දුක්ඛ නිරෝධ මාර්ග සත්‍ය |
අනර්ථය පිණිස හේතුවන අන්ත දෙක
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කර වදාළ
ප්‍රථම සූත්‍රය වන දසදහසක් සක්වල කම්පා කරවමින් දේශනා කළ ධම්මචක්කපවත්වන සූත්‍රයෙහි
පළමුවරට අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. එහිදී තමයි මේ
ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන අපට ප්‍රථම වතාවට ඉගෙන ගන්නට ලැබෙන්නේ. එහිදී උන්වහන්සේ
දේශනා කරනවා පැවිද්දන් විසින් අත්හල යුතු අන්ත දෙකක් පිළිබඳව. (ද්වේ මේ භික්ඛවේ
අන්තා පබ්බජිතේන නසේවි තබ්බා)
ඉන් පළමුවැනි අන්තය තමයි කාමයන්හි අලී ගැලී වාසය කරන කාමසුඛල්ලිකානු යෝගය.
බුදුරජාණන් වහන්සේ එය හැඳින්වූයේ හීන වු (හීනෝ) ග්‍රාම්‍ය වූ (ගම්මෝ) පෘථග්ජනයන්ට
අයත්වු (පෝතුජ්ජනිකෝ) උතුම් නෙවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ථ සංහිතෝ) දෙයක්
කියලා. දෙවැන්න තමයි අත්ථකිලමතානුයෝගය. එය දුක පිණිස පවතින ( දුක්ඛෝ) උතුම් නොවු
(අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ත සංහිතෝ) දෙයක් බවයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ
එම අන්ත දෙකෙන් විශේෂණ පද රාශියකින් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම නුසුදුසු බව
පෙන්වා දී තිබෙනවා. එය අවධාරණය කිරීමට හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයිති, උතුම්
නොවන, අනර්ථය පිණිස පවතින යන විශේෂණ පද උන්වහන්සේ භාවිත කර තිබෙනවා.
අත්ථකිලමතානු යෝගයට භාවිත කරන්නේ දුක පිණිස පවතින, උතුම් නොවන, අනර්ථය පිණිස යන
විශේෂණ පදයි. එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ මෙම අන්ත දෙකම අතහැර මධ්‍යම ප්‍රතිපදාවට
පැමිණ සම්බුද්ධත්වයට පත් වූ බවයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා
කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යි.
මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ප්‍රථම ධර්ම දේශනාවේ දී ද සච්ච විභංග සූත්‍රයේ දී
ද වෙනත් සූත්‍ර ගණනාවකදී ද විශේෂයෙන් ම මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ මහා
චත්තාරීසික සූත්‍රයෙන් ද විස්තර වෙනවා. මහා චත්තාරීසික සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය
දෙයාකාරයි. එහි දී මිථ්‍යා දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨිය වශයෙන් හඳුනා ගන්නා අතර සමමා
දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් හඳුනා ගන්නවා. මිථ්‍යා දෘෂ්ඨිය යනු දන්දීමේ විපාක
නැත. පූජා පැවැත්වීමේ විපාක නැත, ඇප උපස්ථාන කිරීමේ විපාක නැත, හොඳ නරක කර්මවල ඵල
විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව කියා විශේෂ කෙනෙක් නැත. පියා කියා විශේෂ
කෙනෙක් නැත, ඕපපාතික සත්ත්වයෙක් නැත. (ඉබේ පහළ වන සත්ත්වයන් වන අපායේ නිරි සතුන් ,
පේ‍්‍රතයන්, අසුරයන්, දෙවියන් බ්‍රහ්මයන් වැනි අය නැතැයි සිතීම ) මෙලොවත් , පරලොවත්
විශිෂ්ට නුවණින් දැනගෙන කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැත යන දෘෂ්ඨියයි.
සම්මා දිට්ඨිය යනු එහි විරුද්ධ පැත්තයි. එය දෙයාකාරයි. ඒ කියන්නේ ආස්‍රව සහිත වු ,
පින් කරන්නට අනුබල ලැබෙන, මතුවට සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය ඒ වගේම ආර්ය වු
ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා .
ඒ කියන්නේ පින්වතුනි උතුම් වූ ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වන ආර්ය මාර්ගය
ප්‍රගුණ කරන යම් කෙනෙකුගේ යම්කිසි ප්‍රඥාවක් තිබෙනවාද? ප්‍රඥා ඉන්ද්‍රියක්
තිබෙනවාද? ප්‍රඥා බලයක් තිබෙනවාද? ධම්ම විචය සම්බෝක්‍ධජංගයක් සම්මා දිට්ඨි
මාර්ගාංගයක් තිබෙනවද?
අන්න ඒ නිසා පින්වතුනි, ඒ ශ්‍රාවකයා මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කිරීමට, ඒ වගේම,
සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උත්සාහ කරනවා. එය තමයි ඒ පුද්ගලයාගේ සම්මා වායාමය. ඔහු
සිහියෙන් මිථ්‍යා දෘෂ්ඨිය අත්හරිනවා. සිහියෙන් සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා.
ඒ තමයි ඔහුගේ සම්මා සතිය, ඔය විදියට ඒ ශ්‍රාවකයා තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට
අනුව වේගයෙන් සකස් වෙනවා. ඒඅනුව පවතිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා වායාමය,
සම්මා සතිය.
ඇත්තෙන්ම සම්මා දිට්ඨිය, සරලව කියනව නම් දුක පිළිබඳ දැනීම, දුකේ හටගැනීම පිළිබඳ
දැනීම, දුකේ නැතිවීම පිළිබඳ දැනීම, දුක නැතිවීම පිළිබඳ ප්‍රතිපදාව දැනීම ලෙස
හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසේ සම්මා දිට්ඨි
සූත්‍රයෙන් සම්මා දිට්ඨිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කෙරෙනවා.
සම්මා සංකප්පයත් මහා චත්තාරීසික සූත්‍රයට අනුව ඉහත ආකාරයට විස්තර කරන්න පුළුවන්
වුවත් එහිදී පාඨකයා විසින් ඉතිරි අංග පිළිබඳව ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වටිනවා.
මෙම ලිපිය මඟින් අවස්ථානුකූලව අනිකුත් මාර්ග අංග විස්තර කෙරෙනවා. සම්මා සංකප්පය
ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් දක්වන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්පය, අව්‍යපාද
සංකප්පය, අවිහිංසා සංකප්පය ආදි වශයෙන්. කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්ම සංකල්පනාවයි.
සියලු සතුන් කෙරෙහි මෙත් සිතින් වාසය කිරීම අව්‍යාපාද සංකල්පනාවයි. සියලු සතුන්ට
හිංසා නොකිරීම අවිහිංසා සංකල්පනාවයි.බොහෝ දුරට අපි පුංචිකාලෙ ඉඳල ඉගෙන ගෙන තියෙන්නේ
යහපත් සංකල්පනාව කියන කොට අව්‍යාපාද,අවිහිංසා, නෙක්ඛම්ම කියලා.
ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම අගට දාල තියෙන්නේ. එය කෙසේ සිදු වූවාද යන්න ප්‍රශ්නයක්.
නමුත් බුද්ධ වචනවයට අනුව යහපත් සංකල්පනාවල පළමු වැන්න වන්නේ කාමයන්ගෙන් නික්මීමයි.
කාමයන්ගෙන් වෙන්වීමයි. නැත්නම් කාමයන් අත්හැරීමයි.
යහපත් වචනය කියන්නේ බොරු කීමෙන්, කේලාම් කීමෙන් , පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන්
වෙන්වීම. යහපත් කර්මාන්ත කියන එකත් බොහෝ අය වරදවා වටහාගෙන තිබෙනවා. ඔවුන් හිතන්නේ
වැරැදි වෙළෙඳාම් නොකිරීම ලෙසයි. නමුත් සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීමෙන්
වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරැදි කාම සේවනයෙන් වෙනවීම.
සම්මා ආජීවය කියන්නේ මිථ්‍යා ජීවය බැහැර කරලා යහපත් දිවි පැවැත්මෙන් කටයුතු
කිරීමයි. මහා චත්තාරීසික සූත්‍රයේ මිථ්‍යා ආජීවය ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ඒ
කියන්නේ වංචාවෙන් ජීවත්වීම ලාභ සත්කාර ලබා ගැනීමේ කැමැත්තෙන් වර්ණනා කර කතා කිරීම
ලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විශේෂ ලකුණූ ඉස්මතු කර කතා කිරීම සත්‍ය වහල කටයුතු
කිරීම ලාභයෙන් ලාභය උපයනවා. බොහෝ දෙනෙක් වැරැදි වෙළදාමේ ආදියත් මිථ්‍යා ආජීවය ලෙස
විග්‍රහ කර ගන්නවා.
සම්මා වායාම කියන්නේ නුපන් අකුසල් නොඉපදීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම,
වීරිය ආරම්භ කිරීම, හිත දැඩි කර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම,උපන් අකුසල් ප්‍රහාණය
කිරීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩිකර ගැනීම, ඒ
අනුව කටයුතු කිරීම ඒ වගේම නූපන් කුසල් ඉපදවීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම,
වීරිය ආරම්භ කිරීම, සිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම.
උපන් කුසල් පවත්වාගෙන යාම සඳහා ඒ කුසල ධර්මයන් විනාශ නොවීම පිණිස වඩ වඩා වර්ධනය වීම
පිණිස වැඩීම පිණිස , පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇතිකර ගැනීම , වෑයම් කිරීම, වීර්ය
ආරම්භ කිරීම හිත දැඩි කර ගැනීම ඒ අනුව කටයුතු කිරීමයි. සම්මා සතිය කියන්නේ සතර
සතිපට්ඨානයයි. කය අනුව බලමින් වාසය කිරීම (කායානුපස්සනාව) විඳීම අනුව බලමින් වාසය
කිරීම (වේදනානුපස්සනාව) සිත අනුව බලමින් වාසය කිරීම (චිත්තානුපස්සනාව) සිතේ ස්වභාවය
අනුව බලමින් වාසය කිරීම (ධම්මානුපස්සනාව) යන සතර සතිපට්ඨානය මජ්ක්‍ධිම නිකායේ
පළවෙනි කොටසේ සතිපට්ඨාන සූත්‍රයේ හා දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් මෙය ඉතා
මැනවින් විස්තර කෙරෙනවා.
සම්මා සමාධි කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවැනි ධ්‍යාන හතරයි. ඒ නිසා මේ
උතුම් ආර්ය මාර්ගය ඉගෙනගෙන ඒ පිළිබඳව විශ්වාසය ඇතිකරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ කර ගනිමු.
- අයන්ති විතාන