අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර වූ
යශෝධරා
මහ රහත් තෙරණිය
බළන්ගොඩ ශී‍්‍ර ධර්මානන්ද විද්‍යායතන
පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහා නාහිමි
සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න
අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ. යශෝධරාවට ඕනෑ තරම් අඬන්න ඉඩ
දෙන්න එය නැවැත්වුවහොත් ළය පැලී මරණයට පත්වන්න පුළුවන්. එය වළක්වන්න එපා.’
බුදුබව පතා එක්තරා වීර පුරුෂයෙක් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරුවේ ය. ඒ
හා සමගාමීව එක්තරා වීර කාන්තාවක් ද බුදු බව පතන ඒ වීර පුරුෂයාගේ භාර්යාව වෙම්වා’යි
ප්‍රාර්ථනා කළා ය. ඒ වීර පුරුෂයා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වන අතර, ඒ වීර කාන්තාව
යශෝධරා දේවිය යි. බුද්ධත්වය ලබන ආත්මය දක්වා අති දීර්ඝ කාලයක් හිතාදර බැඳීමකින් එකට
වෙළී සාර්ථක යුග දිවියක් ගත කළ මෙබඳු ස්වාමි භාර්යා දෙපළක් සිටියා ද යන්න සිතීම පවා
අතිශයින් ම දුර්ලභ ය.
යශෝධරාව යනු දඹදිව සිටි ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කාන්තාවකි. මෙම උදාර
චරිතය කියවන විවාහක කාන්තාව තම ස්වාමියාට වඩ වඩාත් ගරු කරනු ඇත. විවාහක පුරුෂයෙකු
නම් තම බිරිඳට තව තවත් ආදරය කරනු ඇත. වාසනාවන්ත යුග දිවියක් ගත කරන සැමියාත්,
භාර්යාවත් සිතන්නේ කුමක් ද? අප දෙදෙනාගේ බැඳීම එකතුවීම ආත්ම ගණනක සිට පැවත එන්නක්
බවයි.
යශෝධරාව දීපංකර බුදුරදුන්ගේ සිට බුදුවරුන් විසි හතර නමකගෙන් සිද්ධාර්ථ බෝ සතුන්ගේ
බිරිඳ වන බවට විවරණ ලබා ඇත. වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතව තුසිත දෙව්ලොව උපන් මේ
දෙපළ බුදුවන ආත්මභාවයෙහි දී සිද්ධාර්ථ කුමාරයා මහාමාය දේවියගේ කුසයෙහිත්, යශෝධරාව
ශුද්ධෝදන රජුගේ නැගණිය වු අමිතා දේවියගේ කුසයෙහිත් පිළිසිඳ ගත්හ. මේ දෙපළම එකම දවසේ
එකම වේලාවට එනම් වෙසක් පොහොය දින මෙලොව එළිය දුටහ.
සියලුම කාන්තාවන්ට වඩා පංච කල්‍යාණයෙන් අනූන රූප ශෝභාවෙන් යුක්ත හෙයින් බිම්බා යන
නමින් ද, නිමිත්ත පාඨකයන් විසින් අනාගතයෙහි මහත් කීර්තියක් හා යසසක් ලබන බව ප්‍රකාශ
කළ හෙයින් ‘යශෝධරා ‘ යන නමින්ද රත්‍රං හා සමානව දිලිසෙන ශරීරයක් ඇත්තී අරුත දෙන
‘භද්දකච්චානා’ යන නමින් ද යශෝධරා දේවිය ප්‍රකට වූවා ය. විවාහ ජීවිතයට පත් යශෝධරා
දේවිය ඉහළ මට්ටමේ සැප විඳිමින් අවුරුදු දහතුනක් සිද්ධාර්ථ කුමාරයා සමඟ සුඛෝපභෝගී
යුග ජීවිතයක් ගත කළා ය.
යශෝධරාවට පුතකු ලැබුණු දින ම සියලු සම්පත් හැර දමා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කර
සිද්ධාර්ථ බෝසතාණෝ බුදු බවට පත් වූහ.
බුදුරදහු කාන්තාවක් බලන්නට වැඩම කළ එකම අවස්ථාව යශෝධරාව හමුවීමට වැඩම වීමයි. මෙය
බෝසත් කාලයේ සිට බුදුබව ලබා ගැනීමට තමාට සහාය දුන් ඒ උත්තම කාන්තාව හමුවීම සඳහා
පැමිණි සුවිශේෂී ගමනකි. මෙම සබඳතාව සාමාන්‍ය අඹු සැමි දෙපළක් අතර වන පේ‍්‍රමයක් නොව
බුදුවන උත්තමයකු හා ඇතිකරගත් අඛණ්ඩ අචල උතුම් අමරණීය පේ‍්‍රමයකි.
කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුරදහු රජමාලිගයෙහි දී දන් වළඳා බණ දේශනා කළහ. යශෝධරාව
මෙතැන නො සිටි හෙයින් සුද්ධෝදන රජතුමා මෙතුමියගේ කාමරයට ගොස් “දුව, යශෝධරා, ඔබත්
බුදුරදුන් වැඳගන්න යැයි කී විට “මාමණ්ඩි ඔබගේ පුතාගේ හිත බොහොම තදයි. පුතා උපන්
දිනම මටත් නො කියා යන්න ගියා. නමුත් කිසිදිනෙක මා ඔහුට දොස් කීවේ නැහැ. මගේ ජීවිතය
ම එතුමා වෙනුවෙන් පුජා කරලයි තිබෙන්නෙ. එතුමාට මා දකින්න ඕනෑ නම් එතුමා ඒවි. එහෙම
ආවොත් එතුමාට වඳින්නම්. සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය.
රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ.
යශෝධරාවට ඕනෑ තරම් අඬන්න ඉඩ දෙන්න එය නැවැත්වුවහොත් ළය පැලී මරණට පත්වන්න පුළුවන්.
එය වළක්වන්න එපා.’ බුදුරදුන් දුටු යශෝධරා, දේවිය කල්ප ගණනක් නො බිඳී පැවැත ආ ආදරය,
ආලය, පේ‍්‍රමය වවාගත නො හැකිව අසිහියෙන් බුදුරදුන්ගේ ශී‍්‍ර පාද මත වැඳ වැටී සිරිපා
මත හිස තබාගෙන හඬා වැටුණා ය. සිහි ආ විට ලජ්ජාවට පත් වී කුමක් වී දැයි සිතමින්
පැත්තකට වූවා ය. මෙහි දී සුද්ධෝදන රජු “ස්වාමීනි බුදුරජාණන් වහන්ස,මේ යශෝධරාවට ඔබ
වහන්සේ කෙරෙහි ඇත්තේ පුදුම ආදරයකි. ඔබ වහන්සේ කෙස් කපා දැමු බව දැනගත්විට ඇය ද
විලුඹ තෙක් දිගැති නීල වර්ණ කේශ කලාපය කපා දැමුවා ය. කහපාට වස්ත්‍ර පොරවන බව අසා ඇය
ද කසා වස්ත්‍ර ඇන්දා ය. එක් වේලක් වළඳන බව අසා දිනකට එක්වේලක් පමණක් ආහාර ගත්තා ය.
මැටි පාත්‍රයේ වළඳන බව අසා මැටි භාජනයක ආහාර ගත්තා ය. සුවපහසු ආසන අත්හැරිය බව අසා
එබඳු ආසන පරිහරණය අත්හැරියා ය. මල් සුවඳ නො ගල්වන බව අසා ඒවා ද අත්හැරියා ය. මෙම
ලේලිය පතා නොයෙක් බල සම්පන්න රාජකුමාරවරු විවාහ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සියලු යෝජනා
ප්‍රතික්ෂේප කර ඔබ වහන්සේ වෙනුවෙන් ම පුජා කළ ජීවිතයක් ඇය ගත කළ බව” දැන්වී ය.
මාමා කෙනෙකු තම ලේලිය ගැන කරන මෙබඳු වර්ණනාවක් ලෝක ඉතිහාසය තුළ දැකගන්නට නැත. මෙය
අසා සිටි බුදුරදුහු චන්නකින්නර ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි අවස්ථා ගෙන හැර දක්වමින්
බුද්ධත්වයට දැක්වු පරිත්‍යාගයත්, කල්ප ගණන් පැවැති හෘදයාංගම බැඳීමත් පෙන්නුම්
කරමින් යශෝධරාවගේ ගුණ කදම්බය ප්‍රකාශ කළහ. ලෝකයේ කිසිම කාන්තාවක් බුදුවරයෙකුගෙන්
මෙබඳු ප්‍රශංසාවක් ලබා නැත.
එදා කිඹුල්වත් පුර දී විසි දහසක් මහා සංඝරත්නය පිරිවරා බුදුරැස් විහිදුවමින් දිලිහි
දිලිහී පාරේ වඩින බුදුරදුන් දැක ‘රාහලු පුතණුවනි,අර ඉදිරියෙන් ම යන්නේ ඔබගේ පියා ය.
රන් කඳක් බඳු එතුමා නරසිංහයෙකි. පුත ඔබ ගොස් ,ඔබට හිමි දායාද ඉල්ලන්නැ”යි කියමින්
බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇති සුමිහිරි සුලලිත නරසීහ ගාථා කියමින් පුතාට තම පියා
හඳුන්වා දුන් ආකාරය චිත්තාකර්ෂණීය ය .
නන්ද කුමාරයාත්, රාහුල පුතණුවන් හා ප්‍රජාපතී ගෝතමියත් පැවිදි වු පසු සියලු රාජ්‍ය
සම්පත්වල භාරකාරයා වූයේ යශෝධරා දේවිය යි. කුමර සම්පත් තිබුණ ද, පැවිදීවීමේ අදහසින්
සුද්ධෝදන රජුගෙන් අවසර ඉල්ලුවා ය. අවසරය නො ලැබිණි. රජුගේ අභාවයෙන් පසු පැවිදි වීමේ
අදහසින් දහස් ගණනක පරිවාර ස්ත්‍රින් සමඟ මහා ප්‍රජාපතී ගෝතමි තෙරණිය හමුවී පැවිදි
වූවා ය. බුදුරදුන්ගෙන් කර්මස්ථාන ලබාගත් යශෝධරා මෙහෙණිය ඉතා ඉක්මණින් රහත් ඵලයට ද
පත් වූවා ය. බුදු සසුනෙහි කල්ප ලක්ෂයක් අතීතය දැකිය හැකි මහ රහත්හු වැඩ සිටියේ සතර
නමකි. ඒ සැරියුත් මුගලන් දෙනමත්, බක්කුල මහරහතන් වහන්සේ සහ යශෝධරා රහත් මෙහෙණියත්
වේ. යශෝධරා රහත් මෙහෙණියගේ දක්ෂතාවය නිසාම අභිඤ්ඤා පද ප්‍රාප්ත භික්ෂුණීන් අතර
අග්‍රස්ථානයට ද පත්වූවා ය.
යශෝධරා දේවියත් , සිද්ධාර්ථ කුමාරයාත් එකම දින උපන් අයුරු ම එකම දින පිරිනිවන් පෑමට
ද නියමිත ය. එසේ වුවහොත් එය අන්‍යයන්ට දරාගත නො හැකිව ශෝකයට පත් වනු ඇත. මේ අනුව
සිතා බලා එක් දිනකදී බුදුරදුන් බැහැ දැක අවසර ගෙන බුදුරදුන්ගේ ඉල්ලීම පරිදි විවිධ
ප්‍රාතිහාර්යයන් පා හැම දෙනාගේ ම සාධුකාර නාද මධ්‍යයේ බුදුරදුන් වැඳ කමා කරවාගෙන තෙ
වරක් ප්‍රදක්ෂිණා කොට, තමන් වැඩ සිටි ආරාමයට ගොස් ධ්‍යානයට සමවැදී පිරිනිවන් පෑ
සේක.
පිරිනිවන් පෑ ආරංචිය හැමතැනම පැතිර ගියේ ය. රජවරු, බිසෝවරු, මැති ඇමැතිවරු හා
ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ ද මහජනයා ද රැස්වූහ. බුදුරදහුද එහි වැඩමවා ආදාහන කටයුතු කරවා
ඉතිරිවූ ධාතූන් තැන්පත් කරවා “යශෝධරා චෛත්‍යය” නමින් චෛත්‍යයක් කරවූහ.
අභියෝගයන්ට මුහුණ දීම, ධෛර්ය සම්පන්න බව පරිත්‍යාගය, ඉවසීම, දයාව, අනුකම්පාව,
පතිව්‍රතාව පතිභක්තිය, ප්‍රකට කළ මේ යශෝධරා චරිතයට වඩා කාන්තාවන්ට ආදර්ශයක්
පරමාදර්ශයක් වූ වෙනත් චරිතයක් මේ ලෝක ඉතිහාසය තුළ අපට දැකගන්නට නුපුළුවන.
මෙම පවිත්‍ර පූජනීය චරිතයට කළ හැකි උපහාරය වන්නේ මෙම චරිතය අවබෝධ කර ගැනීමත්, එය
අගය කිරීමත්, ඊට අනුගත වීමත් ඒ තුළින් තම ජීවිතය ආලෝකවත් කර ගැනීමත් ය. |