UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : බුදුහිමි දෙසූ දහම නුවණ ඇති අයටයි

බෝසත් දරුවන්ට :

බුදුහිමි දෙසූ දහම නුවණ ඇති අයටයි

පින්වත් දුවේ, පුතේ අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට කියාදුන් අධ්‍යාපන ක්‍රමය ගැනයි. අධ්‍යාපන ක්‍රමය කියන්නේ ඉගෙන ගන්නා ආකාරය යි. අපි මුල සිටම ඒ ගැන කතා කරමු. ඔන්න, බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී බුද්ධගයාවේ වජ්‍රාසනයේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බෝධියට පත්වෙලා මම අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කාටද කියලා කල්පනා කළා. ඒ කියන්නේ දරුවනේ , ශ්‍රී සද්ධර්මය උගන්වන්නේ කාටද කියලා කල්පනා කළා. මේ උසස් ධර්මය තේරුම් ගන්න හැමෝටම අපහසුයි. නුවණ තිබෙන්නට ඕනෑ. ඒත් ධර්මය අවබෝධ කරගත හැකි යම් පිරිසක් සිටින බව උන්වහන්සේ දුටුවා.

ඒ අයට ධර්මය දේශනා කරන්න ඕනෑ කියා සිතුවා. ඒ කියන්නේ ධර්මය ඉගැන්වූවා. ධර්මය ඉගැන්වීම සඳහා උන්වහන්සේ ගම් නියම්ගම් පාසා වැඩම කළා. දුවේ, පුතේ දන්නවාද? අපේ බුදුහාමුදුරුවෝ ශ්‍රී සද්ධර්මය උගන්වලා එක්තරා පිරිසක් එක් රැස් කළා. ඒ අයට අපි කියනවා ශ්‍රාවක පිරිස කියලා.

ධර්මය අහන අයට වගේ ම වෙනත් ඕනෑම දෙයක් ශ්‍රවණය කරන අයටත් කියන්නේ ශ්‍රාවකයෝ කියල යි. ඒත් පුතේ, බුදු බණ කියවන, ශ්‍රවණය කරන හැම දෙනාට ම කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් කියලයි. හැමදාම බණ අහන ආච්චි, සීයා පමණක් නෙවෙයි. හොඳින් බණ අහනවා නම්, ධාරණය කර ගන්නවා නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, දුවල, පුතාලටත් කියන්නේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කියලයි.

ඉතින්, එක් රැස් කළ ශ්‍රාවක පිරිස වෙනුවෙන් ඊළඟට සිදු කළේ කුමක් ද? ශික්ෂණයක් ලබා දුන්නා. ශික්ෂණය කියන්නේ පුහුණුවට. ලෝකයේ පළමු වතාවට පුහුණු කිරීමේ පාසල් ආරම්භ කළේ බුදු හාමුදුරුවෝ.

ශ්‍රාවකයන් ශික්ෂණය කිරීම සඳහා දුන් උපදෙස්වලට අපි කියනවා ශික්ෂාපද කියලා. ‘දරුවන්ට නම් ශික්ෂාපද පහක් තිබෙනවා. පොහොය දාට සිල් සමාදන්වන විට ශික්ෂා පද අටක්, සාමණේර පොඩි හාමුදුරුවන්ට ශික්ෂා පද විසි හතරක් තිබෙනවා. උපසම්පදාව ලැබූ ස්වාමීන් වහන්සේලාට ශික්ෂා පද දෙසිය විසි හතක් තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ පළමුවැනි පුහුණු කිරීමේ පාසල බිම්බිසාර රජතුමා පූජා කළ වේළුවනාරාමය යි. පසුකාලීනව නිග්‍රෝධාරාමය, ජේතවනාරාමය, පූර්වාරාමය වැනි සුවිසල් විහාරාරාම පූජා කළා.

බුදුරජාණන් වහන්සේට මෙවැනි ආයතන රාශියක් තනිවම පාලනය කිරීම අපහසු යි. උන්වහන්සේ මේ අධ්‍යාපන ආයතනයන්ට ආචාර්ය මණ්ඩලයක් පත් කළා. එහි ප්‍රධානම දෙදෙනා වූයේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම යි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ධර්මය සහ විනය යනුවෙන් ධර්මය කියන්නේ අධ්‍යාපනයට. විනය කියන්නේ පරිපාලනයට. ඉතින් සැරියුත් හාමුදුරුවන්ට අධ්‍යාපනය කොටසත්, මුගලන් හාමුදුරුවන්ට පරිපාලනය කොටසත් පැවරුණා. මේ කරුණු ත්‍රිපිටකය කියවීමේ දී බොහොම ලස්සනට පැහැදිලි වෙනවා.

පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය කියවන විට සැරියුත් හාමුදුරුවන්ට අධ්‍යාපනය පැවරූ බව පෙනෙනවා. පුංචි ඔබට වගේ නොවෙයි. බුදු හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා දැඩිව ශික්ෂණය කර තිබෙනවා. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින්නට ඕනෑ බිම බලාගෙන යි. ඒ කියන්නේ පෙනෙන, නො පෙනෙන දුර බලාගෙනයි. හරියටම කියනවා නම් විය ගහක් පමණ දුරින්. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩින විට වියගස් දෙකක්, තුනක්, හතරක් පමණ ඈත බලාගෙන පිණ්ඩපාතයේ වඩිනවා. මේ දර්ශනය බුදුහාමුදුරුවෝ දුටුවා. පාත්‍රයට ආහාර පමණක් නොවෙයි. හිතටත් ආහාර අරගෙන එන බව දුටුවා. ඉතින් අධ්‍යාපනය බාර දුන් සැරියුත් හාමුදුරුවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ‘සාරිපුත්ත, පිණ්ඩපාතය පිරිසුදු කරන්න ඕනෑ’යි දේශනා කළා. පිණ්ඩපාතය පිරිසුදු කරන්නේ කොහොම ද? ජලයෙන් සෝදා හැර නොවෙයි. පිණ්ඩපාතය පිණිස වඩින විට මහ පාරේදී විවිධ පිරිස් දැකලා, බොහෝ දේ අහලා, දැනිලා සිතේ කෙලෙස් ඇති වුණා ද? ඒ කෙලෙස් නැතිකර ගන්නට ඕනෑ. මෙලෙස කෙලෙස් දුරු කර ගැනීමට පිණ්ඩපාතය පිරිසුදු කරනවා යැයි කියනවා.

මුගලන් හාමුදුරුවන්ට බාර වුණේ පරිපාලන කොටස යි. ඒ කාලේ මුගලන් හාමුදුරුවන්ට සමහරු කැමති නෑ. එක හේතුවක් වන්නේ පිරිස් පරිපාලනය කිරීම. දෙවැනි හේතුව සෘජුව කතා කරන ස්වාමීන් වහන්සේ නමක් වීම.

උන්වහන්සේ දිව්‍ය ලෝකවලට වැඩම කරනවා. දිව්‍ය සැප විඳින දිව්‍ය, දිව්‍යාංගනාවන් ගැන මේ ලෝකයට පැමිණ කියා දෙනවා. පේ‍්‍රත ආත්ම ලබා දුක් විඳින පේ‍්‍රතයන් මුණ ගැසෙනවා. ඔවුන් කළ විපාක ගැන කතා කරනවා. පව් කිරීමේ දුක් විපාක, පින් කිරීමේ සැප විපාක පෙන්වා දෙනවා. මුගලන් හාමුදුරුවන්ට පරිපාලන කොටස බාර දීම පිළිබඳ ව පාසාදකම්පන සූත්‍රයේ බොහොම අපූරුවට පැහැදිලි කෙරෙනවා.

දරුවනේ, දවසක් බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයට වැඩම කරන අවස්ථාවක පොඩි හාමුදුරුවරු පිරිසක් කතා බහ කරමින් සිටිනවා දුටුවා. හිස් වචන කියවනවාට උන්වහන්සේ බොහොම අකැමැතියි. මේ හාමුදුරුවන් සමීපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. නිවන් දකින සැටි ඔබ දන්නවාද? කියා. කෑ කෝ ගසමින් සිටියේ පෘතග්ජන හාමුදුරුවරු, නිවන පිළිබඳ අවබෝධ කරගෙන සිටියේ නෑ. ඉතින් ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට උත්සාහ කළා. එකිනෙකාගෙන් පිළිතුරු විමසුවා. විහාරයෙන් පිටතට වැඩම කළා. වට පිට බැලුවා. එක ගුරු හිමිනමක් වැඩ ඉන්නවා. ඒ මහා කච්චායන හාමුදුරුවෝ හැමෝම ගිහින් උන්වහන්සේගෙන් විමසනවා නිවන් දකින්නේ කෙසේද කියලා. මහාකච්චායන හාමුදුරුවෝ බොහොම කරුණාවෙන් පන්තියට වැඩම කළා. නිවන් දකින්නේ කොහොම ද කියලා කියා දුන්නා. ඒත් ‘බුදු හාමුදුරුවෝ වෙනත් ක්‍රමයකට මේ ගැන කියා දුන්නොත් ඔබ ඉගෙන ගන්නට ඕනෑ ඒ ක්‍රමය යැයි’ පැවසුවා.

බලන්න අපේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේ මොන තරම් ලස්සනට පුහුණු කරලා තිබෙනවා ද?

බුදු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ගෙන් පිළිතුරු අසා දැන සතුටට පත් වුණා. මේ ගැන කියා දුන්නේ කවුදැයි විමසුවා. මහා කච්චායන හාමුදුරුවෝ බව හැමෝම එක හඬින් ප්‍රකාශ කළා. ‘මගේ ආචාර්ය මණ්ඩලයේ, මහාකච්චායන හාමුදුරුවෝ ව්‍යක්තයි, විශාරදයි, විනයධරයි, බහුශ්‍රැතයි’ යනුවෙන් දේශනා කළා. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ආචාර්ය මණ්ඩලයට විශේෂයෙන් සත් නමක් පත්කරගෙන තිබුණා. ඒ බව ආනාපානසති සූත්‍රයෙන් පැහැදිලි වෙනවා.

දරුවනේ පෙරඅත් භවයක අපිත් බුදු හිමිගෙන් බණ අහන්න ඇති. සුජාතා, මල්ලිකා, ආදී ඔය හැමෝම සමඟ අපිත් ඉන්න ඇති. පුහුණු කිරීමේ පාසලේ ඉගෙන ගන්න ඇති. ඒත් විභාගයෙන් අසමත් වෙලා. මේ සංසාරයේ තවමත් දුක් විඳින්නේ ඒ නිසයි. බුදුසරණ පුවත්පතින් සතර පෝයදාටම කියලා දෙන්නේ මේ විභාගය සමත් වෙන්නේ කෙසේද කියලයි. පුංචි කාලයේ සිටම ඒ විභාගය සමත් වෙන්නට දරුවෝ සූදානම් වෙන්න ඕනෑ. ඒ කියන්නේ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ඕනෑ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk