බක් අමාවක 2018.04.15
අනුන් දෙස නොබලා
යුතුකම් ඉටු කරමු
කලකට පෙර ජාත්‍යන්තර වශයෙන් සංගණන දෙකක් සිදු කෙරිණි. ඒ, ලොව සතුටින් ම දිවි ගෙවන
මිනිසුන් හා උගතුන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන රට පිළිබඳව ය. එහි දී උගතුන් ඉහළම
ප්‍රමාණයක් ඉන්නා රටවල් අතරින් මුළු ලෝකයෙන් ම දෙවැනි තැනට තේරුණේ අපේ රට ය. ඒ
භෞතික සැප සම්පතින් පිරුණු දියුණු යැයි සම්මත බොහෝ රට රාජ්‍ය අතරිනි. සමීක්ෂකයන්ට
ගැටලුවක් ඇති වුණි. ඒ භෞතිකව සංවර්ධිත ලෝකයේ ශ්‍රී ලංකාව වැනි ආසියාවේ කුඩා රටක් මේ
තරම් දියුණු වූයේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ දියුණුව පිටුපස රහසක් තිබුණේ ය. ඒ
අධ්‍යාපනය හා සමගාමීව මිනිසුන්ගේ හිත හදන වැඩ පිළිවෙළක් වන බවට ය.
අනාදිමත් කලක සිට උතුම් බෞද්ධ දර්ශනය අනුව යමින්, එහි ආභාෂය ලබමින් එම වැඩපිළිවෙළ
සාර්ථකව ක්‍රියාත්මක විය. එහි දී පවුලෙන් ඇරඹුණ මව්පිය – දූ දරු සම්බන්ධතාවයේ සිට
යුතුකම් වගකීම් මැනවින් හඳුනාගත්, ඔවුනොවුන්ට ගරු කළ සමාජයක දරුවන්ට ගුණ දහමින්
පෝෂිත හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට, ශිල්ප ලබා දෙන්නට තිබූ කැපවීම, උනන්දුව විශිෂ්ට
ය. එහෙත් දැන් දැන් නැණ පමණක් ඉතිරි වී ගුණ සෝදා පාළුවට යන බවට බොහෝ චෝදනා නැගෙන්නේ
දුලබ වූ සංවේදී මිනිසුන් අතර සුලබ වූ අසංවේදී මිනිසුන් වෙතින් බොහෝ අනර්ථය ද,
අකටයුතු ද හතු පිපෙන්නා සේ මතු වෙන්නට පටන්ගෙන ඇති නිසා ය. දැන් දැන් ම ඊට නිසි
පිළියම් නොකළේ නම්, නොසෙවුයේ නම් විය හැකි අනාගත විපත් බොහෝ මහත් ය.
භෞතිකත්වයේ ද, අධ්‍යාත්මික ගුණයන්ගේ ද සංකලනයෙන් විචිත්‍රවත් වන, අර්ථවත් වන, හිත්
අමනාපකම් අමතක කරන, නෑදෑකම් හිත මිතුරුකම් අලුත් කරන, අපේකම ඉස්මතු කරන උදා වූ
සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඒ උදාර වැඩපිළිවෙළට ජාතියක් ලෙස එක්වන්ව උර දෙන්නට
අපි අපි ම අධිෂ්ඨාන කර ගනිමු. අනුන්ට ඇඟිලි දිගු නොකර, අනුන් දෙස නොබලා තමන්ගේ
යුතුකම් අකුරට ඉටු කරන්නට ඒ කාර්යය භාරය ගෙදරින් අරඹමු.
ආගමික වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් වැඩිහිටියන්ට ගරු කරන්නට, බෙදා හදා ගන්නට,
මවුපිය උපස්ථානයට, සහෝදර සහෝදරියට සැලකීමට, අසල්වැසියන් සමඟ සුහදව ජීවත් වන්නට,
පොදුවේ මිනිසාට ගරුකරන්නට, ගහ කොළ සතා සිවුපාවුන් ඇතුළු කොට ඇති මේ මුළු මහත්
පරිසරයට ආදරය කරන්නට, එය සුරකින්නට අපේ සිත හදාගන්නා වැඩ පිළිවෙළකට, අපගේ ම
දරුවන්ගේ සිත හදන වැඩ පිළිවෙළකට ඇරඹුම තබමු.
අලුත් අවුරුද්දේ අලුත් වෙන්නට කැළි කසළ සෝදා හැර සුණු පිරියම් කර ගේ දොර පවිත්‍ර
කළා සේ, අප සිතෙහි කිළිටි ද සෝදා හරිමු. එමෙන් ම අප සිත කිළිටි කරන, ලෙඩ කරන, තරහව,
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී අපමණ වූ කිළිටි මෙත් සිතිවිල්ලෙන් සෝදා හරිමු. සිත ද
පිරියම් කර ගනිමු. ඒ මෙත් සිත මුළු වසර පුරාම, ජීවිත කාලය පුරා ම අපිරිසුදු වන්නට
නොදී රැක ගනිමු.
ගෙවුණු ජීවිත කාලය පුරා මොනතරම් යුතුකම් වගකීම් මග හැරෙන්නට ඇති ද? කොපමණ වැරැදි
අඩුපාඩුකම් සිදු වන්නට ඇති ද? අපමණ පව් සිදුවන්නට ඇතිද? සිත දවන තවන ඒ අතීතය
ආවර්ජනය වැළපීමට නොව පාඩම් ඉගෙන අනාගතය නිවැරැදි කරගන්නට අවියක් කර ගන්නට හැකිනම්
එය ම ජයග්‍රහණයකි. උදා වූ අලුත් අවුරුද්දේ අලුතෙන් සිතමු. තුනුරුවන් ගැන සිත පහදවා,
තෙරුවන් ම මුල් තැන තබමින් ආගමානුකූල ජීවිතයකට ඇරඹුම දෙමු.
අඳුරට යන්නට ඇවැසි නැත. ආලෝකය අප ඉදිරියේ ම ඇත. බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතික
දායාදයන් අපට උරුම ය. සදාචාරාත්මක පැවැතුම් හිමි ය. ඒ උරුමයන් රකිමින් පළමුව තමන්ට
තමන් පහනක් වන්නට අධිෂ්ඨාන කර ගනිමු. දෙවනුව එහි ආලෝකය අන්‍යයන්ට ද ලබා දෙමු. එවිට
වැඩි ම උගතුන් සිටිනා රට පමණක් නොව සතුටින් ම ජීවත්වන මිනිසුන් ඉන්නා රට ලෙස ද අංක
එකට තේරී පත්වන්නට අපට පුළුවන.
‘සන්තුට්ඨි පරමං ධනං’
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සතුට පරම ධනය වන බව ය.
|