UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිධර්මය තථාගත දේශනාවට පටහැනි ද

අභිධර්මය තථාගත දේශනාවට පටහැනි ද

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද, එය තථාගත දේශනාවට එකඟ ද යන ප්‍රශ්නය වර්තමානයේ ඇතැම් ධර්ම විවේචකයන් ඉදිරියේ ඇති ගැටලුවකි. මෙබඳු මතයක් දරණ අය සඳහා මුලින්ම සිහිපත් කළයුතු කරුණ වන්නේ බුදුරජාණන් වහන්සේ මනඞකල්පිතව අදහස් ප්‍රකාශ කරන ආකාරයේ කෙනෙකු නොවූ බව ය.

උන්වහන්සේට අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලයම මැනවින් විනිවිද දැකීමේ හැකියාවක් තිබුණි. එබැවින් ම තම ධර්මයේ අනාගත පැවැත්ම සඳහා උන්වහන්සේ විසින් යම් යම් වැඩ පිළිවෙළවල් යොදා තිබුණු බව උන්වහන්සේගේ සූත්‍ර දේශනා තුළින්ම පැහැදිලි වේ.

තම ශ්‍රාවකයන්ට ඉතා සුහදශීලී ලෙස දෙසතියකට වරක් ඒකරාශී වී ධර්මය හා විනය සජ්ඣායනා කිරීමට නියම කොට තිබීම ඉන් එක් කරුණකි. එසේම ඒ ඒ ධර්ම කොටස් පිළිබඳ විශේෂඥතාවක් දැක්වූ භික්ෂූන් හඳුනාගෙන තත් විෂයය සම්බන්ධයෙන් අග තනතුරු ප්‍රදානය කොට ඒවා සුරක්ෂිත කිරීමේ වගකීමක් ද පවරා තිබීම තවත් කරුණකි.

මෙබඳු විධිමත් තීන්දු තීරණ රාශියක් බුදුරදුන් ධරමාන සමයේ ම ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන භාරධාරී රහත් මහතෙරුන් වහා ඒකරාශී වී ධර්මය හා විනය පවත්වාගෙන යාම සඳහා සැරියුත්, අනුරුද්ධ, ආනන්ද ආදී මහතෙරුන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවට පැවරීමක් සිදු කළ බව ද ප්‍රකට ය. එසේම අප දන්නා පරිදිම බුදුරදුන් විසින් දෙසූ ධර්මය පවත්වාගෙන යාමේ කාර්යභාරය කවදත් භික්ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන ලද්දකි. ධර්මයට විනයට යම් හානියක් සිදුවේ යැයි හැඟුණු සෑම අවස්ථාවක දී ම ශාසන භාරධාරී භික්ෂූහු එකමුතුව වහා රැස්වී ඊට අවශ්‍ය නිසි පිළියම් යෙදූහ.

බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනක දී පළමු සංගායනාවත්, වර්ෂ 100කින් දෙවන සංගායනාවත්, ඉන් වර්ෂ 136කින් තෙවන සංගායනාවත් පැවැත්වූයේ මේ නිසා ය. එපමණක් නොව බැමිණිටියා නියං සාය පැවති කාලයේ දී දිවි පරදුවට තබා ධර්මය වෙනස් නොකොට රැක ගැනීම, දෙවනපෑතිස් රජ සමයෙහි ලංකාවේ මහාවිහාර භූමියේ දී දස දහසක් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන් සිවුවන සංගායනාවත්, වළගම්බා රජ සමයේ දී ධර්මය ලේඛනගත කිරීමෙන් පස්වන සංගායනාවත් බුරුමයේ දී සයවන සංගායනාවත්, පවත්වන ලද්දේ පාරිශුද්ධ ධර්මයේ සුරක්ෂිතභාවය සඳහා ය. අනෙක් අතින් තෙවන සංගීතිය වන විට අභිධර්මය ද ඇතුළත් ත්‍රිපිටකය මැනවින් සකස් කොට පරිසමාප්තියට පත් කරවන ලද්දේ රහතුන් වහන්සේ ලා විසිනි.

මෙම සංගීතිවලට සහභාගී වූ භික්ෂූන්ගේ ඒකමතික නිගමනය වූයේ අපි බුදුරදුන් නොවදාළ දෙයක් ත්‍රිපිටකයට ඇතුළත් නො කරමු, වදාළ දෙය ආරක්ෂා කරමු යන්නයි. මෙබඳු පැහැදිලි හා ස්ථිරසාර කැපවීමකින් ලක්ෂ සංඛ්‍යාත උත්තම පුරුෂයන් විසින් සුරක්ෂිත කරන ලද දහම දූෂිත වී ඇතැයි ඇතැමුන් පවසන්නේ කවර කරුණක් නිසාද යන්න දූරද්ර්ශීව සිතිය යුතු කරුණකි. බුදුන් වහන්සේ විසින් වරින්වර දේශනා කරන ලද ධර්මයේ සම්මුති දේශනා බහුල ය.

එකී සම්මුති දේශනා අතර උන්වහන්සේ විසින් පවත්වන ලද පරමාර්ථ දේශනා ද අන්තර්ගත වේ. සම්මුති දේශනා ගණයට වැටෙන සූත්‍රවල ධර්මය සරලව පැවසීමට අවශ්‍ය ගහ, කොළ, පර්වත, ස්ත්‍රී පුරූෂාදීන් පිළිබඳ කරුණු ද කතාවස්තු ද අන්තර්ගත වේ. එහෙත් අභිධර්මයට අයත් පරමාර්ථ දේශනා එලෙස දෙවියන් නාගයන් බ්‍රහ්මයන් ආදීන් ගැන හෝ වෙනත් කතාන්තර ආදිය හෝ නොමැත.

අනෙක් අතින් අභිධර්ම දේශනාවල භාවිත වන භාෂාව පමණක් නොව වචන පවා වඩාත් සුවිශේෂී ගැඹුරු අරුතක් සහිතව යොදන ලද ඒවා ය. තවත් විධියකින් කිවහොත් කර්තෘකාරක කර්මකාරක වාක්‍ය පවා භාවිත නොකරන නිෂ්පුද්ගල අකර්තෘක භාවසාධන ශෛලියකින් දේශනා කරන ලද ඒවා ය. වෙනත් විධියකින් කිවහොත් අභිධර්ම පිටකයේ යෙදෙන භාෂාවේ දක්නට ලැබෙනුයේ පුද්ගලයෙක් හෝ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවක් ගැන අදහස් නොවන ක්‍රියා මාත්‍රය පමණක් ප්‍රකාශ වන භාවකාරක වාක්‍ය පමණකි.

මේ නිසා අභිධර්මය තේරුම් ගැනීමට ධර්මය මෙන්ම එහි භාවිත භාෂාව ද තර්ක ක්‍රමය ද මැනවින් දත යුතු ය. කුමක් නිසා ද, යත් එය දාර්ශනික විවරණයක් වන හෙයිනි. පරමාර්ථ දේශනා පිළිබඳ අවබෝධයක් නොමැතිව සම්මුති දේශනා විස්තර කිරීමට යාමේ දී ගැටලු පැන නැගේ. මෙම හේතුව නිසා මෙකල මෙන් එකල ද අර්බුද ඇතිවිණ.

එකී අර්බුද පදනම් කොට දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට සිදුවූ අතර, ඊට විකල්පයක් වශයෙන් තෙවන සංගායනාව වන විට බුද්ධ දේශනා ආශ්‍රයෙන් ම අභිධර්මය පිටකයක් වශයෙන් වෙනම දැක්වීමට රහත් මහතෙරවරුන් විසින් තීරණය කරන ලදී. බුදුරදුන් ධරමාන සමයේ දී ම මෙකී විශේෂිත ධර්ම කොට්ඨාසය ආරක්ෂා කිරීම සඳහා සැරියුත් ආදී මහරහතුන් විසින් සුවිශේෂී කැප කිරීමක් කරන ලදී. බුද්ධඝෝෂ හිමියන් මේ බව අභිධම්මො නාම සාරිපුත්තත්ථෙරප්පභවො යනුවෙන් ඍජුවම ප්‍රකාශ කොට ඇත.

සුපිරිසුදු ථේරවාදී මතය අභිධර්මය බුද්ධදේශනාවක් ම වන බවයි. කුමක් නිසාද යත්, ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් එය විස්තර කළ හැකිවන්නේ අභිධර්මය දන්නා අයට පමණක් වන හෙයිනි.

මෙම විෂයය දන්නා පුද්ගලයන්ට අභිධර්මය යනු විස්මිත දාර්ශනික විග්‍රහයකි. ථේරවාද මහායාන සම්ප්‍රදාය දෙකම පැතිර ගිය රටවල කුශාග්‍ර බුද්ධිමතුන් මෙහි වැදගත්කම සිය දහස් ගණනක් සිය පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වුවද මහා පරාක්‍රමබාහු වැනි නරපතීන්ට මේ පිළිබඳව ගැඹුරු දැනුමක් තිබූ බව ඔහු විසින් ලියන ලද විශුද්ධිමාර්ග සන්නය වැනි කෘතියකින් තේරුම් ගත හැකි ය. එපමණක් නොව අභිධර්මය හදාරන හා දේශනා කරන භික්ෂූන්ට පැරණි ලංකාවේ විශේෂ දීමනා ලබා දුන් බව ශිලා ලේඛනවල පවා සඳහන් වේ. ක්‍රි. ව. 10 සියවස දී සිවුවන මිහිඳු රජතුමා ලංකාව පාලනය කරන අවධියේ දී ඔහු විසින් සූත්‍රාන්ත දේශනා කරන භික්ෂූන් වහන්සේ නමකට ප්‍රත්‍යය කොටස් හතක් දියයුතු යැයි සඳහන්කර තිබූ අතර අභිධර්මය දේශනා කරන භික්ෂුවකට කොටස් දොළහක් දියයුතු බව නියම කොට තිබුණි.

ධර්මය තේරුම් ගැනීමට මෙහි ඇති අදාළත්වය හේතුවෙන් මෙබඳු මහත් පරිශ්‍රමයකින් සුරක්ෂිත කරන ලද ඉතිහාසයක් අභිධර්මය සතුව ඇත. බෞද්ධ මූලාශ්‍රයවල සඳහන් වන පරිදි බුදුරදුන් මුලින්ම අභිධර්මය දේශනා කරන ලද්දේ මාතෘ දිව්‍ය රාජයාට ය. එය මිනිස් ලොව දී මාතෘකා වශයෙන් දේශනා කරන ලද්දකි. එය විස්තර කරන ලද්දේ මහරහත් ශ්‍රාවකයන් වහන්සේලා විසිනි. ධම්මසංගණී හෝ විභංගප්‍රකරණය වැනි අභිධර්ම කෘතියක් ගෙන විමසූ විට අභිධර්මයේ සැකැස්ම දැකගත හැකි ය.

එම කෘතිවල ධර්මය විවරණය කෙරෙනුයේ පියවර තුනක් යටතේ ය. ඉන් පළමුවැන්න සූත්‍රය ගෙනහැර දැක්වීමයි. ඒ අනුව මුලින්ම පෙන්වා දෙන්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් තථාගත දේශනාවයි. නිදසුනක් ලෙස පඤ්චස්කන්ධය පිළිබඳව සාකච්ඡා කෙරේ නම් මුලින්ම දක්වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ආකාරය සූත්‍ර ආශ්‍රයෙන් ගෙනහැර දැක්වීමයි. දෙවැනියට අභිධම්ම භාජනීය නය යටතේ අභිධර්ම විග්‍රහය ඉදිරිපත් කෙරේ. තුන් වැන්න පඤ්හපුච්ඡක නය නමින් දක්වා ප්‍රශ්නෝත්තර ක්‍රමය දක්වයි. මේ අනුව අභිධර්මයේ බුද්ධ භාෂිතත්වයට යමෙක් විරුද්ධ වේ නම්, ඔහු විසින් එහි මුලින්ම දැක්වෙන සුත්තන්ත භාජනීය නය යටතේ දැක්වෙන බුද්ධ දේශනාවට ද විරුද්ධ, එම බුද්ධ දේශනාව නො පිළිගන්නෙක් වේ.

ශ්‍රී ලංකාවේ භික්ෂු අධ්‍යාපනයේ අභිධර්මය ඉගෙනීම කෙරෙහි මහත් සැලකිල්ලක් තිබුණු බව අපි දනිමු. මෙම විෂය මැනවින් හදාළ භික්ෂූහු එකී ඉගැන්වීම් බුරුමය වැනි රටවලට ගොස් වැඩිදුරටත් ප්‍රගුණ කළහ. අපවත් වී වදාළ රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ සහ නාඋයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ වැනි යතිවරු මෙයට නිදසුන් ය. යෝගාවචරයන් වශයෙන් උන්වහන්සේලා භාවනා කිරීමට එහි ඇති අදාළත්වය වෙසෙසින් හඳුනා ගත්හ.

එසේම ධර්ම විවරණයෙහිලා ද එහි අදාළත්වය ශ්‍රී ලාංකික උගතුන් විසින් ලෝකයට පෙන්වා දී ඇත. එහෙත් අභිධර්මය මෙලෙස ගැඹුරින් හැදෑරීම මෑත අතීතයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ගිලිහී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානශ්‍රී ලංකාවේ අභිධර්ම උගතුන්ගේ අඩුව අතැඟිලි පමණට සීමාවිය.

එහි භයානකම ම ප්‍රතිඵලය වූයේ කිසිදු ධර්මයක් නොදත් ඔල්මාදකාරයන් පවා මෙය තථාගත දේශනාවට පටහැනි මෙන්ම වනසා දැමිය යුතු ඉගැන්වීම් සමුදායක් ලෙස හුවා දැක්වීමට පෙළඹීමයි. සාමාන්‍ය දැනුමක් සහිත බෞද්ධයන් පවා නොමඟට හැරවීමට තරම් එය ප්‍රබල සංසිද්ධියක් වේ. මෙබඳු පසුබිමක් යටතේ ථේරවාද සම්ප්‍රදාය විසින් උත්තම ධර්මය, ගැඹුරු ධර්මය, විශිෂ්ට ධර්මය යනාදී නම්වලින් හැඳුන්වන ලද අභිධර්මයෙන් තොරව බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය හා සබැඳී (සූවිසි) හේතු ප්‍රත්‍යය ආදී ධර්ම හැදෑරීම සාකල්‍යයෙන්ම අසම්පූර්ණ වේ.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]