වෙසක් පුර පසළොස්වක 2018.04.29
යහපත් ජීවන ප්‍රතිපදාවක්
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, සම්මා සම්බෝධියට පත්වීම, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ
පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සමස්ත ලෝකවාසී බොදු ජනතාවගේ පරම පූජනීය,
ශ්‍රේෂ්ඨතම ආගමික දිනය වන්නේ ද සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනයයි.
ප්‍රතිපත්ති පූජාවෙන්, ආමිෂ පූජාවෙන් තමන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේට පූජා පවත්වන්ට
බොදුනුවන් තුළ ඇති උනන්දුව, කැපවීම අති මහත් ය. වෙසක් කාල සීමාවට පමණක් සීමා නොවී ඒ
ආකල්පයන්, උතුම් ප්‍රතිපත්තීන් ජීවිත කාලය පුරාම සුරක්ෂිත කර ගැනීමට ක්‍රියාවට
නැගීම සැබෑ බෞද්ධ පිළිවෙත වන්නේ ය. මේ පින්බර වෙසඟේ උදාව ඒ අධිටන ඇති කරගන්නට
වෙසෙස් අවස්ථාවක් කර ගත යුතු ය.
‘යම් පුද්ගලයෙක් ධර්මය දකී නම්, හෙතෙම මා දකී, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට
වදාළහ. ධර්මය දැකීම යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීම ය. උතුම්
නිර්වාණය පසක් කර ගැනීමට නම් ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුම ය. එහෙත් ඒ ධර්මතාවය
අවබෝධ කර ගත් පිරිස සීමිත බව හැඟෙන අවස්ථා ද විරල නොවේ. මේ පින්බර වෙසඟේ අපි උත්සාහ
කළයුතු ඒ සීමිත බව අසීමිත කර ගන්නට ය. අන්ධ විශ්වාසයෙන් බැහැර ව ප්‍රඥාවෙන් ධර්මය
දැකීමට ය.
වෙසෙසින් වෙසක් පොහෝ දිනයේ බාල මහලු තරුණ බොහෝ පිරිස් වෙහෙර විහාරයන්ට රැස්ව උපෝසථ
ශීල සමාදානයට යොමු වෙති. එය අගය කළ යුතුම ය. එහෙත් එහි වටිනාකම ඉහළ යන්නේ සිත
පිරිසුදු වූ පමණට ය. පිරිසුදු වූ සිතින් පිළිවෙත් පිරූ පමණට ය. ජීවිතයේ මුහුණ
දෙන්නා වූ අනේකවිධ ප්‍රශ්න ගැටලු හමු වේ අප සිත කිලිටි වේ. ඒ සිත ආර්ය උපෝසථයෙන්
පිරිසුදු නොකර ගන්නා තාක් සැබෑ බෞද්ධ ප්‍රතිපදාවන්ට යොමු වූ උපාසක උපාසිකාවන් බවට
පත්විය නොහේ.
බුදු හිමියන්ගේ ගුණ සිහි කිරීමෙන්, බුද්ධානුස්තිය වැඩීමෙන් සිත ප්‍රමෝදයට පත්වේ.
පිරිසුදු වේ. කිලිටි ඉවත් වේ. උතුම් ශ්‍රී සද් ධර්මය මෙනෙහි කිරීමෙන් ලැබෙන සුවය
අපමණ ය. උතුම් සඟගුණ මෙනෙහි කරන මොහොතක් පාසා ද සිත පිරිසුදු වන්නේ ය. සීලය රකිනවා
යැයි තමන්ගේ ම සිත රවටා ගැනීම හෝ තමන් සිල්වතෙකැයි අනුන් රවටන්නට යාම ද ඵල රහිත,
අමනෝඥ ක්‍රියාවකි. තමන්ට තමන් අවංක වීම බෞද්ධයාගේ ලක්ෂණයකි. එහෙත් බුදුරජාණන්
වහන්සේ අනුදැන වදාළ ගිහි ප්‍රතිපදාව වන පංචශීලය ආරක්ෂා කිරීම වුව අප වෙතින් කඩවන
අවස්ථා ඕනෑ තරම් වේ. පුද්ගල පාරිශුද්ධියේ ද සමාජ පාරිශුද්ධියේ ද පරිහානිය එතැනින්
ආරම්භ වන්නේ ය. ඒ පරිහානිය බෞද්ධ සමාජයක කිසිසේත් අපේක්ෂා කළ නො හැකි ය. ගැටලුවලට
මුහුණ දෙනවා නම් ඉන් වැඩි ප්‍රමාණයක් මේ ප්‍රතිපදාවන්ගෙන් දුරස්වීම නිසා ලද ඒවාම ය.
සාමය, සහජීවනය, දියුණුව ඇති කරන යහපත් බොදු සමාජයකට අපූර්ව පිළිවෙතක් බුදුදහම
හඳුන්වා දී ඇත. මවුපිය, දූ දරු, ස්වාමි භාර්යා, ගුරු සිසු, ස්වාමි සේවක, ගිහි
පැවිදි යන එම සම්බන්ධතාවය ශක්තිමත්, සමාජයක, දුර්වල නොවන සමාජයක පදනම සකසයි. ගෙදරක,
ආයතනයක, සමාජයක ආදී කවර තැනක වුව ද සාමාජිකයන් මෙහෙයවන්නේ නායකත්වය මගිනි. සප්ත
අපරිහානිය ධර්ම ඒ ඕනෑම තැනක නායකත්වයට ලබාදෙන ශක්තිය ඉමහත් ය. බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළ දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු සමාජයක දියුණුවට, සහජීවනයට,
සමානාත්මතාවයට එක සේ වැදගත් ය. වෙසෙසින් මවුපියන් තුළ තිබිය යුතු සිව්බඹ විහරණ ගුණ
අනාගත පරම්පරාවක අනාගතය තීරණය කරන සාධකයන් ය. උදාවූ පින්බර වෙසඟේ මේ බෞද්ධ ආචාර
ධර්ම, පිළිවෙත් ජීවිතයට සමීප කරගෙන උතුම් ජීවන ප්‍රතිපදාවකට ප්‍රවිශ්ට වීමට අධිටන්
කර ගනිමු
|