UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: කායානුපස්සනා කමටහන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 28

කායානුපස්සනා කමටහන

ඉතිවුත්තක අට්ඨ කථාවේදී පැහැදිලි වෙන ලෙස පබ්බජ්ජා යම් කිසි කෙනෙක් ගිහිගෙදරින් නික්මිලා පැවිදි වෙනවා නම් ඒ පැවිද්ද ලැබීම නෙක්ඛම්මයක්, යම් කිසි කෙනෙක් පංච නීවරණයන් යටපත් කරගෙන පංච නීවරණයන්ගෙන් අත මිදී ප්‍රථම ධ්‍යානය ලබනවා ද එයත් නෙක්ඛම්මයක්, ඒවාගේ ම යම් කිසි කෙනෙක් සර්ව සම්පූර්ණ ක්ලේශයන් සෝදා හරිමින් නිර්වාණය ලබනවා ද එයත් නෙක්ඛම්මයක්, ඒ වාගේම යම් කෙනෙක් සක්කාය දිට්ඨිය ආදි ආත්ම දිට්ඨියෙන් බැහැර වෙලා විදර්ශනා ඥාන පහළ කරගන්නවා ද එයත් සම්මා දිට්ඨියක්.

‘සබ්බේපි කුසලා ධම්මා’ අකුසලයන් යටපත් කරගෙන, කුසල් දියුණු කරගන්නවා ද එයත් නෙක්ඛම්මයක්. නෙක්ඛම්ම පාරමිතාව කියා කියන්නෙ නෙක්ඛම්මය කියා කියන්නේ, පැවිදි වීම විතරක් නෙමෙයි. ප්‍රථම ධ්‍යානය ලබා ගැනීම, විදර්ශනා ඤාණ ලබා ගැනීම, නිර්වානය ලැබීම, කුසල් දියුණු කිරීම, නෙක්ඛම්මයි. නෙක්ඛම්ම සංකල්පනා කියන්නෙත් ඒකයි. එනම් ස්වභාවයෙන් කාමයෙන් වැළකී කාමයෙන් වෙන්වී සිටීමයි.

අව්‍යාපාද කියා කියන්නේ මෛත්‍රිය.ව්‍යාපාදයෙන් බැහැරව මෛත්‍රි සහගත සිතින් කල් ගෙවනවා නම්, මෛත්‍රි වචන කතා කරනවා නම් මෛත්‍රි සිතිවිලි සිතනවා නම්, නෙක්ඛම්මයි. මෛත්‍රීය කෙනෙක් ළඟ තියෙනවා නම්, සුවසේ නින්ද යනවා. සුවසේ අවදිවෙනවා. පාපී, ලාමක, භයානක සිහින පේන්නේ නෑ. සියලු මනුස්සයන්ට පි‍්‍රයමනාප පුද්ගලයෙක් වෙනවා. අමනුස්සයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඒ වාගේ ම යක්ෂ, භූත, පේ්‍්‍රත, කුම්භාණ්ඩ හැමෝටම පි‍්‍රය කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. කවදාවත් විසක් වසක්, අවි ආයුධවලින් පහර දීමක්, තුවාල වීමක් ,කැපීමක්, කෙටීමක් සිද්ධ වෙන්නේ නෑ. ඉක්මනින්ම සිත සමාධිගත වෙනවා. ශරීරය මුහුණ පැහැපත් වෙනවා .’අසම්මුල්හො කාලංකරෝතිං ඒ මෛත්‍රි බලය නිසා සිහි නුවණින් මරණයට පත් වෙනවා. හැබැයි ධ්‍යාන බලය ලැබුණොත් මොකද වෙන්නේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීමට හේතු වෙනවා. මෛත්‍රි වැඩීම, මෛත්‍රි දියුණු කිරීම අව්‍යාපාද සංකල්පනාවක්.

අවිහිංසා සංකල්පනාව කියන්නේ මොකක්ද? තවත් කෙනෙකුට හිංසා නොකිරීම,අවමන් නොකිරීම, නින්දා නොකිරීම ගැහීම, බැනීම, තැලීම් ආදි දේවල්වලින් වැළකි සිටීමයි. අවිහිංසාව කියන්නෙ කරුණාවයි. කරුණාව ගැන සල්ලේඛ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ.

අන් අය සත්ත්ව හිංසාවෙන් යුක්තවන කල්හි

අපි වනාහි සත්ව හිංසාවෙන් වැළකී සිටින්නෙමු

සල්ලේඛ ප්‍රතිපදාවෙන් යුක්ත වන්නෙමු.

අන් අය සත්ත්ව ඝාතනයෙන් යුක්ත වන් කල්හී

අපි වනාහි සත්ව ඝාතනයෙන් වැළකී

සල්ලේඛ ප්‍රතිපදාවෙන් යුක්ත වන්නෙමු

මෙලෙස කරුණාව මෛත්‍රිය සල්ලේඛ ප්‍රතිපදාවේ විස්තර කරනවා. සම්මා සංකප්ප කියා කියන්නේ මොකක්ද? නෙක්ඛම්ම සංකල්පනාව,අව්‍යාපාද සංකල්පනාව, අවිහිංසා සංකල්පනා, එහෙමත් නැත්නම් නෙක්ඛම්මය කරුණාව හා මෛත්‍රියයි. අපි කාමයෙන් වැළකී කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව කල් ගෙවනවා නම්, අපේ ළඟ සම්මා සංකප්පය මනාව පිහිටනවා.

සම්මා වාචා පිසුනාවාචාය, බොරු කීමෙන් කේලම් කීමෙන්, පරුෂවචන කතා කිරීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වැලකී සිටීමයි. සම්මා වාචා කියලා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම සොරකමින් වැළකීම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, යන දුශ්චරිත තුනෙන් වැළකී කල් ගෙවනවා නම් සම්මා කම්මන්ත ප්‍රතිපදාවයි. යහපත් ක්‍රියාවෙන් යුක්තයි යන්නයි.

සම්මා ආජීව කියා කියන්නේ,

වැරැදි විදියට ජීවත් වීමේ ප්‍රතිපදාවෙන්, වැළකී යහපත් සේ ජීවත් වීමයි. වැරැදි විදියට ජීවත්වෙනවා කියන්නෙ. අවිආයුධ වෙළෙඳාම් කරමින්, වහල් වෙළෙඳාම් කරමින්, ඊළඟට සුරාපාන වෙළෙඳාම් කරමින්, ජීවත් වෙනවා නම් මිච්ඡා ආජීවයයි. මිච්ඡා ආජීවය අපේ ළඟ පවතින තාක්කල්, අප පිරිහෙනවා. දියුණුවක් නෑ. මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවයෙන් ජීවත්වීම තමා සම්මා ආජීව කියා කියන්නේ.

සම්මා වායාම යහපත් උත්සාහය, මොකක්ද ? මේ යහපත් උත්සාහය කියා පැහැදිලි කරන්නෙ. යහපත් උත්සාහය කියා තෝරාදෙන්නේ මෙහෙමයි.

නූපන්නාවු ලාමක අකුසල ධර්මයන් නූපදවා ගැනීම පිණිස

සිතේ කැමැත්ත උපදවාගෙන සිටීමයි. උත්සාහයෙන්, උනන්දුවෙන්,වුවමනාවෙන්,ඇරඹූ වීර්යයෙන්, පධන් වීර්යයෙන් සිත පිහිටුවා ගෙන කටයුතු කරනවා නම් ඒක සම්මා වායාම යයි. ඒ වාගේම ඉපදිලා තියෙන මේ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්ට කුසල් සිත් උපදවාගෙන උත්සාහයෙන් උනන්දුවෙන් වීය¸යෙන් කටයුතු කරනවා නම් එතන පවතින්නේ සම්මා වායාම.

නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස අප කැමැත්ත පෙරටු කරගෙන උත්සාහයෙන් ,උනන්දුවෙන්, වුවමනාවෙන් කටයුතු කරනවා නම් එතන පවතින්නේ සම්මා වායාම,

ඉපදී පවතින්නා වූ කුසල ධර්මයන්ගේ මනා පැවැත්ම පිණිස, වැඩි දියුණුව පිණිස, ස්ථාවරය පිණිස,උත්සාහවත්ව කටයුතු කරනවා නම්,උනන්දුවෙන්, වුවමනාවෙන්, කැපවීමෙන් කටයුතු කරනවා නම්, එතන තියෙන්නෙ සම්මා වායාම, එහෙනම් සම්මා වායාම කියන්නේ මොකක්ද? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර සම්‍යග් ප්‍රධාන වීර්යය කියා කියන්නේ නූපන්නාවූ අකුසල් නූපදවා ගැනීමත් උපන්නාවූ අකුසල් ප්‍රහාණය කිරීම නූපන්නා වූ කුසල්උපදවා ගැනීමත්, ඉපිද ඇති කුසල් වැඩි දියුණු කර ගැනීම.මෙන්න මේක තමයි සතර සම්‍යග් ප්‍රධාන වීර්යය, මෙයයි සම්මා වායාම කියා කියන්නෙ.

සම්මා සති කියා කියන්නෙ සතර සතිපට්ඨාන ධර්මයන් තුළ සිහිය පිහිටුවා ගැනීමයි.

කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූ සිහිනුවණින් යුක්තව, තමන්ගේ කය ගැන කායානුපස්සනාවේ යෙදෙනවා, භාවනාවේ යෙදෙනවා නම්, තණ්හා දිට්ඨි මාන ආදි කෙලෙස් ලෝකයෙන් එතෙරව තමන් මනාව සිහිය පිහිටුවා ගන්නවා නම්, කය අනුව සිහිය පිහිටුවා ගැනීමයි .

කය ඇසුරු කරගෙන භාවනා කර්මස්ථාන දහ හතරක් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කළ සේක. පළමුවෙන්ම ආනාපාන සති භාවනාව,

ආනාපාන සති භාවනාව, යම් කිසි කෙනෙකුට ආනාපාන සති භාවනාව දියුණු කරගන්නට අවශ්‍ය නාසිකා අග සිහිය පිහිටුවාගෙන ස්වභාවික හුස්ම රැල්ල ඒ කියන්නේ ස්වභාවික හුස්ම රැල්ල දිහා හිත පිහිටුවාගන්නට ඕනේ.වුවමනාවෙන් හුස්ම ගන්ට මහන්සි ගන්න එපා. ඒ ස්වභාවික හුස්ම රැල්ල දෙස සිත පිහිටුවාගෙන ඉහළට යන පහළට යන හුස්ම දිහා බලාගෙන ඉන්නවා සිහිනුවණින්. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම රැල්ල වදින තැනක් අපට තේරෙනවා. ඒ වදින තැනක් තේරුණාම ඒ වදින තැන සිහිය පිහිටුවාගෙන ස්වභාවික හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ක්‍රම ක්‍රමයෙන් අර විසිරී පවත්නා සිත මනාව තැන්පත් වෙන්න පටන් ගන්නවා. එසේ මනාව තැන්පත් වෙනකොට මේ හුස්ම රැල්ල මුලින් තේරුණේ ඕලාරික ලෙස ක්‍රමයෙන් සියුම්වෙලා සැහැල්ලු වෙලා. ඒ සැහැල්ලු හුස්ම රැල්ල වෙත මනාව හිත තියාගෙන ඉන්නකොට තමයි සමාධි නිමිත්ත පහළ වෙන්නෙ. භාවනා නිමිත්ත පහළ වෙන්නෙ. ඒ නිමිත්ත පහළ වුනාම තමයි ධ්‍යාන බවට පත්වෙන්නෙ. ධ්‍යාන අධිෂ්ඨාන කරගෙන භාවනාවට පිවිසෙන්නෙ සමාධි නිමිත්ත පහළ වුනාට පස්සෙ. තව ද අපේ මේ ශරීර කූඩුව සකස් වෙලා තියෙන්නේ කෙස් ,ලොම්, නිය, දත්, සම්, මස්, නහර,ඇට ඇට මිදුලු, වකුගඩු ආදි කොට ඇති කොට්ඨාශ තිස් දෙකකින් කියා හොඳට දන්නවා. මේ කොටස් තිස්දෙක වෙන් කරලා ශරීරයෙන් බැහැර කරලා මෙතන සත්වයෙක් පුද්ගලයෙක් නැති ආකාරය දක්වාම මනාව මෙනෙහි කරලා අවබෝධ කර ගන්නවා. මෙයයි කායානුපස්සනා කර්මස්ථානය .

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk