UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

කොළඹ - සිට යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කළ විට නෙත ගැටෙන වම් පසින් ඉතා උස් ගල් තලාවක් මත පිහිටි සුදෝ සුදු පාටින් බබළන දර්ශනීය චෛත්‍යය රාජයාණන් වහන්සේ නමකි. කිලෝමීටර් 6ක් 7ක් පමණ යනතුරු අලංකාර ලෙසින් ගල්තලාවක් මත පිහිටා ඇති චෛත්‍යය රාජයාණන් වහන්සේ දැක ගන්නට ලැබේ. මැදවච්චිය - පදවි ශ්‍රී පුර මාර්ගයේ එලෙසින් මනරම් ලෙස දීර්ඝ දුරක් දර්ශනය වුවද එම චෛත්‍යයට මඟ වැටී ඇත්තේ මැදවච්චියේ සිට යාපනය මාර්ගයේ තවත් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විටය.

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය නමින් හැඳීන්වෙන එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පූජනීය ස්ථානයකි.

ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය “ඍෂීන් බැස්ස ගල” ලෙස හඳුන්වා ඇත. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” යන්න” ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරේ.

අතීතයෙහි ද්‍රවිඩ භාෂාවෙන් මෙය හඳුන්වා ඇත්තේ “ තපසිමලෙයි” යනුවෙනි. එහි අර්ථය වනුයේ තාපසයන් වැඩසිටි ස්ථානය යන්නයි. එම ස්ථානය පුජනිය ස්ථානයක් බවට ගොඩනගා ඇත්තේ දෙවන පෑ තිස් රජතුමා විසින් බව කියයි. එය ක්‍රි.පු. 236 දී පමණ ඉදි කර ඇති බවට ඓතිහාසික සාක්ෂි පෙන්වා දී තිබේ.

ඉසින්බැස්සගල පර්වත සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට “අසියක” මහ වෙහෙර හෙවත් ඉසික මහා වෙහෙර (ක්‍රි.ව. 2 සහ 4 වැනි සියවස් වල ) නාගදාඨික සහ සුමන ගෝසක යන දෙදෙනා රහතුන් වහන්සේලාට වාසය කිරීමට ආරාමයක් ඉදිකර පූජා කළ බව සඳහන් වේ. එසේම මෙම වෙහෙර පවත්වාගෙන යාමට සුනෙර මහ වැවෙන් ජලය ලබා ගන්නා අය ඒ සඳහා විහාරස්ථානයට බද්දක් ගෙවිය යුතු බව ද සඳහන් කරයි. එකල මහ වෙහෙරක් යනු රාජකීය විහාරස්ථාන 15 ක මූලස්ථානයකි. දේවානම්පියතිස්ස රජු කල මෙන්ම අනුරාධපුර යුගයේ පුදබිමක් වුවද රාජධානී මාරුවීමත් සමඟ එය කාලයේ වැලිතලාවෙන් වැසී ගියේ ය.

මෙහි දක්නට ඇති පුරාවිද්‍යාත්මක නටබුන් අතර ශිලා පර්වත මස්තකයෙහි පිහිටි ඉපැරැණි චෛත්‍ය රාජයාණන් වහන්සේත්, ඓතිහාසික ගල්ලෙන හෙවත් අරහත් ගුහාවත් අතීතයේ වැඩසිටි රහතුන් වහන්සේලා පරිහරණය කළ ස්වාභාවික ගල් පොකුණු 9 ක් ද දක්නට ලැබේ. එසේම පුරාණ චෛත්‍යයක නටබුන් පර්වතය පාමුල දක්නට ලැබෙන අතර පොහොය සීමාවක නටබුන් ද දක්නට ඇත. ගිරිචේතිය වන්දනා කිරීමට ගල උඩට විහිදී ගිය පුරාණ ශෛලමය පියගැට පෙළක් පුරාණ ශෛලමය සිරිපතුල් අනුරූ කීපයක් ද එහි දක්නට ලැබේ. එසේම ක්‍රි.පූ. 2 - 4 සියවස් වලට අයිති පර්වත සෙල්ලිපියක් ඉසින්බැස්සගල දී දැකගත හැකි ය. එසේම නාග ප්‍රතිමාවක් ද හමු වී තිබේ. මෙම ගල්තලාව මතට පැති හතරකින් ඇතුළු වීමට පුළුවන්කම ඇත. ගල් පොකුණු රැසක්ද ගල් පර්වතය තරණය කිරීමේ දී දැක ගත හැකි අතර අති විශාල වෘක්ෂයක්ද තරණයේ දී දැක ගත හැකි ය.

ඇතැම් කාලයන්හි දී අලි රංචු පිටින් විහාරස්ථානයට පැමිණෙති. ගල් පර්වතය මස්තකයට ගිය විට දැනෙන සිසිලස මෙන්ම අවට කිලෝමීටර් ගණනාවක් දුරට දැක ගැන්මට ලැබෙන සොබා සෞන්දර්යය ඉතා වටනේ ය. ගල් පර්වතය මස්තකයෙහි පසුගිය දශක කිහිපයකට පෙර ස්ථාපිත කළ මිහිඳු මා හිමියන් වැඩම කළ බව දැක්වෙන අලංකාර පුවරුවක්ද දක්නට ඇත.

පසුගිය සියවසක පමණ කාලයක ඉතිහාසය දිග හැරගත් විට පෙනී යන්නේ හැරමිටිගලේ සෝනුත්තර තෙරුන් වහන්සේ (1845 - 1880) මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කළ බවත්, උන්වහන්සේගේ ඇවෑමෙන් තඹගල්ලේ සුමනසාර තෙරුන්වහන්සේ (1880 - 1910) ද උන් වහන්සේගෙන් පසුව සර්වභෞම මහකුඹුක්ගොල්ලෑවේ ශ්‍රී සෝභිතාභිධාන මහා ස්වාමින් වහන්සේ (1910 - 1962) විහාරාධිපතිත්වය දැරූහ.

උන්වහන්සේගේ දවස වර්තමානයේ දක්නට ලැබෙන මහා විහාරය ඉදිකර ඇත. අනතුරුව උන් වහන්සේගේ ශිෂ්‍යවර වාදීභසීහ මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතනාභිධාන මහා ස්වාමීන් වහන්සේ (1962 - 2003) විහාරාධිපති ලෙස කටයුතු කළහ. උන්වහන්සේගේ සමයෙහි දර්ශනීය ධර්මශාලාව පුස්තකාල ගොඩනැගිල්ල සහ ඉසින්බැස්සගල පර්වත මස්තකයේ ඉදිවී ඇති විහාර සංකීර්ණය ඉදි කළහ. යුගයෙන් යුගය රජවරු ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය රාජයාණන් වහන්සේ ද පුරා විද්‍යාවේ උපකාර මත නැවත ප්‍රතිසංස්කරණය කළහ. වර්තමාන විහාරාධිපතින් වහන්සේ රාජකීය පණ්ඩිත දර්ශන විශාරද ආචාර්ය කඩවත්ගම පියරතන නාහිමිපාණන් වහන්සේ ය.

මේ වන විට විහාරස්ථානයෙන් සේවාවන් රැසක් සිදු කරනු ලබන අතර දායක පවුල් 2300 කට පමණ ආගමික කටයුතු සිදුකරනු ලබන්නේ එම විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ය. දහම් පාසල් ගණනාවක් ම අවට ගම්මානවල ක්‍රියාත්මක වේ. ඊට අමතරව අවමංගල්‍යාධාර සමිති, කාන්තා සමිති හා බෞද්ධ සමිති රාශියක ම අනුශාසකත්වය විහාරස්ථානය මගින් සිදු කරයි. මීට අමතරව ශ්‍රී සුමනසාර මූලික පිරිවෙන විහාරස්ථානයේ පිහිටුවා පවත්වාගෙන යනු ලබන අතර එහි සාමණේර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රැසක් අධ්‍යාපනය හදාරති.

මෙසේ ජාතික, ආගමික වශයෙන් මෙම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන සිදුකරනු ලබන ආගමික මෙහෙවර අති විශාල බව සඳහන් කළ හැකි ය. පිරිවෙනට මෙන්ම දායක පින්වතුන්ට විශාල අඩුවක්ව පැවතුණු අභිනවයෙන් ඉදිකරනු ලැබූ ධර්ම ශාලාව සහ පුස්තකාල නේවාසිකාගාර දෙමහල් ගොඩනැගිල්ල පිරිවනේ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය මෙන්ම ප්‍රදේශයේ බෞද්ධ පින්වතුන්ගේ දහම් පිපාසය සංසිඳුවාලන්නට මහඟු තෝතැන්නක් වනු නිසැක ය. එසේම විහාරස්ථානයේ අධිපතීත්වය දැරූ විහාරධිපති ස්වාමීන් වහන්සේලා සිහිවනු පිණිස අනුස්මරණ මන්දිරයක්ද ඉදිකර ඇත. තවද පිරිවෙන් භික්ෂූන් වහන්සේලාට දානය සපයා ගැනීමට අංග සම්පූර්ණ ගිනිහල්ගෙයක් ද, දෙමහල් ගොඩනැගිල්ලට සමගාමීව ඉදිකර ඇත.

එම ගොඩනැගිලි විවෘත කිරීම 18 වැනිදා පස්වරු 3.00 ට විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. ඒ සියලු කටයුතු කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය කඩවත්ගම පියරතන හිමියන් ය.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk