සුගති ගමන -
16
අකුසල් ප්‍රහාණය කළහැකි ද?
අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
යම්කිසිවෙක් මේ ජීවිතයේ ම වීර්යය වඩා රහත් වුණොත් මේ ජීවිතයේ පමණයි. එයින් බොහෝ
කර්ම ප්‍රමාණයක් ප්‍රහාණය වුණොත්, පිරිනිවන් පාන තුරා මෙලොව විපාක දෙන කොටසක්
තිබෙයි. ඒවා ධර්මයේ හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක යනුවෙනි. එතනින් එහා විපාක දෙන්නට
තිබෙන යම්තාක් කර්ම ඇත්ද, ඒ සියල්ල අහෝසි වෙයි. එවිට අහෝසි කර්ම ධර්මයේ පෙන්වන්නේ
මෙලෙස යි. ඊට අමතරව කුසලය බලවත් වෙනවිට අකුසල් විපාක යටපත් කරන්න පුළුවන්කම තිබෙයි.
ඒ නිසා මේ ජීවිතයේ නොයෙක් කරදර, බාධා, ප්‍රශ්න , පෙර අකුසල් බලවත් වන කාලවල
මිනිසුන් කියනවා ගොඩක් පින් කර ගන්න, අඩුම තරමේ බෝධි පූජාවක් හෝ තබන්න. බුදුන්
වඳින්න, සතුන්ට කෑම ටිකක් දෙන්න. දානයක් දෙන්න. ඔය කරදර එන්නේ පෙර කර්ම නිසා ,
පුළුවන් තරම් පින් කරන්නැ’යි පවසනවා
එවිට කුමන කරදර බාධා මධ්‍යයේ හෝ අඬා දොඬා හෝ අකුසල් මැඩගන්න මිනිසුන් පින්කරනවා,
දන් දෙනවා, බුද්ධ වන්දනා, බෝධි පූජා තියනවා, මෙලෙස පින්දහම් කරගෙන යනවිට පින බලවත්
වෙන විට අකුසල් විපාක යටපත් කරන්න පුළුවනි. හැබැයි, සම්පූර්ණයෙන් ප්‍රහාණය වීමක්
වන්නේ නැහැ. නැවත කවදා හෝ දවසක ඒ අකුසල් නැවත විපාක දී අවසන් වෙනවා. බුදුන් වහන්සේ
පෙන්වා වදාළේ, ‘මහණෙනි, විපාක නොවිඳා තමන් චේතනාවක් පහළ කර රැස්කරගත් යම් කර්මයක්
ඇත්ද ඒවායේ විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැතැ’යි
වදාළා.
අකුසල් ප්‍රහාණය කරන්න තිබෙන එකම ක්‍රමය ධර්මාවබෝධය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මයේ හඳුන්වන්නේ ‘කම්ම නිරෝධ ගාමිණී
ප්‍ර‍්‍රතිපදාව’ කර්මයන් නිරුද්ධ කරන මාර්ගය යි. කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව
හැටියට යි. දැන් කර්මය ගැන විපාක විෂයය තේරුම් ගත් ඔබ කර්මය සකස්වන හැටි තේරුම් ගත
යුතු යි.
දැන් බොහෝ වේලාවට කර්මය යන වදන අප නිබඳව ම අසනවා. කවුරු හෝ ඔබෙන් විමසනවා, කර්මය
යනු කුමක්ද? යනුවෙන්. කර්මය යනු චේතනාව යි. ‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ ‘මහණෙනි,
චේතනාව කර්මය යි. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා, ‘චේතයිත්වා කම්මං කරොති කායෙන
වාචාය මනසා’ චේතනාව පහළ කරලා, කර්ම රැස් කරනවා, කායෙන, තමන්ගේ කය මුල් කරලා කර්ම
රැස් කරනවා. චේතනාවත් සමඟ කය ක්‍රියාත්මක වෙයි. වාචාය, කතා කරන සෑම වදනක් ම
චේතනාවක් සමඟ යි, සකස් වන්නේ. මනසා, සිතන සෑම සිතිවිල්ලක් සමඟ ම චේතනාවක් රැඳෙනවා.
එසේනම්, සිත, කය, වචනය යන තුන් දොරම චේතනාවක් අනුව සැකසෙයි. චේතනාවක් අනුව
ක්‍රියාත්මක වෙයි. ඒ චේතනාව කර්මයක් බවට පත් වෙයි.
ඊළඟට මේ විදිහටත් ඔබ තේරුම් ගත්තොත්, ආයතන හයක් අපට තිබෙනවා. ඒ ආයතන මඟින් සංසාර
ගමනක් සැකසෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. ඇසට පෙනෙන රූප අනුව චේතනාව
පහළ වෙයි. එය රූප සංචේතනා නම් වෙයි. කනට ඇසෙන ශබ්දයට අනුව චේතනා පහළ කරයි, එය ශබ්ද
සංචේතනා වෙයි. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ කරනවා. ගන්ධ සංචේතනා. දිවට
දැනෙන රසයට අනුව චේතනා පහළ කරනවා. රස සංචේතනා. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ
කරනවා. පොට්ටබ්බ සංචේතනා, සිතට එන සිතිවිල්ලට අනුව චේතනාවක් සිතෙහි පහළ වෙනවා. එය
ධම්ම සංචේතනා නම් වෙයි. එසේනම්, ඇස, කන , නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයෙන් ම එන
අරමුණක් පාසා ම චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. ඊළඟට ඒ අරමුණු ඔස්සේ ම අප සිත
සිතා යනවා. ඒ අරමුණු ගැන ම අප කතා කරනවා. ඒ අරමුණු ඔස්සේ ම ක්‍රියා කරනවා. එවිට ඔබට
මේ ටික තේරුණා නම්, අපට තේරෙන්නේ අප කාටවත් කර්ම රැස්කරන්නේ නැතිව ජීවත් වෙන්නට
පුළුවන් කමක් නැහැ. සෑම විටම ඇසට එන අරමුණක් පාසා, ඇස යි, රූපය යි, විඤ්ඤාණය යි
එකතුවීමෙන් ඇසෙහි ස්පර්ශයෙන් ඇතිවන, එනම් අපේ ඇසට පෙනෙන හැම අරමුණක් පාසාම චේතනා
පහළ වෙයි. කනට ඇසෙන සෑම ශබ්දයක් පාසාම චේතනා පහළ වෙයි. නාසයට දැනෙන හැම ගඳ සුවඳකට
අනුව ම චේතනා පහළ වෙයි. මේ අනුවආයතන හයෙන් ම කර්ම රැස් වෙනවා.
-
ජම්මික ප්‍රබෝධනී වැලිකල |