UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 100: කේශ ධාතුන් වහන්සේ නිධන් කළ ස්වෙදගොන් මහා දාගැබ

බුදුපිළිමයේ උපත - 100:

කේශ ධාතුන් වහන්සේ නිධන් කළ ස්වෙදගොන් මහා දාගැබ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

" තපස්සු, භල්ලික යන දෙදෙනාගේ නමින් හැඳින්වුණු එසේ නැතහොත් ඒ දෙදෙනාගේ නායකත්වය යටතේ කිසියම් වෙළෙඳ ගණයක් (සමාගමක්) මගින් මෙම චෛත්‍යය (ගිරිහඩු දා ගැබ) ඉදිකරවනු ලැබ ඇති බව ද එහි ඇති සංස්කෘත ශිලා ලිපියෙන් හෙළි වේ. ත්‍රපුෂ හා භල්ලික (පාලියෙන් තපස්සු භල්ලුක) යන දෙදෙනා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එළඹුණු පසු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථම දානය පුජා කළ අය බවත්, වැඳුම් පිදුම් කිරීම සඳහා උන්වහන්සේ ඔවුන්ට කේශ ධාතු කීපයක් දුන් බවත් බෞද්ධ පත පොතෙහි සඳහන් වේ. පූජාවලියෙහි ද මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ."

රැන්ගුන් නුවර ස්වෙදගොන් චෛත්‍යය බුරුම (මෙකල මියන්මාර්) බෞද්ධයන්ගේ විශේෂ ශ්‍රද්ධාව දිනාගෙන ඇත්තේ මෙවැනිම හේතුවක් නිසා ය. වර්තමානයේ අවකානයේ බල්ක් සහ බාමියන් යන ස්ථාන අතර පිහිටි ස්තුපයක් ත්‍රපුෂ සහ භල්ලික යන දෙදෙනා ධාතු නිධන් කිරීම සඳහා සාදවන ලද්දක් බව එම ප්‍රදේශයේ බෞද්ධයන් සැලකූ බව හියුංෂාං චීන භික්ෂූන් වහන්සේගේ විස්තරවල සඳහන් වේ.

(පුරාවිදු පර්යේෂණ – මහාචාර්ය සෙනරත් පරණවිතාන) පි. 207 – 208 – 2001

ලොව බෞද්ධ ස්තූප පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කළ පූජ්‍ය තිරණාගම රතනසාර හිමියෝ මියන්මාරයේ ස්වෙදගොන් දා ගැබෙහි නිධන් කරන ලද කේශධාතූන් වහන්සේ ගැන මෙසේ සඳහන් කරති. ‘රැන්ගුන් නගරයෙහි වූ ලෝක ප්‍රසිද්ධ මහා රන්දාගැබ’ ස්වෙදගොන් යන නාමයෙන් හඳුන්වයි. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉන්දියාවේ සිට නැවකින් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතුන් රැගෙනවිත් මෙහි තැන්පත් කළ කල්හි ‘ඔක්කාලාප’ රජු සක්දෙව් රජුගේ ද උදව් ඇතිව ඩාගන් නම් ස්තූපය කරවූ හ. පුරාණ කාලයෙහි ‘ඩාගන්’ නමින් හැඳින් වූ ස්ථානය අද ස්වෙදගොන් නමින් හඳුන්වනු ලැබේ. රැන්ගුන් ස්වෙදගොන් මහා ස්තූපය බුරුම රටවාසීන්ගේ හදවතට සමාන ය. එම ස්තූපයේ ආරම්භය ජනප්‍රවාද අනුව බුද්ධ කාලයට අයත් ය.

එහෙත් බුරුම ඉතිහාසයෙහි සඳහන් වන ලෙසට නම් මෙසේ ය. ක්‍රි.ව. 1372 දී ‘බියන් න්‍යාඌ’ රජතුමා මෙය ප්‍රතිසංස්කරණය කරවූයේ ය. ක්‍රි.ව. 1455 – 62 කාලයේ දී ‘ෂන්ස් වෝබු’ මහේෂිකාව ඇයගේ ශරීරයේ බර ප්‍රමාණයට රන්පත් පිළියෙල කරවා ස්තූපයේ මුල පටන් අග දක්වා අලවා පුද පූජා පැවැත්වූවා ය. ක්‍රි.ව. 1774 දී සිං බ්‍යුෂිං රජතුමා ඔහුගේ බර ප්‍රමාණයට රනින් සෑදූ ඡත්‍රාවලියක් ඔටුන්නක් ලෙස ස්තූපය මුදුණේ තැන්පත් කර තිබේ. ක්‍රි.ව. 1778 සිංගු රජතුමා නැවතත් මේ ස්තූපයෙහි රන් තහඩු ඇළවූයේ ය.

ස්වෙදගොන් දාගැබේ මුල වට ප්‍රමාණය අඩි 1420 කි. ඝණ්ඨාකාර ස්තූප ගර්භයේ වටය අඩි 443 කි. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් සිහින් ව උස් වූ ඡත්‍රාවලිය අඩි 173 අඟල් 4 කි. ස්වෙදගොන් ස්තූපයේ සම්පූර්ණ උස අඩි 326 කි. මේ ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතු නිධන් කර ඇතැයි 1948 අගෝස්තු මස 22 දා බුරුම ආණ්ඩුවේ ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වේ. ගුවනින් ගමන් කරන විට රැන්ගුන් නගරයේ ස්වර්ණාලෝකය විහිදෙන්නේ මේ ස්තූපයේ දීප්තිය නිසයි.

බෞද්ධ ස්තූප – ආසියාවේ බෞද්ධ කලා - අංක 14

පූජ්‍ය තිරණාගම රතනසාර නා හිමි. – පි. 77 - 1967

සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක විද්වතාණන් විසින් මියන්මාර් සහ ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා අගනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇත. එම ග්‍රන්ථයෙහි ස්වෙදගොන් දාගැබ හා සම්බන්ධ වූ ජනප්‍රවාද මෙන්ම ඉතිහාසය ද සවිස්තර ලෙසින් ආශි‍්‍රත ග්‍රන්ථ රාශියක් ද උපයෝගී කර ගෙන ලියා ඇත.

Sacred Lands and Sacred Paths Studies in Sri lanka - Myanmar Relations  යනුවෙන් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.

එහි ස්වෙදගොන් දාගැබෙහි ආරම්භක රජු ලෙස Okkalapa (ඔක්කලාප) පිළිබඳ ජනප්‍රවාද හා ඒ ආශි‍්‍රත තොරතුරු සඳහන් වේ. එමෙන්ම තපස්සු හා භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් ගෙන එන ලද බුදුරජාණන් වහන්සේගේ කේශධාතු පිළිබඳව ද ඒ වෙළෙඳ දෙබෑයන් මියන්මාර්, සිංහල, හා පාලි ග්‍රන්ථවල තොරතුරු ද ඊට ඇතුළත් කර තිබේ. ඒ බුද්ධ කාලයේ සාදන ලද දා ගැබකි.

“ස්වෙදගොන් (පැගොඩා) ස්තූපයේ සර්වඥ කේශ ධාතූන්වහන්සේලා නිදන් කිරිම ගැන සඳහන්වේ. මේ පිළිබඳ විස්තර මියන්මාරයේ ශිලා ලේඛන තුනක ම සඳහන් වේ. තපස්සු භල්ලුක සහෝදරයින් දෙදෙනා රාමඤ්ඤදේශයේ අසිතන්ජන පළාතේ පොක්කරවති නගරයේ සිට වෙළෙඳාමේ ගියෝ ය. ඔවුන් වෙළෙඳාම සඳහා ගියේ මජ්ජිම දේශයට ය. එකල බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා සත්වැනි සතියේ දී ඒ සහෝදරයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමු වූහ. කරත්ත පන්සියයක් රැගෙන මෙම වෙළෙඳ කණ්ඩායම ගියහ.

මෙම කරත්ත ඉදිරියට යෑමට අපහසුතාවයක් වූයේ ය. ඒ මාර්ගය අසල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දැක කිරිබත් සහ පැණි පූජා කළේ වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේට ය. බුදුරජාණන් වහන්සේ එම දානය පිළිගත් සේක. ඉන්පසු ඒ දෙදෙනා බුද්ධ හා ධම්ම යන රත්නයන් දෙක සරණ ගිය ද්වේවාචික උපාසකවරු වූහ. (සංඝයාවහන්සේලා ඒ වන විට නොසිටි හෙයිනි) ඉන්පසු වෙළෙඳ දෙබෑයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ශීර්ෂය පිරිමැද කේශධාතු අටක් දුන් සේක. මෙම කරත්ත 500 යෙහි රැගෙන ආ භාණ්ඩ හමුවන හැම දෙනාටම නොමිලයේ බෙදා දුන්හ. කේශධාතූන් වහන්සේලා රැගෙන එන අතරේ සක් දෙවියන් විසින් රත්රන් නැවක් මවා මුහුද මගින් ඔවුන්ගේ ගමට යෑමට සැලැස්වී ය. පොක්කරවති නගරයට කේශ ධාතුන් වහන්සේලා රැගෙන ආ වෙළෙඳ දෙබෑයන් නගරයේ දොරටුව අසල නැවැත්වූයේ ඔක්කලාප රජුගේ නියෝගය මත ය. සිංගුත්තර කන්දෙහි එම කේශධාතූන් වහන්සේලා නිධන් කරන ලදී. ඒ දාගැබ ස්වෙදගොන් නම් විය. මෙම වෙළෙඳ දෙබෑයින් මියන්මාර් පුරවැසියන් ලෙසින් සැළකේ.

Sacred Lands and Sacred Paths Studies in Sri lanka – myanmar Relations Prof J. B. Disanayaka, P 60 – 61 - Sampodhi publication - 2017 )


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 99: බුදුරජාණන් වහන්සේගේ අකුධාතූන් වහන්සේ නිධන් කර සෑදූ අනුරාධපුරයේ ථූපාරාමය

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]