UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

මැදින් අව අටවක 2018.03.09

සසුන බැබළ වූ යතිවරයාණෝ

ලෝ සසුන් වැඩ සැදු ධර්මධර, විනයධර යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ලෝ වැසි බොදු දනන්ගේ නමස්කාර පූර්වක ගෞරවාදරය ලද දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේගේ අපවත් වීම සමස්ථ බෞද්ධ ජනතාවටම අතිශයින් සංවේගජනක ය. උතුම් පැවිදි දිවියේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් ථෙරවාදී සම්බුදු දහම ලොව පුරා ප්‍රචලිත කරන්නට අපමණ වෙහෙස වූ, දිවා රෑ කාලය, ශ්‍රමය කැප කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකගේ අපවත්වීම බොදු දනන් වෙත අභාග්‍යයම ගෙන එන්නේය. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහ. එම බුදු ඔවදන සිහිපත් කරමින් බෞද්ධයින් ලෙස අප දැන් කළ යුතු වන්නේ දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ බලාපොරොත්තු වූ ඒ උතුම් දැහැමි සමාජයක සාමාජිකයන් වීම හා එවන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් කැප වීම ය. එය කාලීන අවශ්‍යතාවක් ද වන්නේ ම ය.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයත් සමඟ මෙරට ස්ථාපිත වූ සම්බුදු දහම ආරක්ෂා කරගනිමින් දෙස ,බස සුරකින්නට ඈත අතීතයේ සිටම භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත්හ. ඒ උතුම් සඟ පරපුර නියෝජනය කළ මෑත කාලීන යතිවරයාණන් වහන්සේ නමක් ලෙස දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ ද ඉතිහාසයට එක් වන්නේ ලෝ වැසි බොදු දනන්ගේ හදවත්හි අමරණීය වෙමිනි. වෙසෙසින් සම්බුදු ශාසනය සුරැකීමෙහිලා දශක හතරකට අධික කාලයක් උන්වහන්සේ ඇප කැප වූහ.

සදාචාරය නොරැකෙන තැන මනුෂ්‍යත්වයක් නැති බව නිරන්තර යෙන් සිහිපත් කළ උන්වහන්සේ මිනිසත්බව රකින්නට, මිනිසුන් ධර්ම මාර්ගයට යොමු කරන්නට ගත් උත්සාහය පිළිබිඹු කෙරෙන හොඳම උදාහරණයන් වන්නේ ‘සැම හිත සුව පිණිස’ යන තේමාව මුල්කර ගනිමින් ඇරඹි බෞද්ධයා රූපවාහිනී නාලිකාව, බෞද්ධයා ගුවන්විදුලිය හා සම්බෝධි සඟරාව යන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ය. වියත්, ධර්මකථික, ධර්මධර, විනයධර ධර්ම දේශකයාණන් වහන්සේලාගේ ධර්ම දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කරමින්, මහා පින්කම් අසා දැක ගනිමින් අවිදු අඳුර මුදාහරිමින් ධර්ම මාර්ගයට ප්‍රවේශවන්නට ලොව පුරා බොදු ජනතාවට මෙම මාධ්‍ය ඔස්සේ ඉඩකඩ සැලසී තිබීම සුවිශේෂය.

සාර ධර්ම සුරකින අනාගතයක පෙර මං දකිනු රිසි වූ උන්වහන්සේ වෙසෙස් අවධානයක් යොමු කරමින් ප්‍රකාශ කළේ වත්මන් ළමා පරපුර පොත පතේ දැනුමෙන් සේ ම යහ ගුණ ධර්මයන්ගෙන් ද සුපෝෂිත විය යුතු බව ය. ඒ සඳහා ගුරු දෙගුරුන්ගේ , වැඩිහිටියන්ගේ අවධානය යොමු කළ උන්වහන්සේ නිතර අවධාරණය කළ කරුණක් විය. ඒ ඕල්කට්තුමා සම්බන්ධ සිදුවීමකි. මෙරට බෞද්ධ විද්‍යාල ආරම්භ කළ ඕල්කට්තුමා දිනක් මහනුවර දී ඒ සඳහා ජනතාවගෙන් ආධාර ඉල්ලු අවස්ථාවේ එක මවක් තමන් හැඳ සිටි චීත්තයේ ගැට ගසාගෙන තිබූ ශත පනහක් එතුමාට ලබා දුන් බවත්, ඒ අවස්ථාවේ එතුමා එම මුදල කෝටි ගණනක් වටිනා බව පෙන්වා දුන් බවත් උන්වහන්සේ මතක් කර දෙන්නට ඇත්තේ බෞද්ධයන් ලෙස එකාවන් ව එක් වීමෙන්, අපට කළ හැකි දේ බොහෝ බව, යා හැකි දුර බොහෝ බව අවධාරණය කිරීමට විය හැකි ය.

ජාතියත්, සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමේ උදාර පරමාර්ථයේ දී උන්වහන්සේ වෙසෙසින් දිළිඳු ජනතාව නගා සිටුවීමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළහ. දිරි දරු සහන අරමුදල, ගැමි පුනරුත්ථාපන වැඩ සටහන, ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා ඒ අතර ප්‍රධානය.දිළිඳු ජනතාවගේ ජීවනෝපායට සවියක් වී දහමින් සිත පෝෂණය කරන මෙවැනි වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යාම උන්වහන්සේ වෙනුවෙන් දක්වන කෘතවේදී බවක් ම වනු ඇත.

ජනතාවට අධර්මයට ළංවෙන්නට නො දී ධර්ම මාර්ගයටම යොමු කිරීමේ මුල් පියවර ලෙස මහා පින්කම් සිදු කරමින් උන්වහන්සේ සුවහසක් බොදු දනන් මියුගුණ මහා සෑ වන්දනාව, මහා බෝ මහා සෑ අටමස්ථාන වන්දනාව, පොළොන්නරුව , සොළොස්මස්ථාන වන්දනාව ආදී මහා පින්කම්වලට සහභාගි කරවාගත්හ.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයන් හි නිරත වූහ. අවවාදයෙන්, අනුශාසනයෙන් සේ ම ආදර්ශයෙන් ද නිහතමානී ගුණයෙන් ද යුතු ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූහ. දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]