මෙත් සිතක මහිමය
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
සංයුක්ත නිකායේ මාතු සූත්‍රය, පිතු සූත්‍රය, භාතු සුත්‍රය, භගිනි සූත්‍රය, බුද්ධ
සූත්‍රය දීතු සූත්‍රය යන සූත්‍රවලට අනුව සෑම සත්ත්වයෙක්ම සෑම සත්ත්වයෙකුගේම අම්මා
වෙලා ඉඳල තියෙනවා. තාත්තා වෙලා ඉඳල තියෙනවා.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර
නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ කරජකාය වර්ගයේ නවවෙනි සූත්‍රය, වන කරජකාය සූත්‍රයයි.
මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන දැන කරන ලද, රැස් කරන ලද කර්මයන්ගේ
විපාක විඳින්නේ නැතිව නැතිවෙලා යන්නේ නැහැ කියලා. ඒ විපාකය මේ ජීවිතයේ දී හෝ ඊළඟ
ජීවිතයේ දී හෝ සංසාරයේ කුමන අවස්ථාවක දී හෝ විපාක දෙන බව.
ඒ වගේම උන්වහන්සේ අවධාරණය කරන්නේ දැන දැන කරන ලද දැන දැන රැස් කරන ලද කර්මවල විපාක
විඳින්නේ නැතිව එහි විපාක, දුක අවසන් කිරීමක් වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ දේශනා
කරනවා ආර්ය ශ්‍රාවකයා, ඒ කියන්නේ තිසරණය තුළ මනා කොට පිහිටි කෙනා ලෝභයක් නැතිව,
ද්වේෂයක් නැතිව, මෝහයක් නැතිව හොඳ නුවණකින් යුක්තව, එළඹසිටි සිහියෙන් යුක්තව,
මෛත්‍රී සහගත සිතින් එක දිසාවකට ඒ මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. දෙවන දිසාවට තුන්වන
දිසාවට හතරවන දිසාවටත් ඒ විදියට මෛත්‍රී සිත පතුරුවා වාසය කරනවා. සියලු දිසාවලට ම
සෑම තැනකටම සියලු ලෝකයටම එක ආකාරයෙන් විපුල වූ, මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ
අව්‍යපාද වූ මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා.
පින්වත්නි, බුද්ධ දේශනාවට අනුව මෙත් සිත පැතිරවීම ඉතා බලවත් වූ මහා පුණ්‍ය කර්මයක්.
මහා කුසල කර්මයක්. විශේෂයෙන් ම භාවනා අතර යම් කෙනෙක් මලක් සිඹින මොහොතක් ඒ මෛත්‍රී
සිත පතුරවනවානම්, ඒ කෙනාට රහතන් වහන්සේලා සිය නමකට දෙන දානයට වඩා පිනක් ලැබෙනවා.
පසේ බුදුවරුන් සිය නමකට දෙන දානයට වඩා පිනක් ලැබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට
දෙන දානයට වඩා පිනක් ලැබෙනවා. මේ ආකාරයෙන් අප්‍රමාණ ලෙස මෛත්‍රී සිත දියුණු කරන
ආර්ය ශ්‍රාවකයාට මෙන්න මේ ආකාරයට සිතෙනවා. කලින් මෛත්‍රී සිත දියුණු නොකළ මගේ සිත
පටු විදිහට තිබුණේ. ඒ වුණාට දැන් මෛත්‍රී සිත දියුණු කළාට පස්සේ මගේ සිත ප්‍රමාණ
රහිතයි. අප්‍රමාණයි. පටු නෑ. පුළුල් කියලා.
පින්වත්නි, වර්තමාන තත්ත්වය ගැන බලන විට අප්‍රමාණ මෛත්‍රී චිත්ත විමුක්තිය කෙසේ
වෙතත් සුළු මොහොතක් හෝ භාවනාවක් වඩන පිරිස මේ රටේ, ලෝකයේ බොහොම අඩුයි. ඒ නිසා
ඔවුන්ගේ චින්තනය බොහොම පටුයි. පටු කල්පනාවන් තියෙන්නේ සුළු දේකින් පවා ඇවිස්සිලා
යනවා. ඒ නිසා මහා ව්‍යසනයන් සිදුවෙනවා. සමහර විට සුළු සිද්ධියක් ජාතීන් අතර ගැටුමක්
තත්ත්වයට දියුණු වෙනවා. ධර්මානුකූලව විවරණය කරල බැලුවොත් අප හැම කෙනෙක්ම සංසාරේ එකට
හිටපු අය, ඥාතීන් වෙනවා.
සංයුක්ත නිකායේ මාතු සූත්‍රය, පිතු සූත්‍රය, භාතු සුත්‍රය, භගිනි සූත්‍රය, බුද්ධ
සූත්‍රය දීතු සූත්‍රය යන සූත්‍රවලට අනුව සෑම සත්ත්වයෙක්ම සෑම සත්ත්වයෙකුගේම අම්මා
වෙලා ඉඳල තියෙනවා. තාත්තා වෙලා ඉඳල තියෙනවා. සහෝදරයෙක් වෙලා ඉඳල තියෙනවා. සහෝදරියක්
වෙලා ඉඳල තියෙනවා. පුතෙක් වෙලා ඉඳල තියෙනවා. දුවෙක් වෙලා ඉඳල තියෙනවා. නමුත් දැන්
අපි විවිධ ජාතීන්ට අයත්ව විවිධ ආගමික සම්ප්‍රදායන්ට අයත්ව විවිධ රටවල ජීවත් වෙන්නේ.
ධර්මානුකූල අවබෝධයක් තියෙන කෙනා මේ විදිහට පුළුල් අවබෝධයකින් ගැඹුරින් බලන්න
දන්නවා. අනික් අය ඒ මොහොත ගැන විතරක් හිතලා පටු විදිහට ක්ෂණික තීන්දු තීරණ ගන්නවා.
ඕනෑම ජනවර්ගයක, ඕනෑම රටක, ඕනෑම ආගමක කණ්ඩායමක මේ විදිහට පටු විදිහට සිතන විශාල
පිරිසක් ඉන්නවා. පුළුල්ව සිතන පිරිසක් ඉන්නවා නම් ඉන්නේ බොහෝම ස්වල්පයයි. ඒ පුළුල්ව
සිතන පිරිසක් ලෝකයේ ඉන්නවානම් ඇත්තටම ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. ඒ නිසා පින්වත්නි
මෛත්‍රී සිත දියුණු කරන්නා තුළ තිබෙන්නේ ප්‍රමාණ රහිත බවක්.
ඔහු විසින් සියලු ලෝක වාසීන්ටම මෙත් සිත පතුරුවනවා. එය ඉතාම දුෂ්කර කාර්යයක්. මේ
විලසින් මෙත් සිත පතුරුවන්නාට ලෝකයේ කිසිදු වෛරී පුද්ගලයෙක් සිටින්නට බැහැ. ඔහු
ඇසුරු නොකරන අය ඉන්න පුළුවන්.නමුත් කාටවත් වෛර කරන්නේ නැහැ. අපි දන්නවා මංගල
සූත්‍රයට අනුව ‘අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා’ කියල බුදුරජාණන් වහන්සේ දේශනා
කළා. ඇසුරු නොකළ යුතු පුද්ගලයෝ, බාල අඥාන පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. අපි ඔවුන්ගෙන්
වෙන්ව වාසය කළ යුතු වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි ඔවුන්ට වෛර කරනවා කියලා.
සමහරවිට අපි ඇසුරු නොකරන පුද්ගලයෙක් අපට මුහුණට මුහුණ හමුවෙන්න පුළුවන්. අපි ඔවුන්
පසුකරගෙන යනවා වෙන්න පුළුවන්. අප ඔහු දෙස බලන්නේ නැතිව ඉන්න පුළුවන්. නමුත් අප ඔහු
ගැන හෝ ඇය ගැන සිතන්නේ ඒ පුද්ගලයා වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා,
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත
සුවයට පත් වේවා කියලා.
සමහර විට ඒ අනික් පුද්ගලයා ඒ පිළිබඳව සාංකාවක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්.
සමහරවිට ඔහු හෝ ඇය සිතන්න පුළුවන් මා පසුකර යන, මා දෙස නොබලා යන, මට සිනහවක්වත්
නොවී යන මේ පුද්ගලයා මට වෛර කරනවා කියලා. නමුත් ඇත්තම තත්ත්වය ඒක නොවෙයි. ඉහතින්
සඳහන් කළ පරිදි තමාට පෞද්ගලිකව ඕනෑම කෙනෙක් කෙරෙහි මෙත් සිත පතුරවන්න පුළුවන්.
මෙම සූත්‍රයේ තිබෙන වටිනාම කරුණ නම් මේ ආකාරයෙන් අප්‍රමාණව මෙත් සිත පතුරවන
පුද්ගලයාගේ සිත තුළ යම්කිසි ප්‍රමාණාත්මක කරන ලද කර්මයන් පිහිටන්නේ නැති බව
බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමයි. මෙහිදී ප්‍රමාණාත්මක කර්මයන් කියන්නේ යමෙක් අතින්
සත්තු මැරිල තියෙන්න පුළුවන්. කෙනෙක් එක අවුරුද්දක් තුළ මදුරුවන් පන්සියයක් පමණ
මැරුවා කියලා එහෙම නැත්නම් එක මනුස්සයෙක්ව මුළු ජීවිත කාලයටම මැරුවා කියලා වැරැදි
කාම සේවනයන්ට අහුවුනා කියලා බොරු යම්කිසි ප්‍රමාණයක් කිව්වා කියලා උත්සව සියයකට
විතර සහභාගි වෙලා මත්පැන් බිව්වා කියලා, ඒ ආකාරයෙන් ප්‍රමාණාත්මකව කරන ලද කර්ම මේ
අප්‍රමාණ මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ පිහිටන්නේ නැහැ. පින්වත්නි, රැඳෙන්නේ නැහැ.
ඒක දියවෙලා යනවා. පාවෙලා යනවා. හැබැයි විපාකය කොයි මොහොතක හරි ලැබෙනවා.නමුත්
ඉස්මතුවෙලා පළමුව එන්නේ මෛත්‍රී චිත්ත විමුක්තියයි.
ඒ නිසා අපට පුළුවන් මේ ලෝකයේ කිසිදු කෙනෙකුට වෛර නොකර සිටීමට, ප්‍රමාණාත්මක කරන ලද
අකුසල කර්මවල බලවේග යටපත් කරන්නට, නමුත් පව් සමා කරන්න බැහැ. ඒ නිසා මේ සූත්‍රය
ආරම්භයේ දී ම දේශනා වෙන්නේ දැන දැන රැස්කරන කර්මවලට විපාක ලැබීමේ හැකියාව. මෙලොවදී
හෝ ඊළඟ ජීවිතයේ දී හෝ නිවන් දකින මොහොත දක්වා තිබෙන බවයි. නමුත් අප්‍රමාණ වූ
මෛත්‍රි චේතෝ විමුක්තියට එහි බලය බිඳින්න පුළුවන්. ඒ වගේම තමයි අප්‍රමාණ වූ
කරුණාවටත් එය කරන්න පුළුවන්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්
වේවා ආදී වශයෙන් පෙර කී පරිදිම ඒ ඒ දිසාවලට අප්‍රමාණ කරුණාව වැඩීමයි මෙහිදී
කෙරෙන්නේ. ඒ වගේම අප්‍රමාණ වූ මුදිතාවත් අපට වඩන්න පුළුවන්. යම් කෙනෙක් ආයුෂයෙන්
වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, ධනයෙන් වැඩෙත්වා, කීර්තියෙන්
වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා ආදී වශයෙන් සියලු දිශාවලට අප්‍රමාණ වශයෙන් මුදිතාව
වඩන්න පුළුවන්. එමෙන්ම උපේක්ෂාවත් ඒ ආකාරයෙන්ම වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේගෙන් අහන්නේ යම් කුඩා දරුවකුට පුංචි කාලයේ ඉඳලා මේ කරුණු පුරුදු
කරනවා නම් ඒ දරුවා පව්කමක් කරයිද? කියලා. එතකොට භික්ෂූන් වහන්සේ පිළිතුරු දෙනවා
එහෙම කරන්නේ නැහැ කියලා. එහෙම පව්කමක් කරන්නේ නැත්නම් ඒ අයට දුකක් ලැබෙයිද? කියලා.
උන්වහන්සේ අහනවා. එතකොට භික්ෂූන් වහන්සේ පිළිතුරු දෙන්නේ එහෙම දුක් විපාක ලැබෙන්න
විදිහක් නැති බවයි.
වර්තමාන අම්මලා තාත්තලා කල්පනා කරල බලන්න. ඔබ දරුවාට පුංචි කාලයේ ඉඳලා මෙත්තා,
කරුණා, මුදිතා, උපේක්ෂාව පුරුදු කරනවද? වෛරය, ඉරිසියාව, මාන්නය, කුහකකම, එකට එක
කිරීම ආදී දේවල් පුරුදු කරනවද? ඒ නිසා මෙම සූත්‍රයෙන් කියවෙන මෙම උදාර කරුණු
තේරුම්ගෙන මෙම සතර බ්‍රහ්ම විහරණ මුල් කරගෙන කරන අප්‍රමාණ චේතෝ විමුක්තිය පුරුදු කර
ගනිමු. ඒ තුළින් යහපත උදාකර ගනිමු.
ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
-
අයන්ති විතාන |