පොහොය යෙදීම
ධර්මාචාර්ය
කේ අනුර ජිනදාස
වසරක කාලයක් තුළ ඍතු තුනක් ඇති අතර ඒ එක් එක් ඍතුවක් තුළ සාමාන්‍යයෙන් පොහොය අටක්
ඇති බව කියැවෙයි. මෙම පොහොය පුර පසළොස්වක සහ අව පසළොස්වක හෙවත් අමාවක වශයෙන් වර්ග
දෙකක් ඇත. මෙහි භාවිත කෙරෙනුයේ අව පසළොස්වක පොහොයෙන් චන්ද්‍රමාසය අවසන් වන බව
කියැවෙන සම්මතය වූ අමාන්ත මාස සම්මතයයි.
ඍතු තීරණය කාලගුණ වෙනස්කම් සිදුවන දින වකවානු අනුව සිදු කෙරෙයි. මැදින් මස අව
පෑළවිය සිට ඇසළ මස පුර පසළොස්වක දක්වා ගිම්හාන ඍතුවයි. ඇසළ මස අව පෑළවිය සිට ඉල් මස
පුර පසළොස්වක දක්වා වස්සාන ඍතුවයි. මෙහි මුල් තුන් මාසය භික්ෂූන් වහන්සේලා පෙරවස්
සමාදන් වන කාලයයි. වස්සාන ඍතුවෙහි ඉතිරි මාසයක කාලය එනම් වප් මස අව පෑළවිය සිට ඉල්
මස පුර පසළොස්වක දක්වා කාලය චීවර මාසය නමින් හැඳීන්වෙන කඨින පින්කම් පැවැත්වෙන
කාලයයි. ඊට පසු එළැඹෙනුයේ ඉල් මස අව පෑළවිය සිට මැදින් මස පුර පසළොස්වක දක්වා යෙදෙන
හේමන්ත ඍතුවයි.
එක් ඍතුවක සාමාන්‍යයෙන් පොහොය අටක් යෙදෙයි. පොහොය ලෙසින් දක්වා ඇත්තේ පුර පසළොස්වක
දිනයත්, අව පසළොස්වක හෙවත් අමාවක දිනයත් ය. පුර පසළොස්වක දිනයේදී හිරු සහ සඳු
දෙදෙනා පොළොවෙන් දෙපැත්තෙහි පිහිටන නිසා සඳ සම්පූර්ණයෙන් පෙනෙයි. අව පසළොස්වක
දිනයේදී හිරුත් සඳුත් පොළොවෙන් එකම පැත්තක සිටින නිසා සඳෙහි මුහුණතට එළියක් නොවැටෙන
අතර එවිට සඳ නොපෙනෙයි. මෙම සිදුවීම් දෙක අතර සාමාන්‍යයෙන් දින පහළොවක් ඇත. එහෙත්
ඍතුවෙහි තුන්වැනි සහ හත්වැනි පොහොය දින දක්වා ඊට පෙර පොහොය දිනයේ සිට එනම්
පිළිවෙලින් දෙවැනි සහ හයවැනි පොහොයේ සිට ඇත්තේ දින දහ හතරක් පමණෙකි. එබැවින් එම
තුන්වැනි සහ හත්වැනි පොහොය දෙක චතුද්දසී පොහොය නමිනුත් අනෙක් පොහොය හය පණ්නරසී
පොහොය නමිනුත් හැඳීන්වෙයි. පොහොය කර්ම සිදුකෙරෙන අවස්ථාවල මෙම කරුණු සැලකිල්ලට
ගැනෙයි.
පොහොය පිළිබඳ අනෙක් වැදගත් කරුණ වනුයේ ලිත්වල දැක්වෙන පොහොය ලැබීම ගෙවීම සහ සිල්
සමාදන් විය යුතු දවස තීරණයයි. පොහොය තීරණය හිරු සඳු දෙදෙනාගේ ගමන අනුව කළ යුතු බව
ඉහත කියැවිණි. ලිත් ගණින නැකැත් කරුවන් මෙම ගමන් තොරතුරු නිවැරැදිව ගණනය කර අසවල්
වේලාවට අසවල් තත්ත්වය ඇතිවෙතැයි දක්වා ඇත. මෙසේ දක්වන තොරතුරු ප්‍රධාන වශයෙන් අංග
පහක් වන බවත් ඒවා පංචාංග ලෙසින් හඳුන්වන බවත් අපි දනිමු. මේවා අතුරින් පොහොය
සම්බන්ධ වැදගත් අංගය වනුයේ තිථියයි. තිථි පෑළවිය, දියවක, තියවක, ජලවක, විසේනිය,
සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්වක, පසළොස්වක, තෙළෙස්වක, තුදුස්වක, සහ
පසළොස්වක වශයෙන් නම් කෙරෙයි. සිල් සමාදන් විය යුතු යැයි දක්වනුයේ අටවක පසළොස්වක ආදී
තිථිය ඇරඹෙන දිනයයි. තිථිය ආරම්භය හිරු අස්තයෙන් පසුව සිදුවන විටෙක ඊට පසුදින සිල්
සමාදන් වියයුතු බව දැක්වෙයි.
සඳ පිරෙන කාලය පුර ලෙසත් සඳ වැහැරෙන කාලය අව ලෙසටත් යොදා පුර අව පක්ෂ සඳහා උපසර්ග
යොදා ගත් කළ තිථි තිහක් වෙයි. මෙය චන්ද්‍ර මාසයක් ලෙස හැඳීන් වෙයි. මේ සඳහා
සාමාන්‍ය දින 29 1/2 ක් ගතවෙයි. චන්ද්‍ර වර්ෂයක් යනු එබඳු මාස දොළසකි. එනම් චන්ද්‍ර
වර්ෂයක සාමාන්‍ය දින 354කි. එබැවින් අවුරුදු 3 කදී සාමාන්‍ය දින 30 ක අතිරේකයක්
යෙදෙයි. වසර තුනකට වරක් යෙදෙන මෙම අතිරේක මාසයයි අප අධි මාසයක් ලෙසට නම් කරනුයේ.
සාමාන්‍යයෙන් කරන ආකාරයට මෙම අතිරේක මාසය වසරේ අවසානයට එක් නොකර විශේෂ තැනෙක යොදා
නිශ්චිත අධි මාසයක් ලෙසට නම් කෙරෙයි. එසේ කරනුයේ චතුද්දසී පණ්නරසී න්‍යාය සහ කාලගුණ
භේද නිවැරැදිව පවත්වා ගැනීම සඳහායි. මෙසේ කළවිට එක් ඍතුවකට පොහොය දහයක් යෙදෙයි.
රවිගේ ගමන්මග රාශි නමින් හැඳීන්වෙන කොටස් 12 කට බෙදී ඇති බව අපි දනිමු. ඒවා මේෂ
වෘෂභ ආදී ලෙසින් නම් කෙරෙන බවත් අපි දනිමු. මේෂ කලාපය තුළ රවි ගමන් කරන කාලය මේෂ
රවිය නම් වෙයි. සිංහල චන්ද්‍ර මාස දුරුතු නවම් ආදී ක්‍රමයෙන් වෙයි. මේෂ රවිය තුළ
යෙදෙන අමාවක හෙවත් අව පසළොස්වක බක් අමාවක හෙවත් බක් අව පසළොස්වක වෙයි. වෘෂභ රවිය
තුළ යෙදෙන අමාවක වෙසක් අමාවකයි.
අධි මාසයක් ඇති වනුයේ එක රවියක් තුළ අමාවක පොහොය දෙකක් යෙදීමෙනි. එවිට එම පළමුවැනි
අමාවක පොහොයෙන් අවසන් වන චන්ද්‍ර මාසය අධි මාසය ලෙසටත් දෙවන අමාවක පොහොයෙන් අවසන්
වන චන්ද්‍ර මාසය ශුද්ධ මාසය ලෙසටත් නම් කෙරෙයි. එක රවියක් තුළ එක අමාවක පොහොයක් වත්
නොයෙදී තිබුණොත් එවැනි මාසයක් ක්ෂය මාසයක් ලෙසට නම් කෙරෙයි. එවිට ඊට පෙර රවිය තුළත්
පසු රවිය තුළත් වශයෙන් අධි මාස දෙකක් ඇති වෙයි. එහෙත් එබඳු තත්ත්වයක් ඇතිවීම ඉතාම
කලාතුරකින් සිදුවන සිදුවීමකි. ක්‍රිස්තු වර්ෂ 2100 දක්වා එවැන්නක් සිදු නොවන බව
ගණන් බලා ඇත. |