UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා-15: ශික්ෂා පදවල උපයෝගිතාව

ශික්ෂා පදවල උපයෝගිතාව

"සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි පුහුදුන් පුද්ගලයා සතර අගතියෙන් අගතියට ගොස් විවිධ පාප කර්ම සිදු කරයි. ඒ හේතුවෙන් ඔහුගේ යම් යසසක් වේද, එය අමාවක සඳ මෙන් යටපත් වෙයි. එහෙත් අගතියෙන් තොරව කටයුතු කරන්නාගේ කීර්තිය පුර සඳ මෙන් තවදුරටත් දීප්තිමත් වේ"

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි පෙර භවයේ වංචනික ලෙස නඬු විසඳීමේ විපාක වශයෙන් ප්‍රේත ලෝකයේ උපන් එක්තරා ප්‍රේතයෙකු අරබයා මෙම කථාව දේශනා කළ සේක.

බුදුරදුන්ගේ දායකයෙකු වූ බිම්බිසාර රජු මසකට සය දිනක් පෙහෙවස් සමාදන්ව වාසය කළේ ය. රජතුමා අනුකරණය කරමින් බොහෝ දෙනෙක් එසේ පෙහෙවස් සමාදන් වූහ. රජතුමා ද තමන් වෙත පැමිණි අයගෙන් පෙහෙවස් සමාදන් වූයේ දැ යි හෝ නැද්දැ යි නිතර නිතර විමසී ය. එම මිනිසුන් අතර අධිකරණ නායකයෙක් ද සිටියේය. හෙතෙම කේලාම් කියන, කෛරාටික, දූෂිත අයෙකි. තමා පෙහෙවස් සමාදන් නොවූ බව රජුට කීමට බිය වූ හෙතෙම පෙහෙවස් සමාදන් වූයේ යැයි බොරු ගොතා කීවේ ය. රජුගේ සමීපයෙන් ඉවත්ව ගිය පසු ඔහුගේ යහළුවෙකු ද, ඔහුගෙන් පෙහෙවස් සමාදන් වූයේ දැයි විමසා සිටියේ ය. තමා පෙහෙවස් සමාදන් නොවූ බවත් රජුට බියෙන් බොරු කියූ බවත් අධිකරණ නායකයා තම යහළුවාට දන්වා සිටියේ ය.

සියල්ල අසා සිටි යහළුවා එසේ නම් අද දිනයෙහි මෙතැන් සිට ඉදිරියට පසුදින උදෑසන දක්වා අර්ධ උපෝසථය සමාදන්ව වාසය කරන ලෙස දන්වා සිටියේ ය. යහළුවාගේ වචනය පිළිගෙන නිවසට ගොස් ආහාර අනුභව නොකරම මුව සෝදාගෙන උපෝසථ ශීලය සමාදන් වූයේ ය. නිරාහාරව හි¼දීම හේතුවෙන් ඔහුගේ උදරයේ බලවත් වේදනාවක් හට ගත්තේ ය. රාත්‍රී කාලයේ වේදනාව අධික වී ජීවිතක්ෂයට පත් වූයේ ය. මරණින් පසු ඔහු එක්තරා පර්වත කුහරයක විමාන ප්‍රේතයෙකුව උපන්නේ ය. එක් රැයක් උපෝසථය සමාදන්ව වාසය කිරීම නිසා එයට අනුරූපී විපාක වශයෙන් දසදහසක් දෙවඟනන් පිරිවරාගත් දිව්‍ය විමානයක උපන්නේ ය.

එසේ වුවද පෙර භවයේ වංචනික ලෙස කටයුතු සිදුකිරීමත් බොරු කීමත් නිසා තමන්ගේම පිටෙහි මස් තමන් විසින්ම කඩාගෙන කන අයෙකු බවට පත්ව බොහෝ දුක් වින්දේ ය. දිනක් ගිජ්ඣකූට පර්වතයෙන් බසින අනුරුද්ධ මහා තෙරුන් වහන්සේ මෙම ප්‍රේතයා දුටු වේය. සැප සම්පතින් ආඪ්‍යව දිව්‍යාංගණාවන් පිරිවරා අතිශය රූමත් අයෙකු මෙන් ජීවත් වන මුත් තමාගේම පිට තමා විසින් ම කඩා ගෙන කන්නේ කවර කර්මයක විපාකයක් නිසා දැයි එම නායකයාගෙන් විමසා සිටියේ ය.

නාරද මහා තෙරුන් ඇමතූ විමාන ප්‍රේතයා; ‘පෙර මම මිනිස් ලොව ඉපිද බොරුකීම හා හිස් වචන කීමෙන් ද, කෛරාටික වංචා ප්‍රයෝගයන් ගෙන්ද, අන්‍යයන් මුලා කරමින් නීතිය හා යුක්තිය බැහැර කොට ඒ වෙනුවට අවනීතිය රැකෙන පරිද්දෙන් තීන්දු ලබාදුන්නෙමි. තමන්ට අයත් රාජකාරී කටයුතුවලදී අන්‍යයන්ට අවැඩ පිණිස කටයුතු කළෙමි. සත්‍යය ප්‍රකාශ කළ යුතු තන්හි දී අසත්‍යම ප්‍රකාශ කළෙමි. යම් සේ මම අද මගේ පිටමස් කමි ද, එසේම යමෙක් යුක්තිය අයුක්තිය කරමින් නීතිය අනීතිය කරමින් අනුන්ගේ පිටමස් කන්නේ ද හෙතෙමේ ද මතු භවයෙහි මා මෙන්ම තමා විසින්ම තමන් කා දමන්නේය., යනුවෙන් තමා කළ පාප කර්මය උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ ය. ඉක්බිති නාරද ස්වාමින් වහන්සේ තමන් වහන්සේ දුටු විමාන ප්‍රේතයා පිළිබඳ බුදුරජාණන් වහන්සේට දැන් වූහ. තථාගතයන් වහන්සේ දම් සභා මණ්ඩපයෙහි රැස් වූ පිරිසට ඒ ආශ්‍රයෙන් ධර්මය දේශනා කළහ. නීතිය හා යුක්තිය යටපත් කොට අනීතිය හා අයුක්තිය ඉස්මතු කොට තීන්දු දීමෙන් ලැබෙන දරුණු විපාක මෙම පේත කථාවෙන් ගෙනහැර දැක්වේ. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි පුහුදුන් පුද්ගලයා සතර අගතියෙන් අගතියට ගොස් විවිධ පාප කර්ම සිදු කරයි. ඒ හේතුවෙන් ඔහුගේ යම් යසසක් වේද එය අමාවක සඳ මෙන් යටපත් වෙයි. එහෙත් අගතියෙන් තොරව කටයුතු කරන්නාගේ කීර්තිය පුර සඳ මෙන් තවදුරටත් දීප්තිමත් වේ. සචේතනිකව තමා කළ පාප කර්මයෙන් ඔහුට නිදහස් විය නොහැකි ය. මෙම කථාවේ එන එම අධිකරණ නායකයාට බොරුවෙන් බිම්බිසාර රජු මුලා කළ හැකි වුවත් තමා කළ වංචනික ක්‍රියාවට අනුරූපී විපාකයෙන් ගැලවිය නොහැකි විය.

බොරු කියා පෑමෙන් නීතියේ ඇසට වැලි ගසා කෙනෙකුට නිවැරදි අයෙකු විය හැකි වුවත් තම හෘදය සාක්‍ෂියට අනුව තමා කළ නරක කර්මවල විපාක තමාටම විඳීමට සිදු වෙයි. යම් වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතියෙන් පමණක් පිරිසුදු වූ පමණින් පුද්ගලයෙකු යහපත් අයෙකු ලෙස නොසැලකේ. බුදුසමයට අනුව සදාචාරය ද එහිලා සැලකිල්ලට ගැනේ. පුද්ගල චර්යාව යහපත් එකකැයි නිර්වචනය කෙරෙන්නේ එය නීතියට මෙන්ම සදාචාරයටත් අනුගත වන්නේ නම් පමණි. බුදුසමය නෛතික පදනමෙන් ඔබ්බට ගොස් සදාචාරාත්මක පදනමකින් පුද්ගල චර්යා විනිශ්චය කරන බව මෙම කථා පුවත් මගින් පැහැදිලි වේ.

උපෝසථ සමාදානය අවබෝධයෙන් කළ යුත්තකි. එහි අරමුණු කවරේදැයි නිසි ලෙස වටහා ගැනීමකින් තොරව ශික්ෂාපද රැකීමෙන් අර්බුද පැන නැගිය හැකි ය. අධිකරණ නායකයා තම යහළුවාගේ ඉල්ලීම පරිදි අර්ධ උපෝසථය සමාදන් වුවද එහි අරමුණු කවරේද යන අවබෝධය ඔහුට නොතිබුණ බව පෙනේ. දීර්ඝ උපවාසයක් ආරම්භ කිරීමට පළමුව අවශ්‍ය පමණට ආහාර පාන ලබාගත යුතු ය. ආහාර පාන කිසිවක් නොගෙන ආරම්භ කළ උපවාසය නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. ශික්ෂාපදවල උපයෝගීතාව කවරේදැයි මැනවින් වටහාගෙන ඒවා අනුගමනය කිරීමෙන් උසස් ප්‍රතිඵල සාක්ෂාත් කළ හැකිවේ. ඉහතින් දැක් වූ පරිදි යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයා සදාචාරයෙන් ද පූර්ණත්වයට පත් විය යුතු ය යන්න බුදුසමයේ පිළිගැනීමයි.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk