දිවා රැය පින් වැඩෙන පින් අනුමෝදන් කිරීම හා පින් අනුමෝදන් වීම
සතුටු සිතින් කළ යුතු ය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි සේරිණී නම් එක්තරා ප්‍රේතියක්
අමතා මෙම පේත කථාව දේශනා කරන ලදි. කුරුරට හත්ථිනි පුරයෙහි සේරිණී නම් වෙසඟනක් වාසය
කළා ය. එකල භික්ෂූන් වහන්සේලා උපෝසථ කර්මය සඳහා කලින් කලට හත්ථිනා පුරයෙහි වූ
උපෝසථාගාරයට වැඩම කරති.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංඝ සම්මේලනයක්
පැවැත්වුණි. ඒ ගැන දැනගත් නගර වාසීහූ ඉමහත් ප්‍රීතියෙන් දානෝපකරණ විශාල ප්‍රමාණයක්
රැස්කොට එහි වැඩම කළ භික්ෂූන් වහන්සේලාට මහා දානයක් පැවැත් වූහ. සේරිණී නම් වෙසඟන
ශ්‍රද්ධාවෙන් තොර වූ මසුරු තැනැත්තියක් වූ හෙයින් නගර වාසීන් විසින් පවත්වනු ලැබූ
දානමය පින්කමට ආධාර කිරීම හෝ සහභාගි වීම ප්‍රතික්ෂේප කළා ය. දානමය පින්කම සිදුකළ
නගර වාසීන් ඇය වෙත ගොස් තමන් කළ දානමය පින්කම අනුමෝදන්වන ලෙස දැන්වී ය. මසුරු සිත්
ඇති වෙසඟන එය ද ප්‍රතික්ෂේප කරමින් දානයට ද ප්‍රතිග්‍රාහකයන්ටද ගැරහුවා ය. සේරිණි
වෙසඟන පසු කලෙක මිය පරලොව ගොස් එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක අගලක් මත්තෙහි ප්‍රේතියක්
ව උපන්නා ය. තමා කළ පාපයට අනුරූපි විපාක වශයෙන් නිරුවත්ව කෘශ ශරිරයෙන් යුක්තව මස්
ලේ නොමැති හෙයින් ඉල්පී ගිය නහර වැල් ඇතිව විරූපී තැනැත්තියක් වූවාය. එක් දිනක්
හස්ථිනි පුර වාසී වෙළෙන්ඳෙක් වෙළෙදාම් පිණිස ප්‍රත්‍යන්ත ප්‍රදේශයකට ගොස් ආපසු එන
ගමනේ තම වාස භූමියට ළඟා වීමට කල් වේලා නොමැති හෙයින් අගල අසල තැනක නවාතැන් ගත්තේ ය.
ඔහු අළුයම් වේලෙහි ශාරීරික අවශ්‍යතාවක් සඳහා අගලට ගියේ ය. එහි සිටි සේරිණි ප්‍රේතිය
පෙර ආත්මයේ තමා උපන් නගරයෙන් පැමිණි වෙළෙන්දා හඳුනාගත් අතර ඔහු ඉදිරියේ පෙනී සිටියා
ය. නග්න කෘශ ශරීරයක් සහිත විරූපී ප්‍රේතිය දුටු වෙළෙන්දා ඇය කවරෙක්දැයි විමසීය.
ප්‍රේතිය තමන් පිළිබඳ සියලු දෑ හෙළිකළා ය. අනතුරුව හත්ථිනි පුරයෙහි වෙසෙන තම
මෑණියන් වෙත ගොස් සියලු පවත් දන්වා තමා වෙනුවෙන් දනක් පුදා එම පුණ්‍යමය දක්‍ෂිණාව
තමන්ට අනුමෝදන් කරවන මෙන් ඉල්ලා සිටියා ය. තමා වෙසඟනක් ව වෙසෙන සමයෙහි මසුරු කමින්
උපයන ලද විශාල ධනයක් තමන් නිදාගත් යහන යට තිබෙන බවත්, ඒ සියල්ල ගෙන එයින් කොටසක්
වැයකොට තමා වෙනුවෙන් පින් කරන ලෙසත් සෙසු කොටස් වැය කොට මෑණියන්ට සුවසේ ජීවත් වන
ලෙසත් දන්වන්නැයි වෙළෙන්දාගෙන් තවදුරටත් ඉල්ලා සිටියා ය. ඉක්බිති වෙළෙන් දා ද තම
කටයුතු නිමාකොට හත්ථිනි පුරයට ගොස් වෙසඟනගේ මෑණියන් බැහැදැක සියල්ල පවසා ප්‍රේතිය
කියු පරිද්දෙන් ධනය වැයකොට දනක් දී පින් අනුමෝදන් කරවන මෙන් දන්වා සිටියේ ය.
ප්‍රේතියගේ මව ඒ සියල්ල අසා ඇය වෙනුවෙන් භික්ෂු සංඝයාට දන් පිළිගන්වා එම දක්‍ෂිණාව
තම දියණියට අනුමෝදන් කළා ය. පින් අනුමෝදන් වූ ප්‍රේතිය දුකින් නිදහස් වී මව ඉදිරියේ
පෙනී සිටියා ය. මව එම පුවත භික්ෂූන් වහන්සේලාට දැන් වූ අතර උන්වහන්සේලා එය
බුදුරදුන්ට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ එම පුවත පදනම් කරගෙන රැස් වූ පිරිසට දහම්
දෙසූහ.
පිනට ගැරහීමේ දරුණු විපාක මෙම පේත කථාවෙන් ප්‍රකට වේ. දාන, ශීල, භාවනා, පින්දීම
(පත්තිදාන) , පින් අනුමෝදන් වීම (පත්තානුමොදනා) , බණ කීම, බණ ඇසීම, පිදියයුත්තන්
පිදීම (අපචායන), වතාවත් කිරීම (වෙය්‍යාවච්ච) දිට්ඨිජුකම්ම යනුවෙන් විශේෂ පින්කම්
දහයකි. මෙම කථාවෙහි එන නගරවාසීන් එම පුණ්‍ය කර්ම දහයට අයත් බොහෝ පින්කම් එක්වර
සිදුකරගෙන තිබේ. ඒ අනුව ඔවුහු දානමය පුණ්‍ය කර්මය සමඟ පිදිය යුත්තන් පිදීමත්,
වතාවත් කිරීමත්, පින් දීම හා පින් අනුමෝදන් කිරීමත් සිදුකර ඇත. දන් වැළඳු භික්ෂූන්
විසින් ඔවුන්ට ධර්මය දේශනා කරන්නට ඇත. එම දේශනයට සවන් යොමුකිරීමෙන් ධර්මශ්‍රවණමය
පිනත් සිදුකර ගන්නට ඇත. සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කළ නගරවාසීන් කර්මය හා
කර්මඵලය දැඩිලෙස විශ්වාස කළ පිරිසකි. එනිසා ඔවුන් එක්ව දානමය පුණ්‍ය කර්මයක නිරත
විය. මෙයින් දිට්ඨිජුකම්ම පුණ්‍ය ක්‍රියාව අර්ථවත් වී තිබේ.
පින් අනුමෝදන් කිරීම මෙන්ම අනුමෝදන් වීමත් සත් පුරුෂ ධර්මයකි. එහෙත් ඇතැමුන් අතර
පුණ්‍ය කර්ම සිදුනොකරන, එසේම අන් අය කළ පින්කම අනුමෝදන් වීමට තරම් පිරිසුදු සිතක්
නොමැති අය ද වෙති. නගරවාසීහු තමන් කළ පුණ්‍ය කර්මය අන් අය හා බෙදා ගැනීමට කැමැත්තක්
දැක්වූ හෙයින් දානය සඳහා කිසිත් සහයෝගයක් ලබා නොදුන් වෙසඟන වෙත ගොස් එය අනුමෝදන්වන
ලෙස දන්වා සිටියහ. එහෙත් පරිත්‍යාගයට අකැමැති වෙසඟන පින් අනුමෝදන් වීම තබා ඔවුන් කළ
දානයටත් ප්‍රතිග්‍රාහකයන්ටත් ගැරහුවා ය. පිරිසුදු සිතින් අන් අය කළ පින අනුමෝදන්වීම
අතිශය දුෂ්කර කටයුත්තකි. අන් අය කළ යහපත් දේ සතුටු සිතින් අනුමෝදන් වීමත්
අන්‍යයන්ගේ දියුණුව දැක සතුටට පත්වීමේ මුදිතා ගුණයත් පුහුදුන් මිනිසා තුළ දක්නට
ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් ය. තමාගේ දියුණුව පමණක් ප්‍රාර්ථනා කිරීම ඔහුගේ සහජ
ස්වභාවයයි. එය සාධාරණ හෝ අසාධාරණ ආකාරයෙන් වුව ඉටුකරගනී. මේ පසුබිම යටතේ අන්‍යන් කළ
පින්කමක් දැක එය සතුටු සිතින් අනුමෝදන් වීම පහසු කටයුත්තක් නොවේ. එය අපහසුවෙන්
ජයගත් තැනැත්තාට ලැබෙන ප්‍රතිලාභය ද විශිෂ්ට ය.
අංගුත්තර නිකායේ කාලදාන සූත්‍රයේ දැක්වෙන පරිදි යම් කෙනෙක් තමන් දන් නොදී අන්‍යන්
කළ දානය අනුමෝදන් වීම පමණක් කරත් ද තවත් අයෙක් දන් දෙන තැනට ගොස් වතාවත් කරන්නේ ද ඒ
දෙදෙනාටම දන් දුන් තැනැත්තාට හා සමානවම පින් ලැබේ. ඒ අනුව අන්‍යයන් කළ පින්කම
පිරිසුදු සිතින් අනුමෝදන් වීමෙන් වුව ද කෙනෙකුට පින් රැස්කරගත හැකි වේ. දොළොස්
පින්කම් ගැන විස්තර කරන සද්ධම්මෝපායනයෙහි පින් අනුමෝදන් වීමෙන් ලැබෙන ආනිසංස රැසක්
ඇතුළත් වේ. ඒ අනුව ඊර්ෂ්‍යාව ද, ද්වේෂය ද, මසුරුකම ද දුරලා පින් අනුමෝදන්වන
තැනැත්තා තේජසින් ද, රූමත් බවින් ද, වස්තු සම්පත්තියෙන් ද, ප්‍රීතියෙන් ද,
දීර්ඝායුෂ සම්පත්තියෙන් ද ආඪ්‍ය වූවෙක් බවට පත් වේ. සන්තානගත ඊර්ෂ්‍යාව ආදී කෙලෙස්
දුර්වලතා බැහැර කොට අවංක සිතින් පින් අනුමෝදන් වන තැනැත්තාට ලැබෙන ප්‍රතිලාභ කොතරම්
විශිෂ්ට ද යන්න මෙයින් පැහැදිලි වේ. අනේපිඬු සිටුවරයා විසින් විශාල ධන සම්පතක් වැය
කොට කළ ජේතවන පූජාව දෙස බලා විශිෂ්ට පරිත්‍යාගයකැයි උද්ම් ඇනූ අන්ත දිළිඳු
පුද්ගලයෙකු ඔහුටත් වඩා ආනිසංස ලැබූ බව සද්ධම්මෝපායනයේ දැක්වේ..
- මුදල් නැතත් ශ්‍රමයටත් පින්
දානමය පුණ්‍ය කර්මයක දී කිසි මුදලක් වැය නොකොට ශ්‍රමයෙන් පමණක් දායක වීමෙන් ද බොහෝ
පින් රැස්කරගත හැකි ය. වෙය්‍යාවච්ච අපචායන යන පුණ්‍ය ක්‍රියා යටතේ එය සිදු වේ.
දානමය පින්කමක දී සිදුකෙරෙන වතාවත් අනුගමනය කිරීමෙන් හා එයට කායිකව සම්බන්ධ වීමෙන්
පින් රැස් වේ. එහෙත් බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ එවැනි අවස්ථා මඟහැර සිටීමට ය.
ඇතැම් විටෙක දන් දෙන පුද්ගලයාගේ ආරාධනය අනුව එම ස්ථානයට ගිය ද තමන් කිසිවක් නොකර
පසෙකට වී සිටීමට කැමැත්තක් දක්වයි. එසේ නැති නම් දානමය පින්කම අවසන් වූ පසුව ගොස්
දානය සඳහා පිළියෙල කළ ආහාර පාන සතුටින් භුක්ති විඳ ආපසු පැමිණෙති. බොහෝ නිවෙස්වල
පැවැත්වෙන ධර්ම දේශනා පින්කම්වලදී මෙම පුරුද්ද සුලභව දක්නට ලැබේ. දහම් ඇසීමට
පැමිණෙන්නැයි ආරාධනා කළත්, බොහෝ දෙනෙකු එයට සහභාගි වන්නේ බණ අවසන් වූ පසුව ය.
මෙවැනි අයහපත් පුරුදු පැරැණි බෞද්ධයන් තුළ නොතිබුණ බවට විවාදයක් නැත. ධර්මය දේශනා
කරන තැනක දී එයට සවන් නොදීමටත්, දානමය පින්කමක් පැවැත්වෙන තැනක දී එය මඟහැර
සිටීමටත් තරම් අකැමැත්තක් ඇතැම් බෞද්ධයන් තුළ වර්ධනය වීම අනුමත කළ නොහැකි ය. මේ
පිළිබඳ ගිහි පැවිදි දෙපිරිස ම ගැඹුරින් අවධානයට ගත යුතු ය. පිනට ලැදි බෞද්ධ
ශ්‍රාවකයා තමන් කළ පින්කම අන් අය හා බෙදාගැනීමටත්, අන්‍යයන් කළ පින්කම සතුටු සිතින්
අනුමෝදන් වීමටත් කැමැත්තක් දක්වයි. එයින් ඔහුට දිවා රැය පින් වැඩෙයි. |