UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හපුවිට නාරද හිමි

මාවනැල්ල හෙම්මාතගම අම්බරේගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පණ්ඩිත හපුවිට නාරද ස්වාමීන් වහන්සේට මෙම මස දහතුන්වන දිනට පනස් වසරක් සපිරීම නිමිති කොටගෙන ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව විසින් මැයි මස 13 වන දින විශේෂ පින්කම් මාලාවක් පැවැත්විණි.

1968 ක් වූ මැයි මස 13 වන දින කෑගල්ලට නුදුරු හපුවිට නම් ගම්මානයේ දී ආර්.ඒ. හේරත් රණසිංහ සහ පී.වී. පුංචිමහත්තයා යන මාපිය දෙපළට දාව සය දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා ලෙස උපත ලැබූ පි‍්‍රයන්ත රණසිංහ නම් වූ මෙම දරුවා මී දෙනියේ සද්ධානන්දභිධාන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1980 ජනවාරි මස තුන්වන දින හපුවිට නාරද යන නමින් පැවිදි විය. මූලික බණ දහම් සාර්ථකව නිමවා 1990 දී ජූනි මස දෙවෙනි දින උපසම්පදා ලැබූහ. 1991 දී උන්වහන්සේ සරසවි වරම් ලබා 1995 දී ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති යන උපාධි ලබා ගත්හ. අම්බරේගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ආගමික හා සෙසු කටයුතු සඳහා සම්බන්ධ වෙමින් විහාරාධිපති මීදෙනියේ සද්ධානන්ද නා හිමියන්ට මහත් ශක්තියක් විය. උන්වහන්සේගේ හදිසි අපවත්වීමෙන් අනතුරුව 2001 වසරේ පෙබරවාරි 11 වන දින හපුවිට නාරද ස්වාමීන් වහන්සේ විහාරාධිපතීත්වයට පත් වූහ.

ඒ හා සමගම උන්වහන්සේ උඩතඹවිට අරුණෝදාරාමය එරමිණිගම්මන පුරාණ විහාරය හා මලවිට ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරත්‍රයේ ද අධිපතීත්වයට උන්වහන්සේ පත්වූහ. පසුකලෙක හෙම්මාතගම සිරි සමග්ගෝදය පිරිවෙන් විද්‍යායතනයේ අධිපතිව වැඩ විසූ රංදිලිගම ජිනරතන නා හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව එම පරිවෙණාධිපති ලෙස පත් වූ හපුවිට නාරද හිමියෝ අම්බරේගොඩ ශ්‍රී පේමානන්ද දහම්පාසලේ ප්‍රධානාචාර්ය විය.

උන්වහන්සේට චිරාත්කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවරක් ඉටුකිරීම සඳහා ශක්තිය ලැබේවා.

****

මලිගස්පේ රේවත හිමි

ගාල්ල මලිගස්පේ තල්ගස්වත්ත ග්‍රාමවාසී වූ වනරත්න ලියනගේ පියාණන් හා නන්දාවතී මෑණියන්ට දාව 1948 සැප්තැම්බර් මස 21 වන දින ජන්ම ලාභය ලැබීය.

1964 මැයි මස 21 වන දින පැවිදි විය. කිරින්ද බටුවිට ආරණ්‍යසේනාසනයන්හි ප්‍රධාන අනුශාසකත්වය හෙබවූ පානදුර වල්පොළ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් මූලස්ථානාධිපතිත්වය දැරූ මහා මහෝපාධ්‍යාය කැකුණේවෙල ඉන්ද්‍රගුප්ත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවිදි දිවියේ උපාධ්‍යායන් වහන්සේ වූහ. ආචාර්යවරයාණන් වූයේ දොරපේ ඉන්ද්‍රෝභාස ස්වාමීන්ද්‍රයාණෝ ය. ධර්මාචාර්යවරයන් වහන්සේ වනුයේ පණ්ඩිතාචාර්ය හිනිපැල්ලේ ඉන්දවංස මාහිමිපාණෝ ය.

රේවත හිමිපාණන් වහන්සේ උපසම්පදාවට පත් වූයේ 1969 වසරේ ජූලි මස 11 වන දින මාතර නිල්වලා ගඟේ පිහිටි සීමාමාලකයේ දී ය. උපාධ්‍යායන් වහන්සේ හටන්ගල අතුලසේන මහා ස්වාමීන් වහන්සේ ය. උපසම්පදාවේ දී ආචාර්යවරයන් වහන්සේ වූයේ ද පැවිදි කළ ගුරුවරයන් වහන්සේම ය.

උගත මනා බණ දහමින් යුතුවීමත් ලැබූ උසස් අධ්‍යාපනයත් ලෝ සසුන් වැඩ වඩන්නට රේවත ස්වාමීන්ද්‍රයාණන්ට මහත් ශක්තියක් විය. ගාල්ල විද්‍යාලෝක විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම විභාගවලින් ද උසස් පෙළ පරීක්ෂණයන්ගෙන් සාමාර්ථය ලබා බාහිර උපාධිය හදාරා ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් රේවත හිමියෝ පාලි, සිංහල, සංස්කෘත මෙන්ම ඉංගී‍්‍රසි හා දෙමළ භාෂා පිළිබඳව ද උසස් දැනුමක් ලබා තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පර්යත්ති සංවර්ධන සභාව පවත්වනු ලබන සද්ධර්මාචාර්ය, විනයාචාර්ය, අභිධර්මාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, පරීක්ෂණ වලින් ද උසස් ලෙස සමත් වූහ.

බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන, ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිරිවෙන අනතුරුව පෝද්දල කිඹිඇළ ශ්‍රී සරණංකර පිරිවෙනෙහි ද උගන්වා කොග්ගල තෝමස් අමරසූරිය පිරිවෙනේ පරිවෙණාධිපති ධූරය හොබවමින් සිට විශ්‍රාම ලැබූහ.

මලිගස්පේ රේවත හිමියන්ගේ ශාසනික සේවය අගය කරනු ලැබූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා ‘ශ්‍රී වනරතන ඉන්දගුප්ත වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී සංඝ ශෝභන යන ගරුනාම සම්මුතිය සහිතව උපාධ්‍යාය තනතුර පිරිනමා ඇත. රේවත මා හිමිපාණන් වහන්සේ වසර 40 කටත් අධික කාලයක් තිස්සේ වැඩවසන්නේ ගාල්ල වැලිපත අතුලනන්දාරාම පුරාණ විහාරස්ථානයේ ය.

උපාධ්‍යාය පදවියෙන් පිදුම් ලැබූ මේ හිමිපාණන් වහන්සේට උපහාර පිදිමේ හා ආශිර්වාද පලකිරීමේ උත්සව සභාවක් පැවැත්වීමට ප්‍රදේශයේ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි මස 19 වන සෙනසුරාදා අතුල නන්දාරාමාධිපති හිමිපාණන් ප්‍රමුඛ දායක සභාව කටයුතු සංවිධානය කර තිබේ. තවත් බොහෝ කල් ලෝ සසුන් වැඩ වසන්නට මලිගස්පේ රේවත මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

****

මාලේවන සෝභිත හිමි

බේරුවල ශ්‍රී ශෛලබිම්බාරාමය ප්‍රමුඛ මාලේවන විහාරගණයට අයත් සය මහා විහාරාධිපති, මාලේවන ශ්‍රී ඤාණේශ්වර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හා කොළඹ හැව්ලොක් නගරයේ මාලේවන රසායනාගාරයේ පාලන අධ්‍යක්ෂ, ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රවේදී මාලේවන සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් වූ සමාජ සේවාවන් රැසකට නායකත්වය දෙන ගුණ නැණ බෙලෙන් පිරිපුන් ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ජන්ම දිනය සැප්තැම්බර් 13 වැනිදාට යෙදී තිබිණි.

කළුතර දිස්ත්‍රික්කයේ මාලේවන නාකන්දලගොඩ ගම් පියසේ දී එන්.ඩී. පොඩිනෝනා මහෝපාසිකා මාතාවගේ හා ඩී.ඒ.ඒ. විජේසිංහ මහෝපාසක මහතාගේ පුත්‍ර රත්නයක් ලෙස 1950 සැප්තැම්බර් මස 13 වැනි දින මාලේවන හිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාලේවන නාකන්දලගොඩ ඤාණිස්සර මහා විද්‍යාලයෙනි. ඉක්බිතිව 1964 ජූනි මස 25 වැනිදා බේරුවල ශ්‍රී ශෛලබිම්බාරාමයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහිදී උන්වහන්සේගේ ආචාර්යවරයා වූයේ රාජවෛද්‍ය මාලේවන ඤාණිස්සර නාහිමියන් ය.

ඉක්බිතිව සාමණේර නමක විසින් ප්‍රගුණ කළ යුතු ඇවතුම් පැවතුම් පිළිබඳ මනා අවබෝධයක් ලද උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය යන පරිවේණස්ථාන තුළින් ධර්මවිනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළහ. 1970 ජූලි 07 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සහායක්ත මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ.

ඉක්බිතිව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මාලේවන සෝභිත හිමියෝ 1977 දී ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ හ. අනතුරුව ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂාව හා ශිෂ්ටාචාරය නමැති විෂය මැනවින් හදාළ උන්වහන්සේ කල්කටාවේ ආයුර්වේද විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබූ හ. එකී අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව නිමවා කොළඹ මාලේවන රසායනාගාරය හා බේරුවල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කේන්ද්‍රකර ගනිමින් මාලේවන හිමි එදා මෙදාතුර දේශීය වෛද්‍යවරයෙකු ලෙස අපරිමිත සේවාවක් සිදුකොට තිබේ. එසේම කාලීන වශයෙන් බෙහෙවින්ම වැදගත් වන ඉතා උතුම් සමාජ සේවාවන් රැසක් ද සිදු කොට ඇත. ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයින් සඳහා අරමුදලක් පිහිටුවා ඒ ඔස්සේ ඔවුනට ආධාර උපකාර කරන මාලේවන හිමි ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරු දැරියන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ද ප්‍රදානය කරයි. ස්වකීය පුද්ගලික මූල්‍යමය අනුග්‍රාහකත්වය තුළින් ප්‍රදේශයේ නිවාස රැසකට විදුලිය ලබා දී තිබේ. දුෂ්කර පළාත්වල පිහිටි විහාරස්ථාන රාශියකට චෛත්‍ය, ධර්මශාලා, ආවාස කුටි යනාදි විහාරාංග ඉදිකරවීමට ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කොට ඇත. වාර්ෂිකව කාච සහිත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම, ප්‍රදේශයේ ගර්භනී මාතාවන්ට අධිපෝෂණ විටමින් වර්ග ඇතුළුව සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, දිවයිනේ ඒ ඒ ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතා සහිත පවුල් තෝරා නිවාස 12 ක් ඉදිකරවීම සහ ඒවායෙහි සනීපාරක්ෂක පහසුකම් ද මැනවින් සම්පූර්ණ කරදීම, දස දහස් ගණනක් ඉක්ම වූ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර සලසාදීම උන්වහන්සේ සිදුකරන සමාජ සේවාවන් අතර වඩාත් ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.

මෙවර ස්වකීය ජන්ම දිනය නිමිත්තෙන් සුවිශේෂී සමාජ සුභසාධන වැඩසටහන් රාශියක්ම ක්‍රියාත්මක කිරීමට ද මාලේවන සෝභිත හිමියෝ ඉදිරිපත්ව සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන්නයේ දුෂ්කර පාසල් දෙකකට සහන සැලසීම ඒ අතර ප්‍රධාන ය. නාවලකන්ද විද්‍යාලය සඳහා මාලේවන හිමි ඉදිකර වූ අභිනව විද්‍යාගාරය විවෘත කිරීම ද, එම විද්‍යාලයට ම පුටු පරිත්‍යාගයක් සිදු කිරීමට ද සූදානම් කොට තිබිණි. එසේම කොඩිප්පිලිකන්ද විද්‍යාලයේ ඉදිකළ අඩි 70ය25 ප්‍රමාණයේ ශාලාව විවෘත කිරීම ද, සංගීත ගුරුවරයෙකු සිටිය ද එම විද්‍යාලයට බරපතල අඩුවක්ව පැවැති සංගීත භාණ්ඩ 8 ක් පරිත්‍යාග කිරීම ද සිදු කිරීමට නියමිතව තිබිණි. එම ප්‍රදේශය ම කේන්ද්‍රකර ගනිමින් අසරණ රෝගීන් සඳහා ආයුර්වේද හා බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රම දෙකම ආවරණය වන පරිදි වෛද්‍ය සායන දෙකක් ද පැවැත්විණි. පාසල් සිසුන් ඇතුළු පැමිණෙන සියලු දෙනාටම දිවා ආහාරය සැපයූ අතර ප්‍රදේශයේ අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයින් පරීක්ෂා කොට ඇස්කණ්ණාඩි 1000 ක් පරිත්‍යාග කිරීමට ද සූදානම් කොට තිබිණි.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]