UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටලෝ දහමට කම්පා නොවෙමු

අටලෝ දහමට කම්පා නොවෙමු

මහා මංගල සූත්‍රයෙහි “ඵුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති’ අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් මඬනා ලද්දා වු යම් පුද්ගලයකුගේ සිත කම්පා නොවේද? එය මංගල කරුණක් ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

මෙහි අටලෝ දහම නම් ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, දුක –සැප යන අංගයන් ය. මෙහිදී පළමුව කම්පාවීම නම් කුමක්දැයි අවබෝධ කරගත යුතුව තිබේ. පාලි ගාථාවෙහි ‘කම්පති’ යන වචනය සෙලවෙනවා, සැලෙනවා, හෙල්ලෙනවා ආදි අර්ථයන්ගෙන් යෙදෙන අයුරු පාලි කෝෂ ග්‍රන්ථයන් පරීක්ෂා කිරීමෙන් පෙනේ.

ඉහත කී ධර්මතාවන් අට නිසා යම් කෙනෙකුගේ මනසෙහි යම් සෙලවීමක් සිදු වුවහොත්, සැලීමක් ඇති වුවහොත් එය අටලෝ දහමින් කම්පාවීම ලෙස අර්ථ දැක්විය හැකි ය. අටලෝ දහමින් කම්පා නො වීම නම්, ඉහත ධර්මතා ඉදිරියේ මනස නො සැලී තැන්පත් කර ගැනීම ය .

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව මනස නො සැලෙන, පරිපූර්ණත්වයට පත්වූ කෙනෙකු හැඳින්විය හැක්කේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ යන නාමයන්ගෙනි.

ඉහත කී උතුම් තත්ත්වයන්ට පත් නොවූ මනුෂ්‍ය, දිව්‍ය,බ්‍රහ්ම ආදී සියලු සත්ත්වයෝ ලාබයෙහි ඇලෙති. අලාභයෙහි ගැටෙති. යසසට ඇලෙති. අයස සමඟ ගැටෙති. නින්දා – ප්‍රශංසා යන තත්ත්වයන්හි මෙන් ම සැප දුකෙහි දී ද ඇලීම් සහ ගැටීම් සහිතව කටයුතු කරන අයුරු දැකගත හැකි ය.

කෙලෙස් දුරුවන උතුම් නුවණ වර්ධනය වන ප්‍රමාණය අනුව මෙම ඇලීම් ගැටීම් හි සාපේක්ෂ අඩුවක් දැකගත හැකි ය.

ලාභ, අලාභ ආදියෙහි පවතින යථා ස්වභාවය වූ අනිච්චතාවය හෙවත් වෙනස්වීම අප විසින් ප්‍රඥාවන්තව අවබෝධ කරගනු ලබනවා නම්, අපගේ මනස ඉහත කී ධර්මතා සඳහා ලබාදෙන වටිනාකම් ක්‍රමයෙන් අඩු වනු ඇත. ඒ, එකම ධර්මතාවයකට හෝ මානසිකව ලබාදෙන වටිනාකම අඩු කිරීම තුළ විටෙක නින්දා ලබන්නා, තවත් විටෙක ප්‍රශංසාවන්ද, ප්‍රශංසා ලබන්නා නින්දාවන් ද, සැප විඳින්නා දුක ද, දුක විඳින්න සැප ද අත් විඳින බව ඉහත අවබෝධය නිසා වටහාගත හැකිය. එම වටහා ගැනීම තුළම ලාභ–අලාභ ආදි ධර්මතා නිසා තෘෂ්ණාව, මාන්නය, දෘෂ්ඨි ඇතිවීම සාමාන්‍ය ජීවිතයේ දී ද පාලනය කර ගැනීමට අවස්ථාව උදාවේ.

ලාභ නිසා කම්පාවීම නම්, ලාභයෙහි දැඩි ලෙස ඇලෙමින්, එම ආස්වාදයෙහි ඇලෙමින් කටයුතු කිරීමයි. ලාභයෙහි පවතින ආස්වාදය මෙන්ම ආදීනවය වූ වෙනස්වීම ද නුවණැත්තා අවබෝධ කර ගනී. රැකියා ආයතනයේ දී ඉහළ තනතුරක් ලැබුණේ යැයි සිතන්න. ඒ සමඟම කීර්තිය ලැබේ. සැප ලැබේ. එහෙත් අපකීර්තිය ලැබෙන්නේ ද, දුක් විඳින්නට සිදුවන්නේ ද ඒ හා සමඟම ය. අනෙක් අතට හිමි වු තනතුර අහිමි වේ දැයි නිරන්තර අසහනයකින් පෙළේ.

සමහරු දරු සම්පත් නිසා, මහා වස්තුවක් යැයි සිතා දරුවන් කෙරෙහි ඇලෙති. ඒ තුළ උපදින්නේ මාන්නයකි. දරුවෙක් විභාගයකින් සමත් වුණොත් ලෝකයම දිනුවා සේ දැනේ. ඒත් අහිමි වීම ඇරඹෙන්නේ ද ලැබීම සමඟ ම ය . දරුවා ඉහළ යන්නට, යන්නට බොහෝවිට මවුපියන් වෙතින් ඈත් වේ. දරුවන් වෙනුවෙන් සියල්ල කළත් දිනෙක ඔවුන්ගෙන් දුරස්වන්නට සිදුවේ.

මෙලෙස ලාභයෙහි පවතින ආස්වාදය මෙන්ම ආදීනවය වූ වෙනස්වීමද නුවණැත්තා අවබෝධ කරගනී. එවිට ඔහු ලාභය නිසා හටගත් මාන්නයෙන් උදම් අනන්නේ නැත. තමා සදාකාලික යැයි, ස්ථිර යැයි, තමන් ලද බලය නො වෙනස් යැයි ආත්ම දෘෂ්ටි උපදවා ගන්නේ නැත. නුවණැත්තෝ අටලෝ දහමින්ම කම්පා නොවී සිටීමට, ඒ පිළිබඳව ඇති කරගත් තියුණු නුවණ නිසා ම තෘෂ්ණා , මාන, දෘෂ්ඨි ඉපදීමට ඇති අවකාශය වළකාල යි. මෙම උතුම් දියුණුව තම මනස තුළ ඇති කරගන්නා ඕනෑම තැනකින් සෑම කළුවරක් තුළම පවතින ආලෝකය ද සෑම ආලෝකයක් තුළම පවතින්නා වූ කළුවර ද වටහා ගනී. ආලෝකය සමඟ ඇලී අඳුරේ ගිලීම ද, අඳුර සමඟ ගැටී ආලෝකය මග හරවා ගැනීමද සිහි නුවණීන් වළක්වා ගනී.

සාමාන්‍ය ජීවිතයේ දී ඉහත අවබෝධය ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන මනසක් සකසා ගනු පිණිස අපහට උපකාරි වේ. එබැවින් අප සෑම අධිෂ්ඨාන කරගත යුත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මෙම උතුම් සංකල්පය අවබෝධ කර ගනිමින් මේ ලෝක ජීවිතයේ දී ලාභ– අලාභ ආදී ධර්මතා නිසා අප තුළ මතුව එන අයහපත් කැළඹිලිකාරි තත්ත්වය අවම කර ගැනීම පිණිසත්, හැකි ඉක්මනින් උතුම් අරහත්වය අවබෝධ කර ගනිමින් අටලෝ දහම නිසා කම්පිත, තත්ත්වයට පත් නොවන, පූර්ණ දැමුණු මනසක් ඇති කර ගැනීම පිණිසත් ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]