UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මරණය ගැන කතා කිරීම අසුභවාදී ද?

මරණය ගැන කතා කිරීම අසුභවාදී ද?

දැන උගත් බ්‍රාහ්මණයෙක් තමන් මරණයට පත්වන දිනය හා වේලාව දැනගෙන මරණයට සූදානම් වී ඒ සඳහා මිනී වළක් ද සකස්කර ඒ තුළට බැස මරණය සිදුවන තෙක් පොතක් කියවමින් සිටියේය, කියා කතාවක් මවිසින් අසා ඇත. මෙම කතාව අසන කෙනෙකුට සිතෙනු ඇත්තේ අදාළ බ්‍රාහ්මණයා පියවි සිහියෙන් නොසිටින්නට ඇත කියා ය. ඊට හේතුව මරණාසන්නයේදී සාමාන්‍ය පුද්ගලයෙක් මෙසේ හැසිරීම අසාමාන්‍ය දෙයක් බැවිනි. පුද්ගලයෙක් යමක් කරනු ලබන්නේ තමන් කරන දෙයින් ඒ අවස්ථාවේදී හෝ ඉදිරියේදී තමන්ට ප්‍රයෝජනයක් ගත හැකිනම් පමණි. බෞද්ධ ඉගැන්වීම් සහ වර්තමාන ලෝකයේ සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ පුද්ගලයා විසින් රැස්කරනු ලබන කර්ම පමණක් නොව ඔහුගේ දැනුම හා අත්දැකීම් ද භවයෙන් භවයට ගමන් කරන බවයි.

බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ බුද්ධත්වය ඉලක්ක කොට ගෙන රැස්කළ දැනුම හා අත්දැකීම් භවයෙන් භවයට මුහුකුරා යමින් අවසාන භවයේ දී ඒ දැනුම බුද්ධත්වය හැටියට විකසිත විය. ඒ අනුව මරණයට මොහොතක් තිබියදී වුව ද රැස්කර ගන්නා දැනුම හා අත්දැකීම් ඉදිරි භවයන්හි දී ප්‍රයෝජනවත් වන බව පැහැදලිය. මරණය යනු හැකිතාක් මඟහැර සිටිය යුතු දෙයක් හැටියටත් , අසුභ දෙයක් හැටියටත් , ජීවිත අපේක්ෂා හා අරමුණු සිඳලන දෙයක් හැටියත් , ඒ ගැන කල්පනා කිරීම සෘණාත්මක ආකල්ප ඇතිකරවන්නක් හැටියටත් , දැකීම සමාජයේ ස්වභාවයයි.

වැඩි දෙනෙකුගේ හැඟීම වන්නේ මරණය ගැන කථාකිරීම අසුභවාදී අවකැපෙන කථාවක් බවයි. එහෙත් බුදුන් වහන්සේ මරණය හඳුන්වා ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් ආකාරයකටය. බුදුන් වහන්සේට අනුව මරණය සිහිපත් කිරීම පවා මහත්ඵල මහානිසංශ ගෙනදෙයි. අංගුත්තර නිකායේ මරණසති සූත්‍රයෙහි "අමතෝගධා, අමතපරියෝසානා" යන වචනවලින් බුදුන් වහන්සේ මරණ සතිය හඳුන්වා ඇත්තේ අමෘතයට බැසගැනීමක් හා අමෘතය ලැබීමෙන් කෙළවර වන්නක් හැටියටය. අංගුත්තර නිකායේ මරණසති සූත්‍රයේ සඳහන් වන්නේ බුදුන් වහන්සේ එක් එක් භික්ෂුවකගෙන් ඔවුන් මරණසතිය වඩන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ බවයි.

ඒ අනුව එක් භිකෂුවක් කියා ඇත්තේ තමන්ට තවත් ජීවත්වීමට ඉතිරිව ඇත්තේ එක් දිවා රෑ දෙකක් පමණක්ය යන හැඟීමෙන් මහණදම් පුරන බවයි. තවත් භික්ෂුවක් කියා ඇත්තේ තමන්ට තවත් ජීවත්වීමට ඉතිරිව ඇත්තේ එක් දිවා කාලයක් පමණක්ය යන හැඟීමෙන් මහණදම් පුරන බවයි. තවත් භික්ෂුවක් තමන්ට තවත් අඩදවසක් පමණක් ඉතිරිව ඇත යන හැඟීමෙන් කටයුතු කරන බව කියා ඇත. මේ පිරිසේ සිටි අවසාන භික්ෂුවගේ පිළිතුර වී ඇත්තේ තමන් මහණදම් පුරන්නේ ඉහළට ගත් හුස්ම පහළට හෙලන තරම් කෙටි කාලයක් පමණක් තමන්ට ජීවත්වීම සඳහා ඉතිරිව ඇත්තේය යන හැඟීමෙන් යුතුව බවයි.

බුදුන් වහන්සේ වෙසෙසින් අගය කොට ඇත්තේ ඉහළට ගත් හුස්ම හෙලන තරම් කෙටි කාලයක් පමණක් ඉතිරිව ඇතැයි සිතා පිළිවෙත් පුරණ භික්ෂුවගේ ක්‍රියාකලාපයයි. යමක් හෝ යමෙක් අහිමි වූ ඇතැමෙක් කියනු ඇසෙන්නේ ජීවත් වෙලා වැඩක් නැති බවයි. මාරාන්තික රෝගයක් වැළඳුන අය මරණයට පෙර ම සියල්ල අත්හැර මරණය පැමිණෙන තෙක් අරමුණකින් තොරව බියෙන් කල්ගෙවති. බුදුන් වහන්සේට අනුව පුද්ගලයාගේ ජීවිතයට ආරක්ෂාව සලසන සතර වැදෑරුම් ආරක්ෂක භාවනා අතරින් මරණානුස්මෘතිය එක් ආරක්ෂක භාවනාවකි. මරණානුස්මෘතිය යනු ජීවිතය සුරක්ෂිත හා මැනවින් කළමනාකරණය කර ගන්නට ඉවහල් වන ක්‍රමවේදයකි. මනුෂ්‍ය අපට ඉතාමත් ම දුර්ලභ දේ වන්නේ ජීවත්වීමට ඇති කාලයයි. අප ඉතාමත් ම ප්‍රයෝජනවත් කටයුත්තකට හැර නොවැදගත් දේ සඳහා කාලය නාස්ති කළයුතු නැත. එසේ නාස්ති කිරීමට අපට කාලය අසීමිතව නැත. දරුවන්, මුදල් හා භවභෝග සම්පත් නම් හම්බ කර ගත හැකිය. එහෙත් ජීවිත කාලය දිගු කර ගත නොහැකිය. සුළු මුදලක් පමණක් අත ඉතිරිව ඇති කෙනෙක් ඉතා අරපරිස්සමින් එම මුදල වියදම් කරන්නා සේ ඤාණවන්තයා යුහුසුළුව කටයුතු කරන්නේ මට ජීවත් වීමට ඇත්තේ තව ඉතා ම සුළු කාලයක් පමණකැයි සිතාය. මෙලොවදී අත්හැර දමා යන්නට සිදුවන දේට වඩා සංසාරය පුරාවට තමන්ට ප්‍රයෝජනවත් වන පින් කුසල් රැස්කර ගැනීමට ඔහු වෙහෙසෙයි.

වර්තමාන සමාජයේ වැඩිදෙනෙක් දුකට පත්ව සිටින්නේ අගහිඟකම් නිසාම නොවේ. තමන්ට තිබෙන දේ පිළිබඳ ආශාව හා ඒවා අහිමිවේය යන අනියත බිය නිසාය. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ මහපොළොව මත තිබිය යුතු දෑ තම හිස මත තබාගත්තාක් මෙන් පීඩාවට පත්වය. ඈත දුර බැහැර රටක තමන්ගේ දරුවන් සුවසේ කල්ගෙවද්දී දෙමාපියන් මෙරට ජීවත් වන්නේ රිසි පරිදි කෑමක් බීමක්, විවේකයක් හා සතුටක් නැතිව ඔවුන් ගැන අනවශ්‍ය බැඳීමකින් හා බියකින් යුතුවය. බුදුන් වහන්සේ වදාළේ තමන් මරණයට පත්වන බව සිතා හැකිතාක් පින් කුසල් රැස්කර ගන්නටය. විරේක බෙහෙතක් පානය කර විරේචනය කළ විට ශරීරයේ අපද්‍රව්‍ය පහව ගොස් ඉතා සැහැල්ලුවක් දැනෙයි. මරණානුස්මෘතිය වඩන තැනැත්තාට ද තමන් මරණයට පත්වෙනවා යැයි නිතර සිතා කටයුතු කරන විට සිතේ තිබෙන බර බහා තබා සැහැල්ලුවෙන් හා සතුටින් කොතැනක වුවත් ජීවත් වෙන්නට හැකිවෙයි. මරණානුස්මෘතිය වඩන තැනැත්තා කම්මැලිකමෙන් කාලය නාස්ති නොකරයි. කළ යුතු වැඩකටයුතු කල් නොදමයි. පව් කිරීමෙන් හැකිතාක් වැළකෙයි. පින් රැස්කර ගැනීම කඩිනම් කරයි. මරණය නිතර සිහියේ පවත්නා බැවින් ආශා තෘෂ්ණා හේතුවෙන් පුද්ගල හා වස්තු සම්පත් කෙරෙහි දැඩිව බැඳී පීඩාකාරී ජීවිතයක් ගත නොකරයි. අප කවුරුත් මිය යනවා යන හැඟීම ඇති වන විට කයෙන් හා වචනයෙන් අනුන් හා ගැටෙමින් වෛරයෙන් හා ද්වේශයෙන් යුතුව ප්‍රශ්න ඇතිකර නොගනී. ධනාත්මක චින්තනය යනු යමක් කළ හැකිය හා කළ යුතු යැයි සිතා කාර්යක්ෂමව කටයුතු කිරීමට තමන් තුළින්ම ඇතිවන පෙළඹවීමයි.

කෙටි කාලයක් තුළ වැඩි වැඩ කොටසක් කළ යුතුය යන ධනාත්මකව සිතන්නාගේ මතයයි. එසේ කරන කටයුතු සැමට සාධාරණ වියයුතු යැයි හේ සිතයි. අල්ලස් ගැනීමට, පරිසරය විනාශ කිරීමට, අන්සතු දේ කපටිකමෙන් හෝ බලයෙන් අත්පත් කර ගැනීමට, මිනිසුන් රවටා වෙළහෙලඳාම් හා රැකීරක්ෂා කිරීමට, පිරිසක් දුකට පත්ව සිටියදී තමන් පමණක් සැප විඳීය යුතුයැයි සිතීමට මරණානුස්මෘතිය වඩන්නා නොපෙළඹෙයි. මෙලොව පමණක් නොව පරලොව ඉපදීමක් ද ඇති බව නිතර ඔහුගේ සිහියට නැගෙයි.

අනුන්ගේ යහපත සඳහා තමන්ගේ ජීවිතය කැප කළ යුතු යයි සිතිය හැක්කේ මරණානුස්මෘතිය වඩන්නාටය. බුදුන් වහන්සේ සිය ජීවිත කාලයේ වැඩිම දුරක් යමින් වැඩි පිරිසකට දහම් දෙසමින් වැඩි ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු දී ඇත්තේ ආයුසංස්කාර අත්හැරීමෙන් පසුව ගත වූ තෙමසක කාලයේදී බව මහාපරිනිබ්බාණ සූත්‍රයෙන් හෙළි වෙයි. මෙයින් පෙනෙන්නේ වයස්ගත වීම , වැඩ නැවැත්වීමට වඩා වැඩියෙන් වැඩ කිරීමට යොදාගෙන ඇති බවයි. එහෙත් වයෝවෘද්ධ අවධියේ කළයුතු වන්නේ වැඩියෙන් පරහට සේවය කිරීමයි. ගමේ භාෂාවෙන් කියනවා නම් එමගින් යන තැනට යමක් කර ගත හැකිවෙයි. අවාසනාවකට වැඩිමනක් වැඩිහිටියන්ට සිදුවී ඇත්තේ දරුවන්ගේ ගෙවල් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කිරීමටය. මෙමගින් දෙමාපියන්ට මෙලෝ වශයෙන් යම් සුරක්ෂිතතාවයක් හා සතුටක් ලැබිය හැකි වුවත් බැඳීම් ලිහිල් කරගත යුතු අවධියේ බැඳීම් තරවීමත් ගෙදරදොරට ජීවිතය සීමාවීමත් අනුමත කළ නොහැකිය. එක් අතකින් ධනාත්මක චින්තනයක් ඇති තැනැත්තා අද අද එයි මරු යැයි සිතා ධෛර්යයෙන් හා සාධාරණත්වයෙන් යුතුව කටයුතු කරයි. එහෙත් කිසිවිටකත් ජීවත් වුණා ඇතැයි කියා නොසිතයි. කිසි විටෙකත් උවමනාවෙන් මරණයට පත්වීමට කටයුතු නොකරයි.

මරණානුස්මෘතිය වඩන්නා නිතරම මරණයට සූදානම් ව සිටියත් , අසාධ්‍යව ඔත්පලව සිටියත් , එම කාලය තුළත් කයින් නොහැකි නම් සිතින් සිතා හෝ පින් කුසල් රැස්කර ගන්නට ම උත්සාහ ගනී. ඔහු කරුණාවන්ත ය. ඉවසීමෙන් යුක්ත ය. පරිත්‍යාගශීලී ය. පෙනුමෙන් ප්‍රසන්න ය. එබඳු තැනැත්තන් සමඟ අන් අයට ජීවත්වීම පහසු ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]