UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීවලී මහ රහතන් වහන්සේ

සීවලී මහ රහතන් වහන්සේ

කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී රාජධානියේ ක්ෂත්‍රීය රජකුව සීවලී මහා රහතන් වහන්සේ උපන්හ. දිනක් ධර්ම ශ්‍රවණය පිණිස වෙහෙරට ගිය විට සුදර්ශන නම් මහරහතන් වහන්සේට සිවුපසලාභීන්ගේ අග්‍රස්ථානය පිළිගැන්වීම දුටුවේ ය. මෙයින් අතිශය ප්‍රමුදිත වූ මේ රජු සතියක් පුරාවටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වූවේ ය. මේ කුසල කර්මය හේතුවෙන් අනාගත සම්බුදු සසුනක ප්‍රත්‍යලාභීන් අතුරෙන් අග තනතුරු ලැබ විමුක්තිය ලබා ගැනීමට ප්‍රාර්ථනා කළේ ය.

පදුමුත්තර බුදුසසුනේ කල්ප ලක්ෂයකින් මත්තේ බුදු බවට පත්වන ගෞතම බුදු සසුනේ සීවලී නමින් පැවිදි දක්ෂිණාලාභීන් අතුරින් අග තනතුරු ලබන බවට නියත විවරණ දුන්හ. අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සුගති සම්පත් විඳ විපස්සි බුදුරදුන්ගේ කාලයෙහි පිටිසර ගමක මෙතුමා ඉපදුණේ ය. තමාගේ ස්වාමියා වෙත කිරිත්, මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා ඇතුළු විශාල පිරිසක් බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය සකස් කරනු දුටුවේ ය. අග තනතුරු ප්‍රාර්ථනාවෙන් කිරිත්, මී පැණිත් පූජා කිරීමට මෙතුමාට අවස්ථාව ලැබුණේ ය. ඉන්පසු නේක විධ පින් දහම් කොට අප ගෞතම බුදුරදුන් සමයේ කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් රජ දියණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් පසු එම කුමරියට අසිරිමත් සිදුවීම් සිදුවන්නට වූවා ය. වැපිරීමට ඇති බීජ ඇය ස්පර්ශ කළ විට එක බීජයකින් බීජ සිය දහස් ගණනක් පැන නඟින්නේ ය. අටුවෙන් ධාන්‍ය ගත් විට අටුව නැවතත් ධාන්‍යවලින් පිරුණි. සුප්පාවාස බිසව ගැබ්ගත් දවසට පසුවදා නුවර සිව් දෙසින් ම තුටු පඬුරු ලැබිණි. කිසි කලෙක නො ලැබූ තරම් සම්පත් වලින් රජ මැදුර පිරී ගියේ ය. දරු ගැබ සෙමින් වැඩිණ. දස මසක් ගෙවුන ද දරුවා නො ලැබිණ. විසි මසක් ගෙවී ගිය ද දරුවා නොලැබිණ. තුන් වසරක් ගෙවිණ. සත් වසරක් ගෙවිණ, එහෙත් දරුවා නොලැබිණ. මව අති මහත් වූ වේදනාවකට පත්ව සිටියා ය. ගැබ තුළ දඟලන දරුවා ඇසට නො පෙනුන ද ඇගේ සිතට පෙනිණ. අවුරුදු හතක්, මාස හතක් ඉක්ම වූ කල්හි පින්වත් සීවලී කුමරු මෙලොව ජනිත විය.

සීවලී කුමරු සත් අවුරුදු, සත් මසක් දරු ගැබ තුළ සිරවී සිටියේ ඇයි, ඔහුගේ මව සත් දිනක් ඉතා බරපතල ලෙස විළිරුදාවෙන් පෙළුනේ ඇයි, මේ ප්‍රශ්නවලට පසු දිනක බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.

සීවලී පෙර රජකම් කළ සමයක එක් කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට සටනක් කළේ ය. රාජ්‍ය යටත් කරගත නොහැකි විය. මේ නිසා ඒ රටට ආහාර එන මාර්ග වසා දැමී ය. සත් අවුරුදු සත් මසක් මාර්ග පාලනය කරමින් රැකවල් දැමුවේ ය.

එයින්ද ඵලක් නො වුණි. ආහාර සපයන උමඟක් ගැන රජුගේ මවට අසන්නට ලැබිණි. ඒ උමඟ වසා දමන්න යැයි සිය පුත් රජුට උපදෙස් දුන්නා ය. සත් දිනක් තිස්සේ ආහාර නො ලැබ ප්‍රකෝප වූ රට වැසියෝ සිය රජු මරා සතුරු රජුට යටත් වී ආහාර ලැබෙන මාර්ග විවෘත කරවා ගත්හ. මෙම අකුසල කර්මය නිසා දරුණු ලෙස සත් අවුරුදු සත් මසක් විළිරුදා විඳින්නට විය.

සීවලී කුමරු බිහිව සත්වැනිදා මහා ලිච්ඡවි රජ මැදුරේ දී බුදුරදුන් ප්‍රමුඛ මහ සඟ රුවනට දානයක් පිරිනැමිණ. දානය අවසන සුප්පාවාසා බිසව සිය පුතු සමඟ බුදු හිමියන් සහ භික්ෂූන් වහන්සේගේ පා වැඳීමේ යෙදුණා ය. මුලින්ම බුදු සිරිපා වැඳගත් සීවලී කුමරු පසුව සැරියුත් හිමියන් අසලට පැමිණියේ ය.

සීවලී කුමරු විහාරයට කැඳවා ගෙන ගිය සැරියුත් හිමියෝ මෙසේ කීහ.

“සත් වසරකටත් වැඩි කාලයක් මවු කුසේ සිරවී විඳි දුක් හොඳින් සිහිපත් කරන්න.” යි කියමින් උන්වහන්සේ කුමරුගේ පළමු කෙස් රොද කපා අතට දුන්නේ ය. එය දකින විටම සීවලී කුමරු සෝවාන් ඵලයට පත් වූයේ ය. දෙවන කෙස් රොද අතට ගැනීමත් සමඟ සකෘදාගාමී ඵලයට පත් විය. තෙවැනි කෙස් රොද අතට ගැනීමත් සමඟ අනාගාමී ඵලයට පත්විය.

සියලු කෙස් කපා අවසන් වීමට පෙර සියලු කෙලෙසුන්ගෙන් දුරුවෙමින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියාපත් මහරහත් බවට පැමිණියේ ය. රහත් වූ දින පටන් සීවලී මහරහතන් වහන්සේට දානමානවලින් අඩුවක් නොවී ය. එපමණක් නොව ත්‍රිපිටකධාරී බවට ද පත්වූහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් වීමට පසුව ය.

සීවලී මහරහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යය ද, ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පූජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘මට මේ පූජා ලැබෙන්නේ නගරවලදී පමණක් ද? ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවලදීත් ලැබේ ද? මෙය පරීක්ෂාකර බැලිය යුතු යයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමඟ පළමු ව හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පූජා කළහ. දෙවන වර පාණ්ඩව පර්වතයට ද තෙවනුව අචිරවති ගංතෙර අසලට ද, සිව්වන වර සාගර තලයට ද, පස්වන වර හිමවන්තයට ද, හයවන වර ඡද්දන්තයයට ද, සත්වන වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේට දිව්‍යමය ආහාර පූජා කළහ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී සිවුවණක් පිරිස මැද දී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූ සේක.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]