UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාඇල උදම්මිට අශෝකාරාම විහාරස්ථ සිරිරතන දහම් පාසල

ජාඇල උදම්මිට අශෝකාරාම විහාරස්ථ සිරිරතන දහම් පාසල

සාමවිනිසුරු
නන්දිසේන ඉන්ද්‍රසේකර
(බී.ඒ.ගෞරව)


කණුමුල්දෙනියේ සුගුණවංශ නා හිමි

ශ්‍රී ලංකාවේ නිල වශයෙන් බෞද්ධ දහම් පාසල් ආරම්භ වීමට පෙර විහාරස්ථාන කේන්ද්‍රස්ථාන කොට ගෙන දහම් පාසල් ආරම්භ වී ඇත. වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ පඤ්ච මහා වාදයන් අතුරෙන් 1873 පැවැති පානදුරාවාදයෙන් පසු බුදුදහමේ යථා තත්ත්වය ලොව පුරා ප්‍රචලිත වන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේත්, බ්ලැවැට්ස්කි මැතිණියගේත් ශ්‍රී ලංකාගමනය සිදුවිය.

ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයට පැමිණි ඕල්කට් තුමා අක්මීමන ධර්මාරාම නා හිමියන්ගෙන් පන්සිල් සමාදන් ව බෞද්ධයකු බවට පත් විය. එතැන් පටන් ඕල්කට්තුමා හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නා හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි ආදි පැවිදි පඬිවරුන් හා අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමා. වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමන් ආදින් සමඟ එකතු වී විදේශාධිපත්‍යයෙන් පීඩනයට ලක්වූ බෞද්ධ ජනතාව නිසිමගට යොමුකිරීමට උත්සාහ කළහ. එසේම බෞද්ධ පුනරුදයට යළි මංපෙත් එළිපෙහෙළි කළහ. මේ අනුව නිල වශයෙන් 1895 අගෝස්තු 03 වනදා ප්‍රථම දහම් පාසල ගාල්ලේ විජයානන්ද දහම් පාසල නමින් ආරම්භ විය. එතැන් පටන් ශී‍්‍ර ලංකාව පුරා ම විහාරස්ථාන කේන්ද්‍රස්ථාන කොට දහම් පාසල් ආරම්භ විය.

ජාඇල, උදම්මිට අශෝකාරාම මහාවිහාරස්ථ සිරිරතන දහම් පාසල 2001 මාර්තු 11 වන දින ආරම්භ වූ අතර 2018 මාර්තු 11 වන දින වන විට වසර 17 ක් සපිරෙයි. මේ නිමිත්තෙන් මාර්තු 11 වන ඉරිදා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක් පැවැත්වේ. මෙම දාහත් වසර පුරා ජාතික ආගමික සේවාවන්ගෙන් මෙන්ම දහම් පාසල් අධ්‍යාපනයෙන් අප දරුවන් දක්ෂතා පෙන්වා ඇති බව සඳහන් කළ යුතුය. මාණ්ඩලික තරග දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කොට සමස්ත ලංකා තරගයන්ට ඉදිරිපත්වීමට දක්ෂතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙම දහම් පාසලෙන් බිහිවී ඇත. එසේම මෙම දහම් පාසලේ මූලික ධර්ම අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාඨශාලා ආචාර්යවරුන් වශයෙන් , වෛද්‍යවරුන් ,ආයතන කළමනාකරුවන්, ඉංජිනේරුවරුන් ව්‍යාපාරිකයන් වශයෙන්ද කටයුතු කරනු දැකීම අමන්දානන්දයට හේතුවී ඇත. උසස් ලෙස ධර්ම අධ්‍යාපනය නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම දහම් පාසලේ ආචාර්යවරුන්, ආචාර්යවරියන්, වශයෙන් නියුතුව කටයුතු කරන බව සඳහන් කරන්නේ ඉමහත් සතුටිනි.

සිරිරතන දහම් පාසලේ මේ සියලු සද්කාර්යයන්හි ප්‍රධාන නියමුවා වන්නේ වත්මන් අශෝකාරාම මහා විහාරාධිපති හලාවත – මීගමුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බොරැල්ල සිරිසුමන විද්‍යාල විශ්‍රාමික පරිවේනාධිපති කණුමුල්දෙනියේ සුගුණවංශාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේ දායක කාරකාදීන්ගේ මෙන්ම ජාතික, ආගමික, ශාසනික මෙහෙවරයන්හි නියුතුව දිවාරෑ සිදුකෙරෙන සත්කාර්යයන් අනිර්වචනීය යි. මේ හැම කටයුත්තක දී දායක සභාවේ නොමද සහාය උන්වහන්සේට මහත් ශක්තියක් වී ඇත. උන්වහන්සේගේ කෘතවේදිත්වය මනාව පිළිබිඹු වන්නේ මෙම දහම් පාසලට නාම ඨපනය කළ අවස්ථාවේය. තමන් වහන්සේගේ නාමයෙන් නොව අශෝකාරාම මහා විහාරස්ථානයෙහි ආදි කර්තෘන් වහන්සේ නමක් වශයෙන් වැඩසිට අපවත්වී වදාළ උදම්මිට සිරිරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශී‍්‍ර නාමයට උපහාරයක් වශයෙන් “සිරිරතන දහම් පාසල” වශයෙන් නාම ඨපනය කළ බවයි.

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය නායක නායිකාවන්
 

දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 650 කට අධික ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන මෙම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහම් පාසල සමාරම්භයේ සිට කටාන – මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ මාණ්ඩලික තරගයන්හිත්, දිස්ත්‍රික් තරගයන්ගෙන්ද ජයග්‍රහණය කොට සමස්ත ලංකා තරගයන්ට යොමුවීමට කුසලතා දක්වා ඇත. “සබ්බ දානං ධම්මදානං ජිනාති” යන බුදුවදන පෙරදැරිකොට ගෙන කටයුතු කරන මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසිපස් දෙනකුට අධික වේ. ස්වේච්ඡාවෙන් නිස්සරණාධ්‍යාශයෙන් සේවය කරනු ලබන එම ආචාර්ය මණ්ඩලයේ පාඨශාලාචාර්යවරියන්, උපාධිධාරින් , විදුහල්පතිනියන්, විශ්‍රාමික විදුහල්පතිනියන්, වෛද්‍යවරියන්, පත්‍රකලා වේදිනියන්, ආයතන කළමනාකරුවන්,රාජ්‍ය දෙපාර්තමේන්තු සේවයේ නියුතුවූවන් පෞද්ගලික ආයතනයන්හි සේවයේ නියුතු දහම් දැනුමැති ආචාර්යවරුන් පිරිසක් දහම් අධ්‍යාපනය ලබාදීමේ නියුතුවීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වාසනාවකි.

දහම් පාසල් ගුරුවරයා නිර්මාණශීලී හා ගවේෂණශීලී විය යුතු අතර සාරධර්ම හා සිරිත්විරිත් දරුවන් තුළට සම්පේ‍්‍රෂණය කිරීමේ කර්තව්‍ය මැනවින් ඉටු කළ යුතුය. එම කාර්යය අප දහම් පාසලේ දරුවන්ට හුරුපුරුදු කිරීම බෙහෙවින් සිදුවේ.

ප්‍රධානාචාර්ය කණුමුල්දෙනියේ සුගුණවංශ නා හිමි ඇතුළු උප විදුහල්පති කේ. සෝමචන්ද්‍ර ගුණවර්ධන මහතා සහ ආචාර්ය මණ්ඩලය වන උල්ලල පඤ්ඤාධීර හිමි , එම්. රිඩ්මන් සිල්වා, නන්දිසේන ඉන්ද්‍රසේකර, පී. එම් නිම්මික පතිරණ, කේ. උදාර ගුණවර්ධන, අශෝකා බෝගහවත්ත, එම්. නදීකා උමංගිසිල්වා, ඩී මධුකා සුමුදිනී ගුණරත්න, ජී.එච්.එම් හේවගේ , කේ.ජී දිල්රුක්ෂි රංජනී, ඩබ්ලිව්. ජී. ජේ. එස් ශයනාරි, එස්. ඒ දෙව්මි සමාලි කෞශල්‍යා , වයි. මාලා දයානි සිල්වා, එම්, වී. ප්‍රබුද්ධිකා දුලාංජලී, එස් භද්‍රානි කෝෂිලා සිල්වා මෙනෙවිය, එච්. ඩිලානි සිල්වා මෙනෙවිය, එස්. ඒ දනුෂි සුජාතා මෙනෙවිය, එච්. පී. දුලානි විශ්නා පතිරණ මෙනෙවිය, චන්ද්‍රා සමරසිංහ ජයකොඩි, ඩබ්ලිව් නිශාන්ති වීරසිංහ සිල්වා, එස්. ජේ. ඒ. ඔමේගා ශ්‍රීමාලි සුමනසේකර මෙනෙවිය, එස්.කවීනා හර්ෂණී සිල්වා මෙනෙවිය, එස්. ජේ.ඒ යසෝධා රසාංගනී සුමනසේකර මෙනෙවිය, කේ.ජී කෞමිණී වන්දනා මෙනෙවිය, එස්.තුෂාරි දීපිකා මීගම මෙනෙවිය, ඩී. එම්. රුෂිරා ඩිල්රුක්ෂි ගුණසේකර, අයේෂා මධුවන්ති සොයිසා, තිළිණි නිසංසලා ජයකොඩි , එස්. ඒ සඳුනි නවෝදා මෙනෙවිය, ගංගා නානයක්කාර මහත්ම මහත්මීහු වෙති.

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]