UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් සහ ''සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන'' ගෞරව නාමයෙන් පිදුම් ලබන ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් සහ ''සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන'' ගෞරව නාමයෙන් පිදුම් ලබන ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී

ශ්‍රී සුගත තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත භික්ෂු ශාසනය වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව අඛණ්ඩව සුරක්ෂිතව පැවතීමට කටයුතු සම්පාදනය වූයේ සර්වඥයන් වහන්සේ ධරමාන අවධියේ දී ම ය. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේ ප්‍රධානත්වයෙහි තබා පැවිදි උතුමන් කෙරෙහි අගතනතුරු ප්‍රදානය කිරීමෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සිදුවූ අයුරු සුපැහැදිලි කරුණකි. එම පෞරාණික චාරිත්‍ර අතීතයේ පටන් වර්තමානය දක්වා පවත්වමින් මහා විහාරවංශික මල්වතු අස්ගිරි උභය මහාවිහාරයෙහි එලෙසින් ම ප්‍රදානය කිරීම කාලෝචිත මහාර්ඝ ශාසනික කටයුත්තකි.

ශී‍්‍ර බුද්ධ වර්ෂ 2562 ක් වු වෙසක් මස අමාවක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2018 ක් වු මැයි මස 14 වන සඳු දින මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ධූරන්ධර අතිගෞරවාර්හ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශත්වර්ගික කාරක මහාසංඝ සභාවේ අනුමැතියෙන් ‘සද්ධර්ම කීර්ති ශී‍්‍ර ගුණරතන” යන ගෞරව නාම සහිතව “උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මැදවච්චිය ඉසින්බැස්සගල රජමහ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති රාජකීය පණ්ඩිත දර්ශන විශාරද කඩවත්ගම පියරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමෙන අභිනව නායක පදවිය ද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම වන්නේ ය.

ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සහ රත්නමාලි සෑ රදුන්ගේ ආශිර්වාදයෙන් පාරිශූද්ධත්වයට පත් උතුරු මැද පළාතේ ඓතිහාසික අනුරාධපුර රාජධානියේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩවත්ගම ග්‍රාමවරයෙහි 1968 මැයි මස 24 වන දින පින්වත් කුල කුමරෙක් වශයෙන් අප නාහිමියෝ ජන්ම ලාභය ලැබූහ.

දහර අවධියේ දී මැදවච්චිය කඩවත්ගම ශ්‍රී සෝභිත විද්‍යාලයෙන් මුලික පාසල් අධ්‍යාපනය ලබා සැදැහැවත් මවුපියන්ගේ අපේක්ෂා ඉටුකරමින් මැදවච්චිය ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරයේ දී බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ පටන් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරානුයාත ඉලිපැන්ගමුවේ තෙරුන් වහන්සේ මඩගල්ලේ සුමංගල තෙරුන් වහන්සේ, හැරමිටිගලේ සෝණුත්තර තෙරුන් වහන්සේ, තඹගල්ලේ සුමනසාර තෙරුන් වහන්සේ ද ඇතුළත් සංඝ පරම්පරානුගතව සර්වභෞම මහකුඹුක්ගොල්ලෑවේ ශී‍්‍ර සෝභිතාභිධාන මහා ස්වාමින් වහන්සේගේ ද ශිෂ්‍ය වාදිභසිංහ මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතනාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ගුරු කොට 1981 ක් වූ සැප්තැම්බර් මස 11 වෙනි දින උතුම් වු ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ.

අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අවසාන විභාගය උසස් ලෙස සමත්ව ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග ද සම්පූර්ණ කොට 1992 වන විට රාජකීය පණ්ඩිත උපාධියෙන් පිදුම්ලත් ධර්මධර විනයධර සුපේෂල ශික්ෂාකාමී තරුණ යතිවරයාණන් වහන්සේ නමක් බවට පත්වූහ. එකල විද්‍යාලංකාර මහපිරිවෙනෙහි පරිවේණාධිපති හිමියන්ගේ ආශිර්වාදය ඇතිව එම පිරිවෙනෙහිම ධර්මාචාර්යවරයෙක් වශයෙන් ස්වේච්ඡාවෙන් කටයුතු සිදුකරලීම ද අප නාහිමියන්ගේ ජීවිතයේ අමරණීය සන්ධිස්ථානයකි. අනතුරුව උසස් අධ්‍යාපනයට සම්බන්ධ වන නාහිමියෝ 1996 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද, 1993 දී එම විශ්ව විද්‍යාලයේ ම පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, එම විශ්වවිද්‍යාලයෙන් ම 2004 වර්ෂයේ දී බෞද්ධ දර්ශනය පිළිබඳ දර්ශනපති උපාධිය ද සම්පූර්ණ කරන ලදී. අනතුරුව විදේශීය අධ්‍යාපනයට පිවිසෙන උන්වහන්සේ 2011 වර්ෂයේ දී චීනයේ සිවුචාන් විශ්වවිද්‍යාලයට වැඩම කොට ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගැනීමට සමත් වූහ.

උන්වහන්සේ මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනායක මහා සංඝරත්නය වෙතින් 1988 ජුනි මස 16 වෙනි දින උපසම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.

උන්වහන්සේගේ පෘථුල ධර්මඥානය විද්‍යාර්ථින් වෙත ප්‍රදානය කිරීමේ අපේක්ෂාවෙන් 1998 වර්ෂයේ දී අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයට (වර්තමානයේ ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය) කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවයට බැඳෙන ලදී. දෙස් විදෙස් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙහි විශිෂ්ට සේවාවක නිරත වන අප නාහිමියෝ දැනට ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු කරමින් ජාතික, ආගමික, අධ්‍යාපනික සේවාවන්හි නිරත වෙමින් අමිල මෙහෙයක් ලාංකේය ගිහිපැවිදි විද්‍යාර්ථින් වෙත ප්‍රදානය කිරීමට සමත් වෙති. උන්වහන්සේ විසින් චිරචිත ශාස්ත්‍රිය ලේඛන, සම්මන්ත්‍රණ පත්‍රිකා, පුවත්පත් ලිපි සහ ග්‍රන්ථ සමූහය තමන් වහන්සේ විසින් සමාජයට ලබාදුන් ශාස්ත්‍රිය සේවාව මැනවින් විශද කෙරේ.

විශ්ව විද්‍යාලයට සම්බන්ධව ශාස්ත්‍රීය සේවාවෙහි නිරත අතරතුර 2003 වර්ෂයේ දී තම ආචාර්යවරයන් වහන්සේගේ අපවත්වීමෙන් ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරයේ විහාරාධිපති පදවියට පත්ව විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් විවිධ ආගමික ශාසනික සේවාවන් රැසකට දායකත්වය දක්වන්නට වූහ. ඍෂිවරුන් හෙවත් රහතුන් ඍද්ධි බලයෙන් වැඩ සිටි ස්ථානය නමින් ප්‍රකට ඉසින්බැස්සගල රජමහ විහාරය දෙවනපෑතිස් නිරිඳුන්ගේ පටන් ලක්දිව පැවත ගෙන එන ඓතිහාසික පූජනීය ස්ථානයකි. ඒ බව සනාථ කෙරෙන සෙල්ලිපි, පුරාවිද්‍යාත්මක නටබුන් මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබිඹු කෙරේ. විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසු උන්වහන්සේ සැදැහැවතුන්ගේ කාලීන අවශ්‍යතාවන් සලකාලමින් ඉතා දර්ශනීය ධර්මශාලාවක් සහ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉසින්බැස්සගල පර්වත මස්තකයෙහි ගොඩනැංවීමට කටයුතු කරන ලදී. එසේම රාජරාජ මහාමාත්‍යාදීන් විසින් සුපූජිත ඓතිහාසික චෛත්‍යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ උපකාර ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලදී.

නාහිමියන්ගේ ආගමික, ශාසනික සේවාවන් ලබමින් බෞද්ධ ජනතාව ජීවත් වන ගම්මාන කීපයක්ම වෙයි. එනම් ඉසින්බැස්සගල, කරපික්කඩ, වාසනාපුර, ඇතිරිකන්ද, ගෙවල් 20, වලහමලෑව, සියඹලාගස්කඩ, වල්පොල, ළිඳහිටිදමන, තුලින්කඩ, විරාල්මුරිප්පුව, පූනෑව, නාගදරනෑව, කුඩාහල්මිල්ලෑව, රංගිරගම හෙවත් නව ගම්මානය,උල්පත්ගම, කෝන්ගෝල්ලෑව, කනදරා දිවුල්වැව යනාදිය එම ගම්මාන වෙයි. දායක පවුල් 2300කට ආසන්න ගොවි ජනතාවක් වෙසෙන මෙම ගම්මානවල දෛනික ආගමික කටයුතු සිදුකරදීමට අප නාහිමියන්ගේ අවවාද අනුශාසනා මත කටයුතු කරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප නමක්ම වැඩ සිටීම උන්වහන්සේට මහඟු ශක්තියකි.

කාලයාගේ ඇවෑමෙන් දායක කාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු ශ්‍රද්ධා ශක්තිය පෙරටුව ඉටුකරලීම් වස් නාහිමියෝ ගම් නියම්ගම් සිසාරා වැඩම කරති. සැමවිටම දායකයන්ගේ හිත සුව පිණිස කටයුතු සිදුකිරීම උන්වහන්සේගේ සුවිශේෂ ලක්ෂණයකි. සිය දායක පින්වතුන්ගේ අධ්‍යාත්මික ගුණය වඩා වර්ධනය කිරීමට ආගමානුකූල චාරිත්‍රවිධි පෞරාණික සිරිත් විරිත් ඒ අයුරින් ම ආරක්ෂා වන අයුරින් ඉටුකරලීම උන්වහන්සේ සතුව පවතින උත්තරීතර ගුණයකි.

අසරණ දුප්පත් ජනතාවගේ සිට සමාජයේ ප්‍රභූවරුන් දක්වා කුමන මට්ටමේ සිටින අයෙකුට වුවත් සමානාත්මතාව පදනම් කරගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම නා හිමියන් සතු මහගු ගුණාංගයක් බව සනිටුහන් කිරීම කාලෝචිත ය. උන්වහන්සේ නිරතුරුව මෙත් සිත පෙරටු කරගත් කුලුණු සිතින් කටයුතු කිරීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

දකින්නාගේ ප්‍රසන්නභාවය වඩා වර්ධනය වන අයුරින් චාරිකාවේ යෙදීමත් උන්වහන්සේ සතු උතුම් ගුණාංගයක් බව බොහෝ දෙනෙක් දනිති. ප්‍රදේශයේ ගම් දනව් සිසාරා ගිහි බොදු ජනයාට මග පෙන්වාදෙමින් අති උදාරතර ශාසනික සේවාවන් රැසක් හිමිපාණන් වහන්සේ ඉටු කරන බව නොරහසකි.

ඉසින්බැස්සගල විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශී‍්‍ර සුමනසාර පිරිවෙනෙහි සංවර්ධන කමිටුවේ අනුශාසක වශයෙන් කටයුතු කරන්නේ ද අප නාහිමියෝ ය. එසේ ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කිරීම් වස් ආරම්භ කර ඇති ශ්‍රී රුවන්ගිිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය වනුයේ ද උන්වහන්සේ ය. ප්‍රදේශයේ ජනතාවගේ සමාජ සුභසාධන කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන සමිති සමාගම් රාශියකි. බෞද්ධ සමිති, කාන්තා සමිති කීපයක අනුශාසකවරයා උන්වහන්සේ ය. ඒ ඒ ගම්මානවල පවත්වාගෙන යන මරණාධාර සමිති 17ක අනුශාසකත්වය දරනුයේ ද නාහිමියෝ ය.

මෙසේ ජාතික, ආගමික, ශාසනික වශයෙන් විශාල සේවාවක් සිදුකරමින් දෙස් විදෙස් ගිහි පැවිදි උගත් ප්‍රභූන් අතර මෙන් ම ප්‍රාදේශීය මහාසංඝරත්නය සමගින් සහ දායක කාරකාදීන් අතරත් ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ වාසය කරති. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගාරත්වයෙන් පිරිපුන් ය. නිහතමානි ශ්‍රමණ සාරුප්‍යයෙන් හා සුපේෂල ශික්ෂාකාමිත්වයෙන් පරිණත ය. ධර්මධර විනයධර ගුණයෙන් උපසෝභිත අප නාහිමියෝ දැනුමෙන් ඔවදනින් නිසි මග හෙළි කරමින් දහස් සංඛ්‍යාත ගිහි පැවිදි පිරිස් සුමගට යොමු කිරීමට සමත් යතිවරයාණන් වහන්සේ නමකි. සසුනඹරෙහි ඔසධී තාරකාවක් මෙන් දිදුළන ඔබ වහන්සේට ජය සිරි මා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවයෙන් වැජඹෙමින් චිරාත් කාලයක් ලෝ සතට සේවය කිරීමට චිර ජීවනය ලැබේවා’යි ආශිසංනය කරමු.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk