UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම : සිත්කළු වන ගිර මිස්සක පබ්බත

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම :

සිත්කළු වන ගිර මිස්සක පබ්බත

අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සිසිල් සෙවන දුන්නා වූ ද, උන්වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූවා වූ ද මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට නැඟෙනහිර දිසාවට සැතපුම් අටක් පමණ දුරකින් කඳු මුදුනක පිහිටියේ ය. මිහින්තලා භූමිය එදා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දේවානම් පියතිස්ස මහ රජ දවස වන සතුන්ගේ නිවහනක් විය. රජ ඇමතිවරුන්ගේ දඩයම් බිමක් ව පැවති ඝන කැලෑවක් ද විය.

‘මිස්සක පබ්බත’ ලෙසින් හැඳින් වූ එම ප්‍රදේශය නමින් ම කියැවෙන සේ සිත්කලු වන ගිරකි. එහි ළඟාවීමට තිබූ මාර්ගය වැටී තිබුණේ කදම්බ නදී තෙර සිට ය. වන පෙදෙසට ආසන්නව තිබූ ගම්මානය දොරමඩලාගමයි. මිහිඳු මා හිමියන්ගේ ඇසුර නිසා මිහින්තලා ලෙසින් හැඳින්වෙන මෙම සිත්කළු පෙදෙස කඳු සතරකින් යුක්තය. ඒ මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනයිකුට්ටි කන්ද, රජගිරි ලෙන කන්දයි. එදා මේ මුළු කඳුයායට ම ‘මිස්සක පබ්බත’ යන නාමය ව්‍යවහාර විය.ශාන්ත වූ නිසංසල පරිසරය තවුස් දිවියට ගැලපුණ බැවින්, එදා මිහිඳු මා හිමියන් ස්වකීය වාසස්ථානය වශයෙනුත්, ලක්දිව ප්‍රථම වස් කාලය ගෙවීම පිණිසත්, නවාතැන වශයෙනුත් තෝරා ගන්නා ලද්දේ මිස්සක පබ්බතයයි.

මහාවංශය පවසන පරිදි මිස්සක පබ්බතය පසු කාලයක ‘චේතිය පබ්බත’ හෙවත් ‘සෑගිරිය’ වූයේ දේවානම්පියතිස්ස රජු විසින් එහි ඉදිකිරීමට අදහස් කළ ස්තූපයන් හි තැන්පත් කිරීම පිණිස දඹදිව සිට වැඩම වූ සර්වඥධාතූන් වහන්සේ තාවකාලික ලෙස මේ පර්වතයෙහි තැන්පත් කළ බැවිනි. එදා මිහිඳු මා හිමියන් ඇතුළු මහ රහතන් වහන්සේගේ වාසස්ථානය ලෙසින් ආරම්භ වූ මෙම ස්ථානය වැඩි කාලයක් නොයාම විහාරරාමවලින් ද ස්තූපයන්ගෙන් ද, බෝධිය, පොහොය ගෙය, ආදියෙන් සමන්විත පූජා භූමියක් බවට පත්වූයේ ය. අම්බස්ථලයේ කණ්ටක චේතිය ද, සංඝයා වහන්සේලාගේ වාසස්ථාන සඳහා අට සැට ලෙන් ද විය.

දූරාතීතයේ මිහින්තලා පුද බිමට සැදැහැවතුන් ගමන් කළේ දුර කතර ගෙවා ගෙන පා ගමනින් ය. සැදැහැවත් බෞද්ධයෝ පුරාණ ශෛලමය පියගැටපෙළ ඔස්සේ දුෂ්කර මාර්ගයේ ගමන් කොට මිහින්තලා කඳු මුදුනට පිවිසෙති. මෙසේ ගමන් කිරීම පින් රැස්කර ගැනීමේ මඟක් ලෙස ඔවුහු විශ්වාස කළහ. පියගැටපෙළ පාමුලට යන ගමනේ දී දකුණු පස දක්නට ඇත්තේ මිහින්තලය පුරාණ වෙදහලයි.දහස් ගණනක් වූ භික්ෂූන් වහන්සේලා ට ද සිය ගණනක් වූ සේවක ජනයා ද ඇතුළු විශාල ජනගහණයකට වාසස්ථානයක් වූ මිහින්තලාව එකල ජන ජීවිතයට අවශ්‍ය සියලු අංගෝපාංගයන්ගෙන් යුත් ජනාවාසයක් වූවාට සැක නැත.

ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස පමණ වන විට සෑගිරියේ පමණක් භික්ෂූන් වහන්සේලා දෙදහසක් පමණ වැඩ සිටි බව පාහියන් භික්ෂුව වාර්තා කරයි. මේ සියලු දෙනාගේ සෞඛ්‍ය කටයුතු සඳහා ආරෝග්‍ය ශාලාවක අවශ්‍යතාව ද මුල සිට ම දැනෙන්නට ඇත.

මිහින්තලා ඉතිහාසය ගැන කරුණු සොයා යන විට දෙවන සේන රජතුමා විසින් සෑගිරියේ වෙදහලක් කළ බව චූල වංශයේ සඳහන් ය. දිග පළල මීටර් 18.6 හා 97.6 ක විශාල වූ ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි මැද මිදුලක් ද එහි මධ්‍යයේ ටැම්පිට විහාරයක් වූ බුද්ධ ප්‍රතිමා ගෘහයක් ද විය. ප්‍රධාන ද්වාරය, දකුණ දිගින් ද අනු ද්වාර දෙක ඊසාන දිගින් ද පිහිටා තිබේ. මෙම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක සැලසුම ශ්‍රී ලංකාවේ සෙසු පැරැණි රෝහල් ගොඩනැගිලිවල සැලසුමට සමානය. මැද මිදුලටත්, බුදු මැදුරටත් මුහුණලා ඒ හාත්පස රෝගීන්ගේ නේවාසික කුටි පිහිටා තිබේ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk