UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනාරක්ෂිත සිතක ස්වභාවය

අනාරක්ෂිත සිතක ස්වභාවය

"ගුණබර අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් තමාගේ ජීවිතය දෙවැනි කොට දරුවන් ගැන සිතන්නේ ය. එහෙත් ඒ දරුවන් හැදී වැඩී දැන උගත් වී ඔවුන්ගේ ජීවිත ඔවුන්ට පවත්වාගත හැකි කාලයක් උදාවේ. ඒ අවස්ථාවේ දී ඔවුන්ගේ ජීවිත ඔවුන්ට බාර දී නැවතත් තමා ගැන සිතන්නට පුරුදුවිය යුතු ය."

ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ෂඩ් ඉන්ද්‍රියයන්ගේ රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නම් වූ ෂඩ් ආරම්මණයන් පරිහරණය කරන විට රාග, දෝස, මෝහ ආද ී කෙලෙස්වලට හසු නොවීමට තරම් සතර සතිපට්ඨානයෙන් පුරුදු කරන ලද සිහිය පිහිටුවා ගත යුතු වන්නේ ය.

ඉන් අදහස් වන්නේ, කයෙහි ඇවතුම්, පැවතුම් පිළිබඳව, සැපදුක් නම් වූ විඳීම් පිළිබඳව, චිත්ත චෛතසික පිළිබඳව, පංචනීවරණ ස්කන්ධ පිළිබඳව, අවබෝධයෙන් කටයුතු කිරීම ය. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සිට ධර්මතා පිළිබඳව මනාව සිහිය පවත්වා. රාගාදි කෙලෙසුන්ට හසු නොවී, එම රාගාදි කෙලෙසුන් හටගන්නේ නමුත් ඒ හටගැනීම පිළිබඳව සිහිය පවත්වා ඒවා ප්‍රහාණයටත් නැවත හට නොගැනීමටත් හේතු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධය දැක අවබෝධයෙන් කටයුතු කිරීමයි.

එය සැබෑවට ම තමා රැක ගැනීමක් බවට පත්වන්නේ ය. ආරාම, විහාර නිර්මාණයට වෙහෙසීම. ඥාති කුල වශයෙන් උපකාරයට යෑම. ඔවුන් සමඟ ගැවසීම චාරිත්‍ර වාරිත්‍රයන් හි පමණක් වැඩි කාලයක් යොමු කිරීම. තමාගේ අධ්‍යාත්මික රැක ගැනීමක් බවට පත්වන්නේ නැත. ඒ පැවිදි ජීවිතයක අනාරක්ෂිත බවයි.

ඔබ ගත කරන ගෘහස්ථ ජීවිතයේ ආරක්ෂාව හා අනාරක්ෂිත බව අපට විවරණය කරගත හැකියි. බොහෝ කෙනෙක් අවබෝධය ඇතිවුණ කාලයේ සිට තමාගේ සතුට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් දියුණුව යනුවෙන් යැයි පවසමින් මුල් තැනක් ලබා දෙන්නේ බාහිරව ඇති කර ගන්නා වූ විෂයය දැනුමටයි. වෘත්තිය, මිල මුදල් ඉපැයීමට හා එමගින් ගේ දොර ඉදිකර ගැනීමට ය. යාන වාහන ලැබීමට ය. වටිනා ඇඳුම් පැළඳුම්, ආභරණ ලබාගැනීමට ය. ප්‍රණීත වූ ආහාර සොයා යෑමට ය. එනම් ඇස, කන ආදී ඉන්ද්‍රියයන් කාමයන්ගෙන් සතුටු කිරීම් ආදී වශයෙනුයි.

ගෘහස්ථ ජීවිතයකට එවැනි කටයුතු එපා යැයි සඳහන් කොට නැත. එනමුත් සුචරිතයෙහි පිහිටා ධර්මානුකූලව නිවැරැදි ආකාරයෙන් ඒවා පරිහරණය කළ යුතු ආකාරය සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, මංගල ආදී සූත්‍ර දේශනාවල මැනවින් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. අප මෙහි සඳහන් කරන්නේ තමාගේ අධ්‍යාත්මයට සිත යොමු නොකොට සිත මුල්වීමෙන් සිදුවෙන එනම්, කයෙන්, වචනයෙන් සිදුවන වැරැදි චිත්ත චෛතසිකයන් හා සම්බන්ධවන වැරැදි ය. ඒවා අමතක කොට ඒවා සිදුවන්නට ඉඩ දී බාහිර වස්තූන් සොයන්නට යෑමත්, ඒවා උපයන්නට යෑමත්, ඒවා රැස්කර ගන්නට යෑමත්, පිළිබඳව ය.

කෙසොල් රජතුමා සඳහන් කළ අයුරින් ඇත්, අස්, රිය, පාබල යන මේ චතුරංග සේනාව රැකගෙන සිටියත්, තමාගේ සිත, කය, වචනය, නම් වූ තුන්දොර දුසිරිතයෙන් ආරක්ෂා කර නොගත්තේ නම් තමා රැක නොගත්තේ වේ. තමා අනාරක්ෂිතව සිටින බව සඳහන් වේ. බාහිර දේ කොපමණ රැකගත්තත්, ආරක්ෂා කළත්, තමාට රැකවරණයක් නැති බව තමා අනාරක්ෂිත බව මින් පැහැදිලි ය.

එම අදහස තවදුරටත් පැහැදිලි කළොත් මෙසේයි. ඒ බාහිර වස්තු මොනවා උපයා ගත්තත්, රැකගෙන සිටියත්, ඒවා හටගත්තා සේ නැතිව යන්නේ ය. බොහෝ සේ මිල මුදල්, ධන ධාන්‍ය, බාහිර වස්තු පැවතුන අය පවා සිත මනාකොට පාලනය නොකරගැනීම, කුසල ආරම්මණයන් හි අවබෝධයෙන් සිත පවත්වා නො ගැනීම, ජීවතයේ යථා ස්වභාවය අවබෝධ නොකොට ගැනීම නිසා බාහිර වස්තු කොපමණ තිබුණත් සිත අනාරක්ෂිතවීමෙන්, හඬා වැළපෙමින් ශෝක පරිදේවයන්ට පත් ව ජීවිත විනාශ කරගන්නා ආකාරය ගැන ඔබ බොහෝ කෙනෙකුට අද්දැකීම් ඇති යැයි සිතා ගත හැකියි.

තමාගේ සිතතුළ ඇතිවන අනාරක්ෂිත බව නිසා ම එනම් රාග, දෝස, මෝහාදී කෙලෙසුන් වැඩීම නිසා බාහිර වස්තු කොපමණ තිබුණත් මිල, මුදල්, ධන, ධාන්‍ය, ගේදොර මේ සියල්ල තිබුණත්, තමාට පිහිටක් නැත. තමාට කිසිවක් සිතන්නට තරම් මානසික ශක්තියක් නැත. බාහිර පුද්ගලයන් මොනතරම් සිටියත් තමාගේ සිත තුළ, අභ්‍යන්තරය තුළ තනිකම, පාළුව, දොම්නස, අප්‍රමාණව තිබේ යැයි පවසන, කියා ගන්නට තරම් මහා දුකක් තිබේ යැයි පවසමින් හඬමින්, වැළපෙමින් කාලය ගත කරන පිරිස් සිටී. ඒ වගේ ම අන් අයටත් කරදර කරන හා අඩු කාලයකින් ජීවිතය අවසන් කරන පිරිස දැක ගත හැකි ය. මෙලොව අනාරක්ෂිත වූවා පමණක් නොව පරලොවත් අනාරක්ෂිත ව සතර අපායටම ඇද වැටෙන්නේ ය. ඒ සතර අපායෙන් ගැලවීමට රක්ෂණයක්, රැකවරණයක් ඔවුන් සලසා ගත්තේ නැති බැවිනි.

පළමුව තමා තමාගේ රැකවරණය සලසා ගත යුතු ම ය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් මෙලෙස සියලු සත්ත්වයෝ ම තමාට වඩාත් ම ප්‍රියවෙති. ගුණබර අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් තමාගේ ජීවිතය දෙවැනි කොට දරුවන් ගැන සිතන්නේ ය. එහෙත් ඒ දරුවන් හැදී වැඩී දැන උගත් වී ඔවුන්ගේ ජීවිත ඔවුන්ට පවත්වාගත හැකි කාලයක් උදාවේ. ඒ අවස්ථාවේ දී ඔවුන්ගේ ජීවිත ඔවුන්ට බාර දී නැවතත් තමා ගැන සිතන්නට පුරුදුවිය යුතු ය. ධර්මානුකූලව කල්පනා කළ විට ‘දරුවනේ නුඹලා නුඹලාගේ ජීවිත දැන් පවත්වාගන්න.’ අප විසින් කළ යුතු දේ නුඹලා වෙනුවෙන් සිද්ධ කළා. දැන් අප ධර්මානුකූල මාර්ගයක හැසිරෙමින් පරලොව සුගතිගාමී කර ගන්නට, සතර අපායෙන් ගැලවෙන්නට, නිවන් මඟ සකසා ගන්නට සීල, සමාධි, ප්‍රඥා ගුණ මග වැඩිය යුතුයි. “මට යමක් කර ගත යුතුයි” යනුවෙන් පැරැණි මවුපියන්, වැඩිහිටියන් සඳහන් කරන්නේ එම අදහසයි.

ඉන් පැහැදිලි වන්නේ කුමක් ද? සත්ත්වයන්ගේ ලෝකයේ සිට මනුෂ්‍යයන් වූ ඔබත් අපත් සියලු දෙනා ම සියලු සත්ත්වයෝ ම තමා තමාට ප්‍රියවෙති. ධම්ම පදයේ සඳහන් දහම් පෙළ වන්නේ “සබ්බේසං ජීවිතං පියං” සියලු සත්ත්වයෝ ම, සියලු දෙනා ම තම තම ජිවිතවලට ප්‍රියවෙති. එසේ ප්‍රිය බව දන්නේ නම් ඔබ විසින් කුමක් කළ යුතු ද? තමාගේ අධ්‍යාත්මය රැකගත යුතු ය. ආරක්ෂා කරගත යුතු ය. එනම් දුෂ්චරිතයෙන් වැළකී, සුචරිතවත් විය යුතුම ය.

ඒ කුමක් ද? කයෙන් සිදුවන අකුසල් තුනකි. එනම් ප්‍රාණඝාතය, නුදුන් දේ ගැනීම හා කාමමිච්ඡාචාරයයි. වචනයෙන් සිදුවන අකුසල් හතරකි. එනම් බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හා හිස්වචන කතා කිරීමයි. මනසින් සිදුවන අකුසල ධර්ම තුනකි. එනම් අභිජ්ජා හෙවත් දැඩි ලෝභය, ව්‍යාපාදය හෙවත් තරහව, මිථ්‍යාදෘෂ්ඨිය හෙවත් දසවස්තුක මිථ්‍යාදෘෂ්ඨියයි. සිත, කය, වචනය යන තුන්දොර දුසිරිත් මාර්ගයට යොමු වීමෙන් තමා අනාරක්ෂිත බවට පත්වන්නේ ය.

බාහිර වශයෙන් ධන, ධාන්‍ය පවත්වාගෙන තමාට රැකවරණයක් තිබේ යැයි පැවසුවත්, ස්වාමි, භාර්යා, මවුපියෝ දරුවෝ යහළු හිතමිතුරන් දහස් ගණනාවක් තමා වටා සිටින්නේ යැයි පැවසුවත්, ‘පදුට්ඨ චිත්ත’ හෙවත් දූෂිත වූ සිතක් ඇති පුද්ගලයෙක් ප්‍රාණඝාතයට යොමු විය හැකියි. මට බැන්නා, දොස් කීවා. මගේ දේ උදුරාගත්තා ආදී වශයෙන් අනවබෝධයෙන් යුක්තව ප්‍රාණඝාතයට යොමු විය හැකි ය.

මෙහි අනවබෝධය නම් කුමක් ද? පරමාර්ථ ධර්ම කතාව මෙසේයි, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව “යංකිංචි සමුදය ධම්මං - සබ්බංතං නිරෝධ ධම්මං” යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළුයි. මෙහි යමක් යනු සංඛත, සංඛාරයි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වූ සෑම දෙයක් ම සංඛත ලෙස හඳුන්වාගනිමු. ඔබ මම නම් වූ සවිඤ්ඤාණක වස්තූන්, මහපොළව, භූමිය, ගේදොර, අවිඤ්ඤාණක වස්තූන් සියල්ල පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් නිර්මාණය වූ වස්තූන් ය. මේවා සංඛත වේ.

මේ සියලු සංඛත, සංඛාර වස්තු පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා සේ ම, ඒ පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් විසිරී යෑම නිසා නැතිව යන්නේ ය. මේ පිළිබඳව ඇති අනවබෝධය පරමාර්ථ ධර්මය කෙරෙහි ඇති අනවබෝධ යැයි සඳහන් කරමු. ඒ වගේ ම අභාවිත සිත් ඇති යැයි හඳුන්වමු.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk