UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුරන් ජය ගන්නට බුහුමන් ලබන්නට...

සතුරන් ජය ගන්නට බුහුමන් ලබන්නට...

අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං

බාලයන් ඇසුරු නොකිරීමත් පණ්ඩිතයන් ඇසුරු කිරීමත් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දී දේශනා කළහ.

වර්තමාන සමාජ විද්‍යාඥයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම ළමා කාලයේ සිටම ක්‍රියාත්මක විය යුතු බවයි. එහිදී සමාජ ඇසුර ඉතා වැදගත්වේ. මෙහිදී මව්පියන්ගේ වගකීම වන්නේ ළමයා නරක පුද්ගලයන්ගෙන් ඈත්කර යහපත් මිනිසුන්ගේ ඇසුරට යොමු කිරීමයි. එය කුඩා දරුවාගේ ජීවිත අඩිතාලමයි. එතැනින් ආරම්භවන සාර්ථකත්වය ජීවිතය අවසානය දක්වාම පවතී.

යහපත් මිනිසුන් මෙන්ම අයහපත් මිනිසුන් හඳුනා ගැනීමට නම් අප බුද්ධිමත් විය යුතු ය. අවබෝධයෙන් යුක්ත විය යුතුයි. පාප මිත්‍ර සේවනය තුළින් සමාජය විශාල පරිවර්තනයකට ලක්වේ. විශේෂයෙන් මිනිස් ජීවිතයක විශාල පරිවර්තනයක් සිදුවේ. පාප මිත්‍ර ඇසුර මුළු ජීවිතයම පරිහානියට යොමු කරවන්නකි. එය හුදෙක් ධනය විනාශ වීමක් පමණක් නොව අධ්‍යාත්මික පරිහානිය ද ළඟා කරවන්නකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බෞද්ධ සමාජය යනු කල්‍යාණ මිත්‍ර සමාජයකි. මෙම සමාජයේ පරම කල්‍යාණ මිතුරා වන්නේ බුදුරජාණන් වහන්සේයි. සියලු සත්ත්වයන් කෙරෙහි අපිරිමිත කරුණාවත්, දයාවත් ඇතිව සේවය සැලසීම උන්වහන්සේගේ පරම අපේක්ෂාවයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ හා සමාන වන කිසිදු කල්‍යාණ මිත්‍රයකු අප සමාජයෙහි දක්නට නොමැත. බුදුරජාණන් වහන්සේ වෙතින් පිහිට ලද අය මිස උන්වහන්සේගෙන් අයහපත ලද කිසිවකු මේ තුන් ලෝකයේ නොමැත. මේ නිසා පාප මිත්‍ර ඇසුර නිසා සමාජයට සිදුවන බලවත් විනාශය මෙන්ම කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සමාජයට සිදුවන යහපත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර ඇත.

න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධ මෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ

පවිටු, නරක, මිතුරන් ඇසුරු නොකළ යුතුය. අධම ,පහත් ,මිනිසුන් ඇසුරු නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය. උතුම් මිනිසුන් ඇසුරු කළ යුතු ය.

සමාජයේ ජීවත්වන පුද්ගලයන් හැසිරීමෙන් රූපයෙන්, කථා විලාසයෙන්, ඔවුන් හඳුනාගන්නට අසීරුයි. ඇතැම්හු සමාජය ඉදිරියේ ඉතා සුහදශීලි ගුණවත් සත්පුරුෂ මිත්‍රයන් ලෙස පෙනී සිටිමින් ඉතා සූක්ෂම අයුරින් වංචාවල යෙදෙති.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සත්ත ජටිල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ යහපත් අයහපත් පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේදැයි දේශනා කළහ.

දිනක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් පිළිසඳරේ යෙදී සිටින අතරතුර ඒ අසලින් ජටිලයෝ හත් දෙනෙක් ගමන් කළහ. කොසොල් රජතුමා වහා නැගී සිට ජටිලයෝ හත්දෙනා ගමන් කරන දිශාවට වන්දනා කළේය. "සිල්වතුන් වහන්සේලාට ගුණවතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා" යනුවෙන් පවසමින් සාදුකාර දුන්නේ ය.එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ “රජතුමනි ඔවුන් කිසිසේත් ම සීලවන්තයෝ නොවෙති.” එහිදී රජතුමාගේ පිළිතුර වූයේ “ඇත්ත ස්වාමීනි, ඒ ගිය පිරිස සිල්වතුන් නොවේ. ඔවුන් මාගේ චරපුරුෂයෝ කණ්ඩායමක්” බවයි.

එහිදී බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ හොඳ මිනිසුන් කවුද? නරක මිනිසුන් කවුද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දේශනා කළහ.

සිල්වතා කවුද? දුසිල්වතා කවුද? කියා හඳුනා ගැනීමට නම් ඔවුන් ඇසුරු කළ යුතුම ය. ඇසුරු නොකර මිනිසුන් හඳුනා ගැනීමට නොහැකියි. මිනිසුන් හඳුනා ගන්නට නම් දීර්ඝ කාලීනව කල්පනාකාරීව ඇසුරු කළ යුතුයි. දුෂ්ඨයන්, බාලයන්, මෝඩයන් කොතරම් කාලයක් මිනිසුන් ඇසුරු කළත් ඔවුන්ට සැබෑවටම මිනිසුන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. නමුත් ප්‍රඥාවන්තයන්ට සුළු මොහොතක් ආශ්‍රය කිරීමෙන් යහපත් මිනිසුන් කවුද කියා හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

විශේෂයෙන් අප මේ සමාජයේ ජීවත්වන විට කල්පනාකාරී විය යුතුයි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට ළංවන පාපී මිත්‍රයන් හතර දෙනෙක් ගැන ද කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙක් ගැන ද දේශනා කළහ.

පාපී මිතුරන් සිවුදෙනෙකි එහි අඤ්ඤදත්තුහර මිතුරා තමන්ට යමක් ලබාගැනීමට පමණක් මිතුරුකම් දක්වයි.

වචීපරම – වචනයෙන් පමණක් මිතුරුකම් දක්වයි. හිස් වචනයෙන් සංග්‍රහ කරයි. අවශ්‍ය අවස්ථාවේදී උපකාර නොකරයි.

අනුප්පියභානී – ඇති තැන පමණක් බොරු ප්‍රශංසා කරයි. නැති තැන නුගුණ කියයි .යහපත් ක්‍රියාව විවේචනය කරයි. අයහපත් ක්‍රියාව අනුමත කරයි.

අපායසහායක – පාපයෙහි යෙදීමට මිතුරුකම් දක්වන පුද්ගලයා. මත්පැන් පානයට, සූදු කෙළියට අවේලාවේ වීදි සංචාරයට කතා කරයි.

කලණ මිතුරන් සිවුදෙනෙකි උපකාරක මිත්‍රයා – තම මිත්‍රයා ආරක්ෂා කරයි. ඔහුගේ ධනය ආරක්ෂා කර දෙයි. සිය මිතුරාට බියක් ඇති වූ විට ඔහු ආරක්ෂා කරයි. අවශ්‍ය වූ විට දෙගුණයකින් වස්තුව දී ඔහුව ආරක්ෂා කරයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා – තම රහස් සිය මිතුරාට කියන අතර මිතුරාගේ රහස් කිසිම විදිහකින් අන් කිසිවකුටත් හෙළි නොකරයි. සිය මිතුරාට විපතක් වූ විට ඔහු අත් නොහරින අතර, මිතුරාගේ යහපතට තම ජීවිතය වුවත් පිදීමට කැමැත්තෙකි.

අත්ථක්ඛායි මිත්‍රයා – මේ මිත්‍රයන් හතර දෙනා අතරින් ඉතාම හොඳ මිත්‍රයායි. ඔහු හැම විටම තම මිත්‍රයා පවින් වළකාලයි. මිත්‍රයා යහපතෙහි යෙදවීම ඔහුගේ අරමුණයි. නොඇසූ යහපත් දේ ඇසීමට සලස්වයි. දෙව්ලොවට මඟ කියා දී සතුටු වෙයි.

අනුකම්පක මිත්‍රයා – තම මිත්‍රයාගේ පිරිහීමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිත්‍රයා පිළිබඳ නුගුණ කියන්නවුන් එයින් වළකන අතර, ඔහුගේ ගුණ කියන්නවුනට ප්‍රශංසා කරයි.

අප නරක පුද්ගලයන්ගේ ඇසුරට පත්වුණොත් වැරැදි ක්‍රියා කරන්නට පෙළඹේ. බුදුරජාණන් වහන්සේ සත්තිගුම්බ ජාතකයේදී ගිරා පෝතකයන් දෙදෙනා උපමා කොට සංවර්ධිත පෞරුෂයකට මෙන්ම අසංවර්ධිත පෞරුෂයකට ආශ්‍රය බලපාන අයුරු දේශනා කළහ. හිත මිතුරු සංස්ථාවේ දී අප සිතැඟි පරිදි ආශ්‍රය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන ලද්දේ ආශ්‍රය සඳහා සුදුසු උසස් හෝ සමාන ගුණ ඇති මිතුරකු නොවේ නම් අනුවණ මිතුරන් ආශ්‍රය නොකොට හුදකලාව විසීම වඩාත් උතුම් බවයි. එය ධම්මපදයේ මෙසේ දක්වා ඇත.

චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ’හං කයිරා
නත්ථි බාලේ සහායතා

එක් අවස්ථාවක දී ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්, බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ, මේ ශාසනයෙහි හරි අඩක් පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත නොවේද? යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ හරි අඩක් නොව ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මත බව ය.

ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

නිධිනංච පවත්තාරං
යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං
තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස
සෙය්‍යො හොතින පාපියො

යමෙක් නිධානයක් දක්වන්නකු මෙන් කෙනෙකුගේ ඇති වරද දකියි ද,එයට තරවටු කොට අවවාද කරයි ද, එබඳු වූ බුද්ධිමත් පඬුවකු සේවනය කළ යුතු ය. එබඳු කෙනෙකු ඇසුරු කරන්නාට වැඩක්ම වේ. අවැඩක් නොවේ.

යහපත් මිතුරන් ආශ්‍රය කිරීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳ මිත්තානිසංස සූත්‍රයේ දී දීර්ඝව විස්තර වේ. යමෙක් මිත්‍රද්‍රෝහී නොවන්නේ නම්, ඔහු නිවසින් බැහැර ව ගිය ද හොඳින් අනුභව කරයි. ඔහු නිසා ජීවත් වන්නෝ බොහෝ වෙති. ගරු සැලකිලිවලට පාත්‍රවෙයි. සොරුන්ගෙන් රජුන්ගෙන් කරදර නොවේ. සතුරන් ජය ගනියි.

සතුටු මුහුණින් නිවසට එයි. සභාවෙහි දී පී‍්‍රතිමත් වෙයි. ඥාතීන් අතර උතුම් වේ. අන්‍යයන්ට ගරු කොට තමා ද බුහුමන් ලබයි. කීර්තිය පැතිරෙයි. යසසට හා ප්‍රසිද්ධියට පත්වේ. ගින්නක් මෙන් බබළයි. දෙවියකු මෙන් ප්‍රභා සම්පන්න වෙයි. සෞභාග්‍යයෙහි අඩුවක් නොවේ. මෙම ආනිසංස ලැබීම සඳහා අප නිරන්තරයෙන් මිත්‍රත්වය අගය කරමින් ක්‍රියා කළ යුතුය.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]