තණ අග රැඳි පිනි බිඳුවකි ජීවිතය
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ දුතිය පණ්ණාසකයේ මහා වග්ගයට අයත් ‘අරක සූත්‍ර’
දේශනාව පෙර කලෙක පහළ වූ ‘අරක’ නම් ශාස්තෘවරයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම්
පෙළක් උපුටා දක්වමින් අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකොට වදාළ සූත්‍ර දේශනාවකි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ කලින් කලට පහළ වන සේක. එසේ පහළ වන්නා වූ
බුදුරජාණන් වහන්සේ මෝහය නිසා ලෝකය තුළ යටපත්ව ඇති පරමාර්ථ ධර්මය නැවත මතුකොට
ගනිමින්, සසර ගමනේ දුකින් පෙළෙන සියලු සත්ත්වයන් එම දුකින් නිදහස්වීමේ ආර්ය
අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය මුල්කොට ගත් ශ්‍රී
සද්ධර්මය දේශනා කරන සේක. ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේත් අප ගෞතම ලොව්තුරා බුදුරජාණන්
වහන්සේ සෙයින් ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මතුකොට දැක්වූ පරමාර්ථ ධර්ම කතාවත් මෙම
“අරක සූත්‍ර” දේශනාවෙන් අපට පැහැදිලි කොට ගත හැකියි.
අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ මේ ආකාරයෙන් විස්තර කර ගනිමු. එනම්,
මහණෙනි, පෙර සිදුවූවක් ඔබට කියන්නෙමි. කාමයන්ගෙන් මුළුමනින් බැහැරව වීතරාගී වූ
‘අරක’ නම් ශාස්තෘවරයෙක් පෙර කාලයක වැඩ සිටියා. එම ශාස්තෘවරයාණන් වහන්සේට සිය ගණනක්
ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සිටියා. ඒ ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට
මේ ලෙසින් ධර්මය දේශනා කළ සේක.
“අප්පකං බ්‍රාහ්මණා ජීවිතං මනුස්සානං
පරිත්තං ලහුකං බහුදුක්ඛං
බහුපායාසං මන්තාය බොද්ධබ්බං
කත්තබ්බං කුසලං චරිතබ්බං
බ්‍රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණන්ති”
බ්‍රාහ්මණයනි, ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කළ ආමන්ත්‍රණයයි. මනුස්සයන්ගේ ජීවිත කාලය
බොහෝම ස්වල්පයි. එය ඉතාම කෙටියි. ඒ ලෙස ම බොහෝ ම දුක්වලින් පිරී පවතිනවා. බොහෝ
උපායාස හෙවත් බලවත් සිත් තැවුල්වලට මුහුණපාන්නට වෙනවා. මේ නිසා සම්‍යයක් ප්‍රඥාවෙන්
ම ඒ ගැන දත යුතුයි. තේරුම්ගත යුතුයි. එය තේරුම්ගෙන අවබෝධ කොටගෙන කුසල් සිදු කරන්න.
බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුනු අයෙකුට නො මැරී සිටීමක් නම් නැත. ‘නත්ථි ජාතස්ස
අමරණං” යනුවෙන් සඳහන් කළේ ඒ අදහසයි.
මේ දහම් පෙළ කෙටියෙන් විස්තර කර ගනිමු. මනුෂ්‍යයන්ගේ ජීවිත කාලය බොහෝ ම කෙටියි.
අල්පයි. එයද දුක් කම්කටොළුවලින් පිරී පවතින්නේ. වර්තමාන කාලය තුළ සාමාන්‍යයෙන්
මනුෂ්‍යයෙකුගේ ආයු කාලය අවුරුදු සියයක් ලෙස අපි උපකල්පනය කරමු. ඉතා ම කලාතුරකින්
අයෙකුට අවුරුදු සියයකට වඩා තව දහයක්, පහළොවක්, විස්සක් පමණ කාලයක් ගත කළ හැකි වේවි.
නමුත් වැඩිම පිරිසක් අවුරුදු සියයට මෙහා පැත්තේ දී ජීවිතය අවසන් කරනවා. නමුත් අප
අමතක නොකටයුතු කරුණක් මෙහි පවතිනවා. එනම් සෑම කෙනෙකුට ම අවුරුදු සියයකට ආසන්න
කාලයක් ජීවත්වන්නට ලැබෙන්නෙ නැහැ. අප බොහෝ විට කතා කරනවා. අකාල මරණයක් කියා.
සම්මුතිය හැටියට කෙනෙක් අකාල මරණයක් යැයි සඳහන් කරන්නේ අවුරුදු අසූවක් හෝ සියයක්
බලාපොරොත්තුව ළමා, තරුණ, මධ්‍යම, වයසෙහි දී මිය යන්නට යෙදුණොත්, එය අකාල මරණයක් ලෙස
කල්පනා කරනවා. එනමුත් පරමාර්ථ ධර්මයට අනුව මරණය අකල් නො වන්නේ මරණය උපදින හැම
සත්ත්වයෙකුට ම ඕනෑම මොහොතක උරුම විය හැකි නිසා ය.
මවු කුසකට ගන්ධබ්බයකුගේ පැමිණීම හෙවත් පටිසන්දි විඥානය සකස්වීමෙන් අනතුරුව හැම
මොහොතක් ම මරණයට උරුමකම් කියන අවස්ථාවක් හැටියට අප මෙනෙහි කළ යුතුයි. සාමාන්‍යයෙන්
මවු කුසක දස මාසයක් කළලයක් හැදෙන වැඩෙන කාලය තුළ ඕනෑම වෙලාවක් මරණයට පත්විය හැකියි.
මවුකුසින් බිහිවෙන අවස්ථාව ද, බිහිවීමෙන් ස්වල්ප වෙලාවකින් ද, දින කීපයකින් ද, සති,
මාස, අවුරුදු කීපයකින් ද ළමා කාලයේ ද, තරුණ කාලයේ ද, මධ්‍යම කාලය හා ජීවිතයේ සැදෑ
සමය යන ඕනෑ ම අවස්ථාවක් මරණයට පත්විය හැකි අවස්ථාවක් විය හැකියි. මෙය තවත් සරල
වචනයකින් සඳහන් කළොත් ඕනෑම උදෑසනක් ජීවිතයේ අවසානය විය හැකියි. ඕනෑම මධ්‍යහනයක්
ජීවිතයේ අවසාන මොහොත විය හැකියි. ඕනෑම රාත්‍රියක් ඕනෑම අයෙකුට ජීවිතයේ අවසන් රැය
විය හැකියි. එසේ නම් මරණය අකාල වෙන්නෙ සම්මුතියට විනා පරමාර්ථ වශයෙන් නොවේ.
‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළම අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ
දහම් පෙළට ගලපාගෙන සිහිපත් කරමු.
“මරණ ධම්මෝම්හි මරණං
අනතීතෝති අභිණ්හං
පච්චවෙක්ඛිතබ්බං, ඉත්ථියාවා
පුරිසේන වා ගහට්ඨෙන වා
පබ්බජිතේනවා ති”
ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යුතු දහම් කරුණු පහක්
අතර එම අදහසත් භාග්‍යවතුන් වහන්සේ විසින් “ඨාන” සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කොට
දේශනා කරනු ලැබුවා. එය මෙසේයි “අපි හැමකෙනෙක් ම මෙසේ සිතන්නට සිත පුරුදු කොට තිබිය
යුතුයි. විශේෂයෙන් ම රාග, ද්වේෂ, මෝහ කෙලෙස් පහළ වෙන්නට අවස්ථාව සැලසෙන හැම මොහොතක
ම ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දැක වැඩිය යුතුයි. එනම් මම මරණය උරුමකොට ඇත්තෙක්
වෙමි. මරණය නො ඉක්මවා සිටින්නෙමි. මේ බව ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි අප සියලු
දෙනා විසින් නිතර සිහිපත් කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
ජීවිතය ඉතා කෙටියි. එය බොහෝ ම දුකින් පිරී පවතින්නේ. සම්මතයෙහි අප දුක් ලෙස දකින
දිරාගෙන යෑම, ලෙඩදුක්, අප්‍රියයන් හා එකතුවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දෑ
සියල්ල ඒ ආකාරයෙන් ඉටුනොවීම, මනසේ ඇතිවන බලවත් සිත් තැවුල්, ඒ සිත්තැවුල් ම
හේතුකොටගෙන සිදුවන දැවෙන පිච්චෙන ස්වභාවය, කෙලෙස්වල දාහය මේ අප්‍රමාණ වූ දුක්වලින්
මේ කෙටි වූ ජීවිතය පිරී පවතින බව පැහැදිලියි. ඒ වගේ ම ජීවත්වීම සඳහා ආහාර සොයා
ගැනීම, නිවහනක් තනා ගැනීම. වස්ත්‍රාදිය සොයා ගැනීම. ගිලන්වන විට බෙහෙත් සපයා ගැනීම.
වශයෙන් අනේක විධ දුක්වලින් පිරී පවතින බව ඉතා පැහැදිලියි.
“කිච්චෝ මනුස්ස පටිලාභෝ
කිච්චං මච්චාණ ජීවිතං” යනුවෙන් සඳහන් කළෙත් මෙම අදහසමයි. මනුෂ්‍ය ජීවිතයේ ලැබීම
දුර්ලභ වගේ ම ලෙඩදුක්, කරදර, බාධක දුක් කම්කටොලුවලින් හැකිතාක් දුරට බැහැරව ජීවිතය
පවත්වා ගැනීමත් ඉතාම දුර්ලභ කරුණක්. මේ බව සම්‍යයක් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කුසල්
මඟට ළංවිය යුතුයි. එනම් ලෝභ, දෝෂ, මෝහ මුල්කොටගත් කෙලෙස් සංසිඳවමින් සීල, සමාධි,
ප්‍රඥා ගුණ වැඩිය යුතුයි. එයයි කුසල් කටයුතු යනුවෙන් සඳහන් කරන්නේ. එලෙස ම
බ්‍රහ්මචර්යා මාර්ගයට එකතුවිය යුතුයි. සීල සමාධි ප්‍රඥා ගුණ මඟට එකතුවන විට
බ්‍රහ්මචර්යා මාර්ගය සකස්වෙනවා. සම්මතය තුළ මොනතරම් “මම මගේ” කියා සියලු සංඛත සංඛාර
වස්තු අප සිතින් දැඩිව අල්ලගත්තත් ඒ සියල්ලම හට ගත්තා වගේ ම නැතිව යන බව විදර්ශනා
නුවණින් ම මෙනෙහි කළ යුතුයි. යම් වස්තුවක් පඨවි ආදී ධාතූන්ගෙන් සකස් වෙනවා නම්, ඒ
පඨවි ආදී හේතුප්‍රත්‍යයන් විසිරිලා යන විට අර මුලින් සකස් වූ ඵලයත් නැතිව යන බව
නුවණින් අප අපේ ම ජීවිතවලින් අවබෝධ කොටගත යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මෙසේ දේශනා කරනවා. “නත්ථි ජාතස්ස අමරණන්ති” උපන්නාට නො
මැරී සිටීමක් නම් නැත. සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යුතුයි. මරණය සිදුවන බව,
කුමන හෝ මෙහොතක එය සිදුවිය හැකි බව, කුමන හෝ ආකාරයකින් එය සිදුවිය හැකි බව, දන්නා
නුවණැති මනුෂ්‍යයෝ වහ වහා කුසලයට ළංව බ්‍රහ්මචාරී ජීවිතයක් පවත්වනවා.
‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. බ්‍රහ්මණයෙනි, “තෘණ අග යම් වූ ද පිනි
බිඳු හිරු උදාවන විට සකස් වී තිබේ ද? ඒවා වහා බිම වැටී නැතිව යනවා. හිරු පායාගෙන එන
විට තෘණ අග තිබෙන පිනි බිඳු ස්ථිරව පවතින්නේ නැහැ. ඒ වගේ ම මනුෂ්‍යයන්ගේ ජීවිතයත්
කෙටියි. ඉතාම කෙටියි. ඉතාම අල්පයි. බොහෝම දුකින් පිරිලා. දැඩි දුක්කම්කටොළුවලින්
මෙන් ම කායික මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පවතිනවා. මේ බව සම්‍යක් ප්‍රඥාවෙන්
දැක ගත යුතුයි. එසේ දැක කුසල් කරන්න. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. නැවත නැවතත්
සිහිපත් කරන්නේ. උපන් පුද්ගලයාට මරණයෙන් නම් ගැලවීමක් නැති බවයි.
-
දීපා පෙරේරා |