අධි පොසොන් පුර අටවක 2018.05.22
මනුෂ්‍යත්වයට තුටු පඬුරක්
රූස්ස ගසක් සිඳ දැමීම පහසු නැත. මහත් වෙර දරන්නට සිදු වන්නේ ය. කපා බිම හෙළන කල අවට
තුරු ලතාවන්ට ද වන හානිය වැළැක්වීම අපහසු ය. නිශ්ප්‍රයෝජන, වනය වනසන ගසක් වේ නම්
උදුරා දැමිය යුතු පැළ කාලයේ ම ය. එය බොහෝ පහසු ය.
අප විසින් ජීවිතයට හුරු පුරුදු කරගනු ලබන අයහපත් පුරුදු, හැසිරීම් ද එවැනිය. අල්ලා
ගත් පසු අත්හැරීම අසීරු ය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ එහෙයින් ම විය හැකි
ය. අයහපත්කම් යහපත් නොවන්නේ තමන්ට පමණක් නොවෙන්නේ ය. අවට සියල්ලන්ට ද එහි බලපෑම්
වන්නේ ය.
පුරුදු, නුපුරුදු කරනා තරමට ඇබ්බැහිකම් ඇති නොවන්නේ ය. සමාජයේ අප එකිනෙකා අත් දකින
අත්විඳින කර්කශ හැසිරීම්, අවගුණ ඇබ්බැහිකම්වල ප්‍රතිඵලයන් ය. බොදු මඟ යන පිරිසක්
ලෙස ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු යහගුණ ය. එහි දී පළමුකොට සිත පුරුදු කළ යුතුය.
මිනිසත්කම් ඉගෙන ගත යුතුය. කුඩා කල සිට ම ගුණ දහමට සිත පුරුදු කෙරුවෝ මියෙන තුරාවට
ම එය රැක ගනිති. එවැනි මිනිසුන් ද අප අතර බොහෝ වෙති. එහෙත් ගුණ, අගුණ තරම් මතු වී
පෙනෙන්නේ නැත. බොහෝ විට මතු කෙරෙන්නේ නැත. දෙයක් වැඩි වැඩියෙන් ඇසෙන පෙනෙන තරමට එය
සාමාන්‍ය බවටපත් වනවා යැයි පැවසේ. අයහපත්කම් වර්ධනය වන්නේ ද බොහෝ තන්හි ඒවා ම බරකොට
ඉස්මතුකර පෙන්වීමෙන් සාමාන්‍ය දේ බවට පත්වීම නිසා ය. ‘හොඳ’ ඇගයීම අත්‍යවශ්‍ය
එහෙයින් ය.
නන්නාඳුනන අයගෙන් පවා හොඳ ඇසූ, මිනිස්කම හඳුනන මිනිසෙක් නොබෝදා දැක ගතිමි. ඒ හොරණ
සිට කොළඹ දිවෙන බස් රථයක දීය. හේ, එහි කොන්දොස්තර මහතා ය. ඔහු මැදිවියේ ය. බස්රිය
තුළ එහා මෙහා ගියේ කඩිසරව ය. නමුදු කිසිවෙකුටත් පීඩාවක් නොවන සේ ය. ගොරහැඬි ඝෝෂාව
වෙනුවට ඔහු මුවින් පිට වූ වදන් කාරුණික ය. ප්‍රියශීලි ය. නිතර මුවඟ රැඳුණු සිනාවකි.
හදිස්සිකාරයෙක් නොවීය. මගීන් බස් රථයට ගොඩවෙනතුරුත්, බැස ගන්නාතුරුත් ඉවසිලිමත් ය.
මාරුකාසි ඉල්ලා ගෝරනාඩු නැත. රුපියලකට ද වටිනාකම දී ඉතිරි මුදල් ආපසු දෙමින් ඔහු
නිරතුරුව ම මගියාට සාධාරණ විය. මග විමසූ මගියෙකුට මාර්ගය කියා දුන්නේ අපූරු ලෙසය.
නිරතුරුව ම, සෑම තැනකදී ම මෙවැනි කාරුණික මිනිසුන්ගෙන් සේවය ලැබෙනවා නම් රටකට මොන
තරම් ආඩම්බරයක් ද? සතුටක් ද? කුඩා කල සිට ම ඔහුට මවුපියන් හොඳ පුරුදු උගන්වන්ට ඇත.
මිනිසුන්ට ගරු කරන්නට, කරුණාව දක්වන්නට පුරුදු කරන්නට ඇත. ඔහුගෙන් සමාජයට දායාද
වූයේ ඒ වටිනාකම් ය.
පවුලක දී සේ ම සමාජයේ දී ද අපට විවිධ චරිත නියෝජනය කරන්නට සිදුවේ. ගෙදරින් පිට
රැකියා ආයතනයේ දී, ආගමික සිද්ධස්ථානයේ දී, මඟ තොට දී ආදී ලෙස විවිධ ස්ථානයන්හි
විවිධ චරිත, විවිධ භූමිකාවන්ට පණ පොවන්නට සිදුවේ. ඉදිරියට යන්නට වන්නේ, කෙටියෙන්
කියනවා නම් අපට ජීවත්වන්නට සිදු වන්නේ සමාජය සමගම ය. එහි දිවි ගෙවන සැටි ඉගෙන
නොගත්තා නම්, අපේ සිත පුරුදු පුහුණු නො කළා නම් ජීවත්වීම ලෙහෙසි නැත.
අනෙක් අතට සමාජයේ යහපත් සිතිවිලි හා ක්‍රියා ඇත්තෝ ම නොවෙති. කෙලෙසුන්ගෙන් බර
විපරිත සිතිවිලි ඇත්තෝ ද වෙති. ඔවුන් ඇසුරේ දී අප සිත ද අපිරිසුදු මනෝභාවයන් ඉපදීමට
පුළුවන. හොඳ යහ ගුණ පූරුදු පුහුණු නොකළේ නම්, සිත සංවර කර නොගත්තේ නම් ඒ මනෝ භාවයන්
ක්ෂණයෙන් ඉපදී, ක්ෂණයෙන් ක්‍රියාවට නැගෙනු ඇත. මේ නිසා නිරන්තරයෙන් සිත පිරිසුදු කර
ගනිමු. කිළිටි සෝදා හරිමු. සමාජයේ ඔවුනොවුන් ඇසුරේ දී සිත කිළිටි කරන ප්‍රධානම
සාධකයක් වන්නේ තරහව, ක්‍රෝධය, කෝපය ආදී සිතිවිලි ය. ඒවා අනුන්ට මුදා හැරිය ද
අනර්ථය බොහෝ විට තමන්ටම ය. විවිධ හේතු නිසා අපිරිසුදු වන සිත සෝදා පිරිසුදු කරගන්නට
නම් උත්සාහය උනන්දුව ඇවැසිය. පළමුව තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇතිවිය යුතුය. ඒ
යහපත් ගති ඇත්තෙකු ලෙස සමාජයට බරක් නොවී ජීවත්වන්නට ය. එවිට අයහපත් සිතිවිලි
බැහැරලීම පහසුය. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අපට මඟ පෙන්වා ඇත. මොනතරම් ධර්මය ශ්‍රවණය
කළත්, පොත පත කියවා දැන ඉගෙන ගත්තත් දහම ප්‍රායෝගිකව ජීවිතයට ගලපා නොගත්තේ නම් ඒ
උත්සාහය නිශ්ප්‍රයෝජන ය. |