UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙමසකට පෙර අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නාහිමි

තෙමසකට පෙර අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරාධිපති , ශ්‍රී සාරානන්ද ගුණරතන වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ධම්ම සේනාසනාධිපති සද්ධම්ම ජෝතිධජ අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නාහිමිපාණන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් මහ මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘන් වහන්සේ නමකි.

මුළු ජීවිතයම සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය වෙනුවෙන් ඇප කැප කළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශමත්, නිහතමානී, ශික්ෂාකාමී,බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේ නමකි.

කුරුණෑගල උඩපොළඕතොට කෝරළයේ ගිරාඹේ නමැති ගම්පියසේ දී 1938 මැයි මස 19 වැනි දින උපත ලද උන්වහන්සේගේ පියාණන් ගිරාඹේ ප්‍රදේශයේ පුරාණ වෛද්‍යවරයෙකු වන මුතුනායක මැතිතුමා ය. මව බේබිනෝනා උපාසිකා මාතාවය. පවුලේ සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් එක් පුරුකක් වූ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට වයස අවුරුදු තුනේදී පමණ අත්පොත් තබන ලද්දේ මාත්ගමුවේ පඤ්ඤාසේකර ලොකු හාමුදුරුවන් වහන්සේය. මූලික අධ්‍යාපනය සඳහා රත්මල්ගොඩ මහා විද්‍යාලයට ඇතුළු විය. එහි දෙවැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබීය.

සියඹලන්ගමුවේ කස්සප හිමියන් විසින් මේ දරුවා පේරාදෙණියේ සාරානන්ද විහාරයට කැඳවාගෙන ගියහ. ඒ 1949 ජනවාරි 01 වැනි දාය.

පසුව කස්සප හිමියන් එවකට විහාරාධිපතිව වැඩ විසු සියඹලන් ගමුවේ ගුණරතන නාහිමියන්ට මේ කුඩා දරුවා භාර කරන ලදී. පැවිදි වීමට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙනගත් දරුවා 1949 අගෝස්තු 26 වැනි දින ගිරාඹේ ආනන්ද නමින් සසුන් ගතවූහ. ඒ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙසය.

පසුව කඩුගන්නාව සිරිනිවාස මහ පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය හැදෑරීමේ වාසනාව උදාකරගත් ගිරාඹේ ආනන්ද හිමියෝ එහි 2 වැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබූහ. 1953 වසරේ ඇරඹි පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අවසානය දක්වා එහි අධ්‍යාපන කටයුතුවල නිරත වූහ. එහිදී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට ද උන්වහන්සේ පෙනී සිටියහ.

උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ අදහස අත්හළ ගිරාඹේ ආනන්ද හිමියෝ තම ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන්ගේ ශාසනික වැඩ කටයුතුවලට සම්බන්ධ වූහ. එම කාලය වන විට කළුගල්ලේ ධම්මරංසි හිමියන් විසින් පමුණුවේ ජයසුමන පිරිවෙන ආරම්භකර තිබුණි. එහි පරිපාලන කටයුතු සිදුකළේ ගිරාඹේ ආනන්ද හිමියන් විසිනි. සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන් විසින් සාරානන්ද පිරිවෙනේ. පරිපාලන කටයුතු සඳහා උන්වහන්සේගේ සහායට ගිරාඹේ ආනන්ද හිමියන් පත්කර ගත්හ.

ගිරාඹේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ 1958 ජූලි මස 10 වැනි දින කුරුණෑගල මැද්දේගම, වැල්ලව දැදුරුඔය උදකුක්ඛේප සීමාවේදී අධිසිල් ලැබූහ. තම ආචාර්යවරයා ලෙස කටයුතු කළේ සියඹලන්ගමුවේ ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ගිරාඹේ ආනන්ද හිමියෝ නාරම්මල සීලවතී පිරිවෙන යළි ආරම්භකර පාරිවේණික සියලුම භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා ඉටුකරමින් පුරා වසර 9 ක් එහි වැඩ සිටියහ.

ආනන්ද හිමියන් අනුරාධපුර ශී‍්‍ර සාරානන්ද විහාරයට වැඩමකළේ 1979 ඔක්තෝබර් මස 10 වැනිදා ය. ඒ වන විට එම ස්ථානයේ වැඩ සිටියේ පණ්ඩිත අටබාගේ විමලඤාණ හිමියන් ය.ගොඩනැගිලි වශයෙන් තිබුණේ ඉඩම අයිතිව සිටි ද්‍රවිඩ මහත්මයා පදිංචිව සිටි ගොඩනැගිල්ල පමණි. “අනුරාධපුර ශ්‍රී සාරානන්ද භූමියෙහි දැනට මේ තිබෙන සියලු ගොඩනැගිලි මා විසින් හදපු ඒවා. මාගේ ගුරුදේවෝත්තම සියඹලන්ගමුවේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ මෙහි විශ්‍රාම ශාලාව ආරම්භ කළා. දිවංගත හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඊට මුල්ගල තැබුවා. එහි කාමර 110 ක් තිබෙනවා. මෙහි දෙමහල් විශ්‍රාම ශාලාව පටන් ගත්තෙ මමයි. මේ සියල්ල සිදු කළේ අපේ නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මත” යැයි ගිරාඹේ ආනන්ද නාහිමියෝ වරෙක පැවසූහ.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අඩිතාලම දැමූ ආනන්ද නාහිමියෝ පිරිවෙන් භූමියහි අසු අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙළීමට අදිටන් කර ගත්හ. 1981 දී එහි ඉදිකිරීම් ආරම්භ කරන ලදී. නමුත් පැවැති විවිධ අපහසුකම් නිසා ප්‍රතිමාව ඉදිකිරීම සඳහා අවුරුදු 20 ක පමණ කාලයක් ගත විය. මේ සමඟම ලෙන් විහාරයක්ද සාදා නිම කිරීමට උන්වහන්සේ සමත්වූහ.

සාරානන්ද විහාර භූමියෙහි “අට මුණිමහාසෑය” ඉදිකරන ලදී. ශ්‍රී සාරානන්ද විශේෂයෙන් ශිෂ්‍ය නිවාස,අලුත් බුදුමැදුර වගේම ජම්බුද්වීපයෙන් වැඩම කළ ආනන්ද බෝධි ශාඛාවක්ද මෙහි රෝපණය කර තිබේ.රැස්වීම් පැවැත්වීම සඳහා එකවිට දහසකට පමණ සහභාගි විය හැකි පරිදි විශාල ශාලාවක්, නන්දෙසින් පැමිණෙන වන්දනා නඩවලට නවාතැන් ගැනීමට පුළුවන් පරිදි ශාලා 35 ක් පමණ නාහිමියන් විසින් සාදා නිමකර ඇත.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කුලදරුවන් සසුන් ගත කරවීම ගිරාඹේ ආනන්ද නාහිමියන් විසින් සිදුකරන ලද විශාල ශාසනික මෙහෙවරකි. උන්වහන්සේ කුල දරුවන් 200 කට වැඩි පිරිසක් දැනට සසුන්ගත කර ඇත. මේ අතුරින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 156 නමක් පමණ දැනට ශාසනික කටයුතුවල නිරත වෙමින් වැඩ සිටිති.

මාතලේ, මාරක, කොත්මලේ තිස්පනේ යන ප්‍රදේශවල පිරිවෙන් දෙකක් ආරම්භකර නෙලුවාකන්ද, ගම්පොළ අඹකුඹුර, යෝධගම, අරණායක, අලවතුගොඩ,අලව්ව රන්කෙත්ගම ආදි ප්‍රදේශවල පන්සල් හතක් ආරම්භ කර ඇත. ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ශිෂ්‍යයින් ඉන්දියාවේ ද වැඩවාසය කරති. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා නේපාලයෙන් කැඳවාගෙන ආ දරුවන් 31 දෙනෙක් පැවිදිකිරීමට නාහිමියෝ සමත්වූහ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කුලදරුවන් අටසිය අනූපහක් සසුන්ගත කිරීමට මහත් කැපවීමකින් ක්‍රියා කළ ගිරාඹේ ආනන්ද නාහිමියන් කොළඹ නිදහස් චතුරශ්‍රය මුල්කරගෙන තවත් කුලදරුවන් එකසිය පස්දෙනෙක් සසුන්ගත කළහ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් කුල දරුවන් දාහක් සසුන්ගත කරවීමට හැකිවු බව ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් ඉතා සතුටින් පවසා ඇත.

සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝසභාවට පත්වූ ගිරාඹේ ආනන්ද නාහිමියෝ එතැන් සිට නිකායේ වැඩ කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

මීට සමගාමීව ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් ගිරාඹේ ආනන්ද නාහිමියන්ට අනුනායක පදවියද පිරිනමන ලදී.අනුනායක පදවිය ලැබීම පිළිබඳව පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට දායක කාරකාදීන් නිතර උත්සාහ ගත් නමුත් අනුනායක හිමියන් ඊට කැමැත්තක් දැක්වූයේ නැත.

1981 වසරේදි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උළෙල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවත්වීමටද මහත් කැපවීමකින් කටයුතු කළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ 2010 වසරේ පැවති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වැනි උපසම්පදා මහෝත්සවය අනුරාධපුරයේ පැවැත්වීමටද පුරෝගාමී වූහ.

නැතිබැරි මිනිසුන් නගාසිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවූහ. මේ වන විට ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ගේ නායකත්වයෙන් නැති බැරි අයට නිවාස හතක් සාදාදී තිබේ. එසේම ප්‍රදේශයේ දහම් පාසල් රැසකට ඒවායේ ඇති අඩුපාඩුකම් සොයා බලමින් වාර්ෂිකව උදව් උපකාර කර ඇත. දැනට සාරානන්දය මූලිකව තරුණ බෞද්ධ සංගමයක් ද ආරම්භ කර තිබේ. සංගමය මූලික කර ගනිමින් අනුරාධපුර අවට විහාරස්ථාන අටක් පමණ ස්ථාපිත කර ඇත.

පොසොන් උත්සවය සමරමින් අනුරාධපුරයට වන්දනාවේ එන බැතිමතුන් සඳහා බත් දන්සල් 14 ක් පමණ ශී‍්‍ර සාරානන්දය මුල්කරගෙන පැවැත්වූහ. එමෙන්ම ඇසළ පොහොය නිමිති කර ගෙනද ඇසළ දන්සල් 03 ක් පවත්වන ලදී.

“මේ සාරානන්ද පුණ්‍ය භූමිය ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම කුලයක අයෙකුට විවෘතයි. මෙ රටේ ජීවත්වන ද්‍රවිඩ ජනතාව අපේම පිරිසක් ලෙස සලකා මා අවස්ථා කිහිපයකදී ම ක්‍රියා කළා. 1983 ජූලි කලබල අවස්ථාවේ දි අපේම මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා විනාශයට පත්වීමට ගිය දෙමළ මිනිසුන්ගේ ජීවිත සියගණනක් මා බේරා ගත්තා. ඔවුන්ගේ බියසැක දුරු කළා. අනුරාධපුරයේ ගං වතුරෙන් විපතට පත් පවුල්වලට සාරානන්ද විහාරයේ නවාතැන් ලබාදී ඔවුන්ට හොඳින් සැලකුවා. මේ වා සිහිපත් වන විට මට ඇති වන්නේ අපමණ සතුටක්. යැයි ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ වරෙක මා සමඟ පවසා තිබිණි.

අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම මෙම 20 වැනි දිනට යෙදී තිබේ.ඒ නිමිත්තෙන් 19 වැනි දින රාත්‍රී ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේදී ගන්තුන උල්ගල පුරාණ විහාරධිපති,අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ධර්ම දේශනයක් පවත්වනු ලබන අතර පසු දින (20) දවල් දෙසිය පනහකට අධික මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිනාවක් පිරිනමන බව ශී‍්‍ර සාරානන්ද පරිවේනාචාර්ය, රාජකීය පණ්ඩිත කුට්ටිකුලමේ විමලසාර හිමියෝ පැවසූහ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]