදානම් වෙන වකාවානුවේ දී ඇති වන අභියයෝග සතරක් “භය” ලෙස ඇති වන හැටි විශාල ජලාසයක්
උපමා කරමින් පෙන්වා වදාළා. පළමු වැන්න මේ ජලාසයට බසින්ට සූදානම් වන පුද්ගලයා එහි රළ
වේගය දැක්කහම භය වෙනවා. ඒ වගේ ම තමා ගිහි අයෙකු සසුනට ඇතුළු වන්නේ කෙලෙස් නසා ජාති
ජරා මරණ දුක් දොම්නස්වලින් මිදෙන්ට හිතල යි. ඒ පුද්ගලයා මේ අදහස පෙරදැරිව සසුනට
ඇතුළු වූ පසු පෙර දී පැවිදි වූ වයසින් බාල හා වැඩිහිටි භික්ෂූන් මේ අලුත මහණ වූ අයට
නොයෙක් කරුණු පිළිබඳ යම් යම් සිමා ඇති කොට අවවාද අනුශාසනා කරනවා.
ඒ වෙලාවේ මේ නවක
භික්ෂූන්ට මෙම සසුන ගැන භයක් තරහක් වැනි අමනාපයක් ඇති වෙනවා. “මෙච්චර නීති රීති
ගොඩක් මැද තමන්ටත් වඩා වයසින් බාල අය අවවාදත් දෙනවා. මේක හරි කරදරයක් කියා මහණකම
එපා වෙනවා. මෙය ක්‍රෝධ සහගත සිතිවිල්ලක්. මෙය ජලාසයේ එකින් එක මතට මතු වෙවී උඩට
නැඟෙන රළ වේගය වගේ කියා බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. දෙවනුව ජලාසයේ ළගින
කිඹුලන්ගෙන් ඇති වන භය යි. මේ සසුනට ඇතුළත් වුණහම නොයෙක් සීමා පැනවෙනවා. දන් වළදන
වේලාව මේක යි. මේ වේලාව දානයට විකාලය යි. වැළඳීය යුතු මේවා යි. නො වැළඳීය යුතු දේ
මේවා යි. මෙහෙම නීති තහංචි වැටෙන කොට හිතෙනවා ගිහිගේ ඉද්දි නම් මෙහෙම එකක් නැහැ. ඕන
ඕන වේලාවට ඕන ඕන දේවල් කනවා.කෑම බීමට තහංචි සීමා නැහැ. මේකට කියනවා “ඌමි භය” කියලා
ඒ නිසා මහණකම එපා වෙනවා. මෙය මේ සසුනෙහි කිඹුල් භය හෙවත් “කුම්භීල භය” . ඊ ළඟට භයක්
තිබෙනවා “ආවට්ට භය” කියලා. එයින් කියන්නේ ජලාසයේ ඇති මාරක දිය සුළි පිළිබඳ භය යි.
ඒ
වගේම මහණ කමේ ඇති ‘ආවට්ට භය’ වන්නේ පැවිදි වූ පසු පිඬු පිණිස සැරිසරන විට ගිහි සැප
විඳීන නොයෙක් ස්ත්‍රී පුරුෂ පිරිස් දකින්ට ලැබෙනවා. අපිට එහෙම නිදහසේ එවැනි ගිහි
සැප විඳීන්න දැන් ක්‍රමයක් නැහැනේ කියා තමන්ට පස්කම් සැප සිහිවෙනවා. ඒවා විඳීමේ
ආශාව දැඩි වෙනවා. අනිත් භය ලෙස ජලාසයේ ඉන්න රුදුරු මත්ස්‍යයන් නිසා ඇති බව භය හෙවත්
“සුසුකාභය” දක්වා තිබෙනවා.
ඒ කියන්නේ ගම්දනම් සැරිසරන භික්ෂුවට ගමේ , පළාතේ නොයෙක් හැඩට වැඩට ඇඳ පැළඳ ගෙන යන
එන සුරුපි කාන්තාවන් දකින්නට ලැබෙනවා. ඉතින් පරණ කම්සැප විඳපු අයුරුත් මතක් වෙනවා.
ඒවා ගැන සිත පාලනය කරගත නො හැකිව සිවුරු හැරලා යනවා. මේ සැඩපරුෂ මසුන්ට උපමා
කෙරෙන්නේ ස්ත්‍රිය යි.
මේ විදියට බුදුරජාණන් වහන්සේ පැවිදිවන නවක භික්ෂුව මුහුණ පාන භය හතර දක්වා මහණකම
ආරක්ෂා කර ගෙන මහණකමින් අපේක්ෂා කරපු අරමුණ වන දුක්දොම්නස් ශෝක පරිදේව දුරලා නිවන්
පසක් කරගැනීමෙ මාර්ගයට එළඹෙන භික්ෂුව කො තරම් දමනය වන මනසක් ඇති කරගතයුතු ද යන්න මේ
සූත්‍රයෙන් පෙන්වා දෙනවා. ඒනිසා භික්ෂුව මේ සමාජය තුළ ආරක්ෂා කර ගැනීම හරිම අමාරු
කටයුත්තක්. ඒ අමාරු වැඩේ කරන්නට නම් ගිහි පැවිදි දෙපක්ෂයම එක සිතින් එක් වෙන්ට ඕන.
අනවශ්‍ය ලෙස භික්ෂුව කොටු කරන්නට ගියොත් එතැනින් ම භික්ෂුව සසුනෙන් ඉවත් වෙනවා.
එවැනි සිදුවීම් බුද්ධකාලයේ කො තෙකුත් නිදසුන් ලෙස තිබෙනවා.
අද ද බොහෝ තිබෙනවා. මෙහි
දී බුදුරජාණන් වහන්සේ දරුවෙකුට පියෙකු වාගේ තමන් වහන්සේ වෙත දායකයෝ ඇවිත් කරණු
දක්වන කොට මොනතරම් මානවදයාවෙන් සවන් දුන්න ද? ඒ අනුව තමන්වහන්සේ ගත් තීරණය ලිහිල්
කළා ද යන්නත් අපට පේනවා. ඒ විතරක් නොවේ මේ භික්ෂූන් වහන්සේ ශාසනයට පිරිමහින විදියට,
ඒ අයගේ සසර විමුක්තියත් ක්ෂාත් ක්ෂාත් කර ගන්නා ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට පමණක්
මේ වගකීම භාර නොදී සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමත් භාර ගැනීමෙන් පෙනී
යන්නේ කුමක් ද? භික්ෂූන් වහන්සේ මැනවින් සමාජයටත්, එම භික්ෂූන් වහන්සේලාටත් වැඩ
දායක ලෙස සකස් කිරීමේ වගකීම සෑම වගකිවයුතු භික්ෂුවකගේමත් යුතුකමක් ඉටු කිරීමක්.
ඒ නිසා අවශ්‍ය අවස්ථාවේ හැදෙන වැඩෙන භික්ෂුවට අවවාද අනුශාසනා කරමින් භික්ෂුව යායුතු
මඟ නො මඟ කියා දෙමින් උන්වහන්සේලා රැකගෙන ශාසනය පවත්වා ගෙන යාම පිළිබඳ වගකීම
ගිහිපැවිදි අප දෙපක්ෂයට ම උරුම වූවක් බවත් එසේ නො වුණහොත් මේ සසුන භික්ෂූන්
වහන්සේගෙන් හිස් වී අනාගතයේ සම්බුදු සසුන දිගුකල් නො පැවැත්මට හේතු වනවා ඇති. |