UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 12 :  කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රය

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරති. සසර කළකිරුණු භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් කමටහන් ගෙන භාවනා වැඩීමට හිමාල වනයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේලාගේ ගුණ තේජස නිසා වෘක්ෂ දේවතාවෝ තමන්ගේ දරුවන් ද ගෙන විමන්වලින් බැස ඔබ මොබ හැසිරෙමින් කාලය ගත කළහ.

භික්ෂූන් වහන්සේලා දිගින් දිගට ම එහිම වැඩ වාසය කිරීම නිසා වෘක්ෂ දේවතාවුන් වහන්සේලාගේ කටයුතුවලට බාධා පැමිණියහ. භික්ෂූන් වහන්සේලා බිය ගන්වා එම වනයෙන් බැහැර කිරීමට දේවතාවෝ කල්පනා කළහ. විවිධ යක්, රකුස් වේෂ මවාගෙන භික්ෂූන් ඉදිරියට පැමිණියහ. භික්ෂූන් වහන්සේලා කායික හා මානසිකව විවිධ පීඩාවන්ට ලක්විය. තමන්ට භාවනා කිරීමට ඇති බාධා පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. ප්‍රධාන භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට ගොස් භාවනා කිරීම සඳහා වෙනත් ස්ථානයකට යෑමට අවසර පැතූහ. මෙම භික්ෂූන් වහන්සේලාට භාවනා වැඩීම සඳහා සුදුසුම ස්ථානය එයම බව දැනගත් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළහ.

චතුභාණවාරට්ඨ කතාව නම් අටුවාවේ පෙන්වා දෙන්නේ ප්‍රයෝජන තුනක් සලකා සූත්‍රය දේශනා කර ඇති බවයි මෛත්‍රිය පැතිරවීම පිරිත් ආරක්ෂාව ලබා ගැනීම හා විපස්සනාපාදක ධ්‍යානය ඇතිකර ගැනීම යනුවෙනි.

සූත්‍රය ආරම්භ වන්නේ නිවනට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයා කළ යුතු දේ පෙන්වා දීමෙනි.

ලෝකයේ කරණීය ධර්ම හා අකරණීය ධර්ම යනුවෙන් දෙ අංශයක් තිබේ. අකරණීය යන්නෙන් අදහස් කරන්නේ නොකළ යුතු, නොපිළිපැදිය යුතු, නොහැසිරිය යුතු කරුණු වේ. අධම්ම චරියා, විෂම චරියා, පස් පව්, දස අකුසල් යනාදියත්, පුද්ගලයෙකු විසින් තමාගේ ජීවිතයේ දියුණුවට බාධා කරන දෙයෙහි නිරත වීමත් යනාදි කරුණු අකරණීය ධර්ම වේ.

කරණීය ධර්ම යනුවෙන් අදහස් කරන්නේ කළ යුතු , පිළිපැදිය යුතු , හැසිරිය යුතු කරුණු වේ. සම චරියා, ධම්ම චරියා, වැඩි දියුණු කිරීම දස කුසල් , දස පුණ්‍ය ක්‍රියා ඉටු කිරීම් ආදිය කරණීය ධර්ම වේ.

කරණීය මෙත්ත සූත්‍රයේ සක්කෝ යන්නෙන් පෙන්වා දෙන්නේ කරණීය ධර්ම ඉටු කිරීමේ දක්ෂ අයෙකු විය යුතු බවයි. සක්කෝ යන්නෙන් හැකියාව, දක්ෂතාවය යන අදහස් ද ප්‍රකාශ කරයි. ඒ අනුව නිවන් මගට අවශ්‍ය දේ සිදු කිරීමේ හැකියාව හා දක්ෂතාවය තීව්‍ර කරගත යුතු ය. පුද්ගලයා සක්කෝ ගුණයෙන් පොහොසත් වී උජු හා සූජූච අයෙකු ද විය යුතු ය. උජු හා සූජූච යන්නෙන් අදහස් කරන්නේ අවංක බවයි. නිවන් මගේ ගමන් කරන පුද්ගලයා කරණීය ධර්ම ඉටු කිරීමේ දී තම අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය බව දැන අවංක බවින් එය කළ යුතු ය. එසේ නොවී වරප්‍රසාද ලැබීම, අන්‍යයන් ප්‍රසාදයට පත් කර ගැනීම වැනි ලාභ අපේක්ෂාවන්ගෙන් තොරව කටයුතු කළ යුතු ය.

මීට අමතරව සුවචෝ චස්ස, මුදු, අනතිමානි, සන්තුස්සකෝ . සුභරෝ, අප්පකිච්චෝ, සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝ ,නිපකෝ, අප්පගබ්බෝ , කුලේසු අනනුගිද්දෝ යනාදී කරුණු ද ගොඩ නගා ගත යුතු ය.

භාවනා වඩන යෝගියෙකුගේ චරිත ලක්ෂණ කෙබඳු විය යුතු දැයි මුල් ගාථා කීපයේ දී පෙන්වා දීමෙන් අනතුරු ව ලෝකයේ ජීවත් වන සත්ව වර්ගයා කොටස් කර ඇත. ස්ථිර , දීර්ඝ, මහත් ,මධ්‍යම, භ්‍රස්ව, කුඩා, ස්ථූල,ඇසට පෙනෙන, නොපෙනෙන, දුර සිටින,ළඟ සිටින, උපතක් ලද, උපතක් සොයමින් සිටින, සත්ත්වයින් මෙනෙහි කරමින් “සියලු සත්ත්වයෝ සැපවත් වෙත්වා, කෙනෙකු , කෙනෙකුට අවමන් නොකෙරේවා. ක්‍රෝධ සහගත ගැටුම් සහිත හැඟීම් දුරු කෙරෙත්වා. මවක් තම එකම පුතාගේ ජීවිතය රකින තරම් හැඟීමකින් සියලු ම ප්‍රාණීන් වෙත මෙත් සිත වඩත් වා. ලෝකයේ උඩ යට හරහා යන අයුරින් සතුරු බාධාවන් නැති වනසේ මෛත්‍රී සිත වඩත්වා” යන ආකාරයට මෛත්‍රිය වැඩි දියුණු කරන ආකාරය පෙන්වා දී ඇත.

සිටින්නේ, ඇවිදින්නේ, ඉන්නේ, නිදන්නේ, යම්තාක් කල් නොනිදා ද ඒ සියලු ඉරියව්වල දී මෛත්‍රී සිහිය පිහිටුවා ජීවත් වන්නේ ය. මෛත්‍රී සිත දියුණුූ වන විට ශාසනයෙහි උගන්වන බ්‍රහ්ම විහාරය සිදු වේ. නීවරණවලින් වෙන් වු සමාහිත චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩ නැගෙන අතර කයෙහි හා සිතෙහි සැහැල්ලුව ඇති වේ. සැහැල්ලු සිතත් සමඟ පී‍්‍රති පස්සද්ධිය ද ගොඩ නැගේ.

දීර්ඝ කාලීන ලෙස පංච නීවරණ සංසිඳීම හේතු කොට ගෙන වෙනත් ආගමික හා දාර්ශනික අදහස්වලටත් මිථ්‍යාදෘෂ්ඨි පැත්තටත් නොපැමිණ කයෙහි හා වචනයෙහි සංවරය ගොඩ නගා ගෙන ජීවත් වේ. කයෙහි හා වචනයෙහි සංවරය ගොඩ නගා ගත් විට ලෝකයේ සැබෑව හෙවත් යථාර්ථය එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්ෂණය ගෝචර වේ. ත්‍රිලක්ෂණානුරූපව වස්තු පුද්ගල සිද්ධි යනාදිය විමසා බලන විට කාමයන් හි ඇති ආදීනව හා නිසරු බව වැටහේ. ආදීනව හා නිසරු බව වැටහුනු විට කාමයන් පිළිබඳ කළකිරීම ගොඩනැගේ. කළකිරීමත් සමඟ කාමයන් අත් හරී, ධර්මානුකූලව කාමයන් අත් හැරීමෙන් සිත නි කෙලෙස් තත්ත්වයට පත්වේ. නි කෙලෙස් වු සිතක් ඇති විට සසර ගමන නිම වේ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk