පරිසරයට අනුව හැසිරීම සැනසුමට මගයි
රාජකීය
පණ්ඩිත
පයාගල නන්ද හිමි
පුණ්ණ තෙරුන් වහන්සේ විවේකීව බවුන් වැඩීමට සුනාපරන්තයට යෑමට භාග්‍යවතුන් වහන්සේගෙන්
අවසර ඉල්ලූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සහ පුණ්ණ තෙරුන් වහන්සේ අතර ඇති වූ සංවාදයයි
මේ.
බුදුරජාණන් වහන්සේ- ‘පුණ්ණ, සුනාපරන්තයේ මිනිසුන් නපුරු කෲර අයනේද? ඔවුන් ඔබට අපහාස
කරාවි නේද?
ස්වාමීන් වහන්ස- ඔවුන් අපහාස කළත් මට පහරදීමක් නොකරන නිසා මම ඔවුන් ගැන සතුටුවෙමි.
‘ඉදින් පහර දුන්නේ නම්?’
‘පහර දුන්නත් දඬු මුගුරුවලින් මට තලා පෙළා හිරිහැර නො කරන නිසා මම ඔවුන් ගැන අහිතක්
නොසිතමි.’
ඔවුන් ඔබට දඬු මුගුරුවලින් පහර දුනහොත් කුමක් කරන්නේ ද?
“එසේ නම් ස්වාමිනී ඔවුන් මට අවි ආයුධවලින් පීඩාවට පත් කරන්න තරම් දරුණු නොවීම ගැන
සිතා සැනසෙමි.
අවි ආයුධවලින් හිරිහැර කළත් ජීවිතය තොර නොකරයි නම් මට ඉවසිය හැකියි.
එසේ නොවෙයි පුණ්ණ, ඔවුන් ඔබේ ජීවිතය තොර කළේ නම්?
එහෙමයි ස්වාමීන්වහන්ස, මේ සසර ගැන කළකිරුණු ඇතැම් අය සිය දිවි හානි කරගනිති. එසේ
නම් ඔවුන් මා දිවි තොර කිරීම නිසා මට එවැන්නක් කරගතයුතුු නැත. එහෙයින් ස්වාමිනි, මම
සුනාපරන්ත වැසියන් ගැන අනුකම්පා කරමි.
සමහරවිට මේ සංවාදය ඔබට හුරු පුරුදු විය හැකි ය. ඒ තරම් ගතයුතු දෙයක් එහි නැතැයි
සිතීමට ද පිළිවන. ගැඹුරින් සිතා බලන විට එයින් දෙන පණිවුඩය බෙහෙවින් අර්ථවත් ය.
සමාජයේ බොහෝ දෙනා අතර ගැටුම් ඇතිවන අවස්ථා ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් කවර සමාජ
පරිසරයක දී වුවද සතුටින්, සහයෝගයෙන් , සුහදත්වයෙන් ජීවත්වීමට බුදු දහමේ ඉගැන්වීම්
උපකාර කර ගත හැක.
“මහණෙනි, අදහස් සමාන වීමෙන් සත්ත්වයෝ ඔවුනොවුන් සැසඳෙති.”
සමාන අදහස් ඇති අය හැමවිටම අපට නොලැබේ. එහෙයින් විසම අදහස් ඇති අය සමග වුව ද,
පහසුවෙන් ජීවත් වීමට උපකාරි වන උපදෙස් පිළිපැදිය යුතුයි. මෙහි සඳහන් පුණ්ණ තෙරුන්ගේ
පිළිවෙත “ඉවසීම” ලෙස කෙනෙකු අර්ථ දැක්වීමට පිළිවන. ඉවසීම වුව ද, සමාජයේ ඇතැම්හු
කපටිකමක් ලෙස එහෙමත් නැතිනම් මෝඩකමක් ලෙස දකිති. එහෙයින් උන්වහන්සේ අනුගමනය කළ
පිළිවෙත තැනට සුදුසු ලෙස හැසිරීමයි. අවස්ථාවට, තැනට, පුද්ගලයාට ගැළපෙන ලෙස
හැසිරෙතොත් ඔහුට සැනසීම ලැබිය හැකියි.” යන්න බුදුදහමේ ඉගැන්වෙන උපදේශයකි.
මේ සදුපදේශය කාර්ය බහුල මිනිසුන් වෙසෙන වර්තමාන සමාජයට වඩාත් වැදගත් වන්නේ ඔවුන්ට
යමක් සිතීමට තරම් ඉස්පාසුවක් නැති බැවිනි. ඔවුහු නොගැළපෙන යමක් ඇසූ දුටු විගසම
භාවයන් කුපිත වී ආවේගාත්මක ස්වරූපයෙන් හැසිරෙති. බුද්ධිය යටපත් වී හැඟීම් ඉස්මතු වූ
වෙලාවක උගත් පාඩම් කිසිවක් සිහියට නො එයි. ස්වරූපය වෙනස් වෙයි. කටට ආ දෙයක් දොඩවයි.
එහෙට මෙහෙට කලබලෙන් දුවයි. අතට හසු වූ දෙයින් දමා ගසයි. ආවේගාත්මකව හැසුරුණු
තැනැත්තා තම සිතේ ඇති වූ කඩතොලු තුවාල දෙස බලමින් පසු තැවෙයි. එහෙයින් අප බුදු
හිමියන්ගේ දෙසුමට සවන්දිය යුතු යි.
මේ උපකල්පනය තුළින් දහම් කරුණු වටහා ගන්න.
එකම කන්තෝරුවේ වැඩ කරන මිතුරන් දෙදෙනෙක් දිනපතාම අවන්හලේ දී උදෑසන ආහාර වේල ගැනීමට
පුරුදුව සිටියහ. එදින ද සුහදව එක් වී සල්ලාපයේ යෙදී සිටිය දී එක් අයෙකුගේ අදහසට
අනෙකා එකඟ නොවී ය. එක් අයෙකු තම මතය සනාථ කරන්නට කරුණු ගෙනහැර දක්වන විට අනෙක්
තැනැත්තා තම මතය ඉස්මතු කිරීමට වෑයම් කළේ ය.
සුහදව එක් වූ දෙදෙනා වෙන්ව යන්නේ බිඳුණු සිතිනි. මෙයින් පසු ඔවුන් යළි එකට අවන්හලේ
දී හමු නොවනු ඇත. වරද කොතැන ද? කතා කිරීමේ කලාව නොදැනීමේ වරදයි. විනයවාදී බව කතාවේ
තිබිය යුතු ගුණාංගයක් ලෙස දැක්වේ. හික්මීමෙන් යුතුව සංවරව කල්පනාකාරීව වචන කතා කළ
යුතු ය. අනෙක් අතට කතාවේ සීමාවද දැන ගත යුතු ය. සීමාව දැන වචන කතා කිරීම ද වාග්
සංවරකමේ ලක්ෂණයකි. වාග් සංවර කමින් තොරව කටයුතු කිරීමෙන් සමහරවිට ඔවුනොවුන්
වර්ගවීම, නැතිනම් කල්ලි ගැහෙන්නට ද පිළිවන. ආයතනයක සුහද පැවැත්මට කල්ලි ගැසීම, වර්ග
බෙදීම බාධාවකි. භාග්‍යවතුන් වහන්සේ මුසාවාදයේ අතුරු ආදීනවයක් ලෙස (වග්ග වාදි)
වර්ගවීමට කතා කරන, (වග්ග නන්දි) වර්ගවීමට කැමැති, (වගී කරණං වාචං භාසිතා) එසේ
වර්ගවීමට වචන කතා කිරීම නොකළ යුතු බව වදාළහ.
යුග ජීවිත සතුටින් සොම්නසින් පවත්වාගෙන යෑමට ද තැනට සුදුසු හැසිරීම, වචන භාවිතය
ඉවහල් වෙයි. සුනාපරන්තයට වැඩිය පුණ්ණ හිමියන්ට සැවැත්නුවර වසන ජනතාවට වඩා හාත්පසින්
චරිත ලක්ෂණ ඇති අය හමු විය හැක. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ අදහස් රුචි අරුචිකම්වලට
එක්වරම විරුද්ධ නොවී උපායෙන් ඔවුන් ඇසුරු කිරීමට දක්ෂ වූහ.
වර්තමානයේ විවාහවන තරුණ දියණියකට තම මවුපිය සෙවනින් බැහැර වී අලුත් පරිසරයකට හැඩ
ගැසීමට සිදුවෙයි. තම මවට වඩා වෙනස් හැසිරීම් රටාවක් අලුතින් මුණ ගැහුණ මව තුළ තිබිය
හැක. ඒ චරිත ලක්ෂණ වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඇයට ඥාතීන් අතර සුහද බව රැක ගත
හැක. එහෙයින් පරිසරය කටුක එකක් කර ගනිමින් අසහනකාරීව ජීවත්වන අයෙකුට අකුසල් මිස
කුසල් රැස්වීමක් නොවේ. පතිරූප දේස වාසයක ජීවත්වීම යනු තම හාත්පස නෑ සියන් හිතවතුන්
අතරින් සිත කණස්සලුවීමට හේතු නොවන පරිසරයක ජිවත්වීමයි. දස අකුසල්වල විපාක දැක්වීමේ
දී හැම ශික්ෂාපදයක් සමගම ඒ සිදු කිරීමෙන් ලැබෙන විපාක ද, දුගතිගාමීවීම බව දැක්වේ.
මිනිස් ජීවිතයක් නැති කිරීමත්, වැඩකට නැති බස් දෙඩීමත් අතර ඇති වරදෙහි දරුණුකම එක
සමාන නොවේ. මනුෂ්‍ය ඝාතනය නීතිය අතින් බැලුවත්, ආචාර විද්‍යාත්මකව බැලුවත්, බරපතලම
වරදකි. එහෙත් ඇබ්බැහිකම නිසා හෝ කෙනෙකු තැන නොතැන නොබලා දොඩමළුවීම අහිංසක වරදකි.
එහෙත් ගැඹුරින් ඒ ශික්ෂාපදය ගැන විමසා බලන විට එයින් සිදුවන සමාජීය හානිය දෙස බලන
විට දුගතිගාමී බව එහි විපාකය ලෙස දැක්වීම සාධාරණ ය.
එහෙයින් හිස් බස් නැතහොත් සම්පප්ඵලාප දෙඩීම යනු අසන්නාට ප්‍රයෝජනයක් නැති දේ තෙපළීම
පමණක් නොවේ. වචන භාවිතයේ දී සුදුසු කාලය දත යුතු ය. දැහැමි දෙයක් විය යුතු ය.
හික්මීමෙන් වදන් තෙපළිය යුතු ය. සත්‍ය වචනය කතා කළත් එය මෛත්‍රී සහගතවම කළ යුතු යි.
පරිසරයට අවස්ථාවට සුදුසු පරිදි හැඩ ගැසීමට වාග් සංවරය පුරුදු කරන්න. |