අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම
අටසැටලෙන්
දේවානම්පියතිස්ස රජු විසින්, සෑගිරියේ වාසය සඳහා වැඩම කළ අනුබුදු මිහිඳු මා හිමියන්
ප්‍රධාන භික්ෂු සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා පිළියෙළ කරන ලද අට සැටක් ලෙන් කණ්ටක
චේතිය අසල භූමි භාගයේ සාදන ලදී. මේ බව මහා වංශයේ මනාව පැහැදිලි වේ.
සතර දිගින් පැමිණි, නොපැමිණි භික්ෂු සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා දේවානම්පියතිස්ස
මහ රජු ඔහුගේ භාර්යාව හා සොහොයුරු උත්තිය රජු විසින් ද රජ පවුලේ සාමාජිකයන් හා
සැදැහවතුන් විසින් මෙම ලෙන් පූජා කළ බව කටාරම් ඉහළින් කොටා ඇති බ්‍රාහ්මී ලිපිවලින්
සනාථ වේ.
කණ්ටක චේතිය දැක, වැඳ පුදා ලෙන් ආවාස භූමිය අද්දරින් නැගෙනහිර දිශාවේ පිහිටි පියගැට
පෙළ පහළට බසින විට සිංහ පොකුණ සහිත ආවාස හා පිළිම ගෙවල්වලින් පිරි භූමි භාගයක්
හමුවේ. එය පූරාණ කාලයේ මිහින්තල යේ භික්ෂු සංඝයා වහන්සේ නිතර ගැවසුණු, කාර්ය බහුල
පෙදෙසක් බව සැලකේ.
සිංහ පොකුණ
මැද මළුවේ සන්නිපාත ශාලාවට දකුණු පසින් පහත් භූමි භාගයේ විහාර, පිරිවෙන්, ආරාමයන්හි
නටබුන් රාශියක් දක්නට ලැබේ. එම නටබුන් අතරින් නෙත් සිත් එකවිට ඇඳී යන විචිත්‍ර
මූර්ති හා කැටයම් කර්මාන්තයෙන් හෙබි වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වූ සිංහ පොකුණ
දැකිය හැකි ය. සිංහ පොකුණ යැයි අප ව්‍යවහාර කළත් එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය
පිටවන දිය පිහිල්ලකි.
පසු පාද දෙකකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙළන ලද ජීව ප්‍රමාණයේ සිංහයකුගේ මුවින්
ජලය පිටවන ආකාරයෙන් මෙය පිහිටා ඇත. මෙයට ජලය ලබාගෙන ඇත්තේ ඉහළින් ඇති නාග පොකුණේ
සිට මැටියෙන් සකසා ගත් නළ මඟිනි.එක් පැත්තක් අඩි හයක් වන අතර එහි ගැඹුර අඩි හතකි.
පිහිටි ගලේ භාගයක් කොටා ඉතිරි කොටස සකස් කරන ලද ගලෙන් බැඳ හතරැස් පොකුණක් ලෙසින්
නිමා කොට ඇත.
සිංහ රුව ගලේ කොටා ඇත්තේ පොකුණට පහළින් එම ගලට ම සම්බන්ධ වන අයුරිනි. මෙය සත්ත්ව
රූප මූර්තියක් වශයෙන් ගත් විට ලංකාවේ ඇති හොඳම මූර්ති නිර්මාණ ලෙසින් සැලකිය හැකි
බව බෙල් මහතාගේ අදහස විය.
සිංහ රූප, ඇතා, වීණා, වාදකයා වැනි වූ විවිධ රූප පොකුණ වටා තීරුවක නෙළා ඇත. මෙම රූප
මූර්ති වශයෙන් ගත් විට උසස් ම ගණයේ කලාත්මක නිර්මාණයන් ය.
සිංහ පොකුණ, කණ්ටක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජීවත් වූ භික්ෂූන් වහන්සේලාගේ පැන්
පහසුව පිණිස හා විශේෂයෙන් ම ස්නානය සඳහා මෙම පොකුණ භාවිත කළ බව සිතිය හැකි ය.
දාන ශාලාව
හතරවැනි මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියෙන් පැවසෙන තොරතුරු ආශ්‍රයෙන් මෙම භූමිය
විස්තර කළ හැකි ය.මැද මළුව මිහින්තලාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේගේ සංවිධාන හා
පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ මෙහෙයක් ඉටුකළ භූමියකි.
මිහින්තලයේ වැඩ සිටි භික්ෂු සංඝයා වහන්සේ දිනපතා දානය වැළඳුවේත්, පරිපාලන කටයුතු
සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තේත් මෙම භූමියේ සිට ය.පියගැට පෙළින් සැදී ප්‍රධාන
මාර්ගයෙන් මෙම ස්ථානයට පැමිණි පසු හමුවන්නේ ප්‍රාකාර බැම්මකින් වට වූ ද ප්‍රධාන
දොරටුවකින් සමන්විත වූ ද තැනිතලාවකි.
ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව වම් පස භික්ෂූන් වහන්සේ දන් වැළඳූ දාන ශාලාව දැකිය හැකි
ය. දිගින් අඩි 114 කි. පළලින් අඩි 77 කි. මැද මිදුලක් සහිත ය. වහලය දරා සිටි පේළි
14කින් යුත් ගල් කණුවල අවශේෂ අදටත් දැකිය හැකි ය. පොළවට ගල් පතුරු අල්ලා ඇත.
ගොඩනැගිල්ලේ දකුණු කෙළවර යොදාගෙන ඇත්තේ මුඵතැන්ගෙය සඳහා ය. බටහිර කොටස ගබඩාව විය
හැකි ය. නැගෙනහිර ගල් ඔරු දෙකකි. කුඩා ඔරුව කැඳ ඔරුව ලෙස සැලකේ. නළ මාර්ගයෙන් දාන
ශාලාවට ජලය ගෙන එනු ලැබූ අතර එම ජල නළ ගල් පිහිල්ලක ආධාරයෙන් අවසානයේ දාන ශාලාවට
ජලය ගෙනෙනු ලැබූ අතර, එම ජලය බැස යාමට දාන ශාලාව තුළ කාණු සකසා තිබුණි.
භික්ෂූන් වහන්සේලා පාත්‍ර තබා දන් වැළඳු ආකාරය පෙන්වීමට දෝ දිග අතට ඇති ගල්ලෑලිවල
ඇතුළට නෙරා යන සේ කැපුමක් දක්නට ඇත.ඉතා ම වැදගත් වූ මෙම තොරතුරු සඳහන් වැදගත් ම
සාධකය වූ හතරවැනි මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියත් මෙම භූමියේ ම පිහිටා ඇත.
- දීපා පෙරේරා |