දානය පිළිකුල් කිරීමේ විපාකය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ විසින් දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි “ධනපාල” නම් ප්‍රේතයා
අරභයා මෙම කථාව දේශනා කරන ලදි.
සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවූ එක්තරා කල්පයක දසන්න රට ඒකරච්ඡ නම් නගරයේ
“ධනපාල” නම් මහාධන සිටුවරයෙක් වාසය කළේ ය. කොතෙක් ධනය තිබුණත් ශ්‍රද්ධාවන්තයෙකු
නොවූ හෙයින් යමක් පරිත්‍යාග කිරීමට සිතක් නොවී ය. තද මසුරු තැනැත්තෙක් වූ ඔහු
කර්මයෙහි විපාක නැතැයි යන නාස්තික දෘෂ්ටියෙහි පිහිටියෙකි. දන් දීමට කැමැත්තක්
නොතිබූ ඔහු යාචකයන් තමා වෙසෙන සිටු මැදුරට නොඑන පරිදි නිතර දොර කවුළු වසා ගෙන තනිව
ම ආහාර අනුභව කළේ ය. දන් දෙන, පින්කම් කරන, සමාජ සුභසාධනය පිණිස කටයුතු කරන බොහෝ
දෙනෙකු එයින් වැළක් වී ය. දන්දීම, සිල් රැකීම, නිශ්ප්‍රයෝජන දෙයකැයි පවසමින් පැන්
පොකුණු ආරාම උයන්වතු පාලම් ඒ දඬු ආදි පොදු දේපළ විනාශ කළේ ය.
පව් පින් විශ්වාස නොකළ හෙතෙම බොහෝ සැහැසිකම් කරමින් අකුසල් රැස් කළේ ය. හෙතෙම පසු
කලෙක මිය පරලොව ගොස් මරුකතරක එක්තරා ප්‍රේතයෙකු වී උපන්නේ ය. ඔහුගේ ශරීරය තල් කඳක්
මෙන් විශාල ය. සම ඉතා රළු ය. විරූපී ය. දුර්වර්ණ ය. අතිශයින් විරූපී වූයේ බියකරු
පෙනුමින් යුක්ත විය. පණස් වසරක් මුළුල්ලේ බත් සරළුවක් හෝ දිය බිඳක් නොලැබ
කුසගින්නෙන් හා පිපාසාවෙන් දැඩි ලෙස පෙළුණේ ය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව ධර්මය දේශනා කරමින් සැවැත්නුවර වැඩ වෙසෙන
සමයෙහි සැවැත් නුවර වැසි වෙළෙන්දෝ පන්සියයක් ගැල්පිට බඩු පටවාගෙන උත්තරාපථයට ගොස්
භාණ්ඩ අලෙවි කොට නැවත ආපසු එන ගමනේ දිය සි¼දීගිය එක්තරා ගඟක් අසබඩ රාත්‍රී නවාතැන්
ගත්ත හ. එම අවස්ථාවෙහි මෙම ප්‍රේතයා දිය පිපාසාවෙන් පෙළෙමින් පැන් සොයා ඇවිදින්නේ
වෙළෙන්දන් වාසය කළ ගඟ සමීපයට පැමිණ ඔවුන් ඉදිරියේ කපා දැමූ තල් කඳක් මෙන් බිම
වැටුණේ ය. නිරුවත්, විරූපි, බියකරු පෙනුමින් යුත් ප්‍රේතයා දුටු වෙළෙන්දෝ ඔහු
කවරෙක්දැයි විමසූ හ.
පෙර දසන්න රට ධනපාල නමින් වාසය කළ මහා ධන සිටුවරයා තමන් බවත්, මිථ්‍යා දෘෂ්ටියහි
පිහිටා කිසිදු පිනක් නොකළ හෙයින් වර්තමානයේ ප්‍රේතාත්මයක ඉපිද පිපාසාවෙන් හා
කුසගින්නෙන් පෙළෙන බවත් දැන්වී ය. ම විසින් කිසිදු යහපතක් නොකළා පමණක් නොව පොදු
දේපළ විනාශ කරමින් අන් අය ද යහපතින් වැළක් වූ හෙයින් ප්‍රේත ආත්මයේ ඉපිද කටුක වේදනා
විඳින අතර තව නොබෝ දිනකින් මෙයින් චුතව අවීචි මහා නිරයෙහි ඉපිද දුක්විඳීම ට සිදුවන
බවත් වෙළෙන්දන්ට පැවසී ය.
ප්‍රේතයා කෙරෙහි සානුකම්පිත වූ වෙළෙන්දෝ තම ගැල්පුරා තිබූ පැන් ගෙන ඔහුගේ මුඛයට
වත්කළ හ. බොහෝ වේලාවක් එසේ කළ ද ප්‍රේතයාගේ පිපාසය සංසිඳීම තබා තොලකට පමණවත් තෙත්
නොවී ය. කුමක් කළොත් පිපාසය සංසිෙඳන්නේදැයි ඇසූ වෙළෙන්දන්ට ඔහු පවසා සිටියේ
තථාගතයන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝයාට දන් පිරිනමා එම දක්‍ෂිණාව තමන්ට අනුමෝදන්
කරන ලෙසයි.
තම කටයුතු නිමාකොට සැවැත්නුවරට ගිය වෙළෙන්දෝ බුදුපාමොක් මහා සඟනට සතියක් දන්
පිරිනමා එම දක්‍ෂිණාව ප්‍රේතයා ට අනුමෝදන් කළහ. බුදුරජාණන් වහන්සේ මෙම පුවත ඇසුරු
කරමින් පැමිණි පිරිසට දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක පැහැදිලි කරමින් ධර්මය
දේශනා කළහ. මෙම පේත කථාවෙන් පැහැදිලි කරන්නේ මිථ්‍යා දෘෂ්ටියෙහි දරුණු විපාක ය.
මහාධන සිටුවරයෙක් ව සිටිය ද කිසිත් යහපතක් නොකළේ මිථ්‍යාදෘෂ්ටිය හේතුවෙන් ය. දස
වස්තුක මිථ්‍යා දෘෂ්ටිය අතිශය දරුණු ය යන්න මෙයින් පැහැදිලි වේ. ධර්මයේ දැක්වෙන
පරිදි දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, හොඳ නරක
කර්මවල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික පහළවන
සත්ත්වයන් නැත, අධ්‍යාත්මික දියුණුව අත්පත්කරගත් මහණ බමුණන් නැත යනු එම දසවස්තුක
මිථ්‍යා දෘෂ්ටිය යි.
ඒ සියල්ල සමාලෝචනය කළ විට එයින් දානය හා පරිත්‍යාගය යහපත් දෙයකැයි විශ්වාස නොකිරීම,
හොඳ නරක විශ්වාස නොකිරීම, මවුපියන්ට සැලකීම යහපත් දෙයැකැයි විශ්වාස නොකිරීම,
අධ්‍යාත්මික දියුණුව නොපිළිගැනීම අදහස් වේ. මහධන සිටුවරයාගේ දෘෂ්ටිය ද ඒ හා සමාන ය.
ඔහු හොඳ නරක මෙලොව පරලොව විශ්වාස නොකළ පරිත්‍යාගයට අකැමැති වූ අයෙකි. දානය හා
පරිත්‍යාගය පිළිකුල් අයෙකු බව දොරගුළු දමාගෙන ආහාර අනුභව කිරීමෙන් පැහැදිලි වේ.
කෙනෙකු යහපත් දෑ කිරීමට පෙළඹෙන්නේ ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ටිය හා විශ්වාසය අනුව ය.
දසවස්තුක මිථ්‍යා දෘෂ්ටිය පුද්ගලයා මෙන් ම සමාජයත් විපතට හෙලන නාස්තික දෘෂ්ටියකි.
මෙවැනි නාස්තික දෘෂ්ටිය සහිත පුද්ගලයන් මෙන් ම ඔවුන්ගේ ඉගැන්වීම් ද බුදුරදුන්
විසින් බැහැර කළ හ. නාස්තික දෘෂ්ටියක් සහිත පුද්ගලයාට අධ්‍යාත්මික විමුක්තියක්
කිසිසේත් ම බලාපොරොත්තු විය නොහැකි ය. ධනය තම ඒකායන අරමුණකරගත් මහාධන සිටුවරයා
සිදුකළ තවත් වරදක් වන්නේ පොදු දේපළ විනාශ කිරීම යි.
මහජන අවශ්‍යතාව සඳහා පුණ්‍යකාමීන් විසින් ගොඩනංවන ලද උද්‍යාන, පැන්පොකුණු, පාලම් ඒ
දඬු ආදී පොදු දේපළ විනාශ කිරීම බරපතල පාපයක් හා අකුසලයක් ලෙස නම්කර ඇත. සමාජ යහපත
සඳහා එවැනි දෑ නිර්මාණය කරන තැනැත්තාට දිවා රෑ පින් වැඩෙන බව වනරෝප සූත්‍රයේ දැක්වේ
(තෙසං දිවාච රත්තොච සදා පුඤ්ඤං පවඩ්ඩති.) ඉදිකිරීමෙන් දිවා රැය පින්වැඩෙන එබඳු තැන්
විනාශ කරන්නෙකුගේ අකුසල කර්මය කොතරම් බලවත් ද යන්න ධනපාල පේත කථාවෙන් පැහැදිලි වේ.
පොදු ආයතන මෙන්ම ඒවාට අයත් විවිධ සම්පත් අවභාවිත නොකර එයින් නිසිඵල ලබාගැනීමත්,
ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමත් මහජනයාගේ වගකීමක් වන අතර කුඩා වයසේ සිටම මෙම යහපත්
ආකල්ප දරුවන් තුළ වර්ධනය කිරීම දෙමාපියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ද වගකීමකි. අනාගත
වංශය වැනි බණකථා පොත් කියවූ පැරැණි සිංහල බෞද්ධ ජනයා පොදු දේපළ ආරක්ෂා කළා පමණක්
නොව තමන් වාසය කරන ප්‍රදේශවල ආරාම උද්‍යාන, ළිං, පැන්, පොකුණු, අම්බලම් ඉදිකොට මඟ
දෙපස පින්තාලි තැබීමෙන් අනාගත භවයේ මෛත්‍රී බුදුරදුන් දැකීමට අවශ්‍ය බොහෝ පින්කම්
සිදුකර ගත්ත හ. ධනය තම එකම අභිලාසය කරගත් ආත්මාර්ථකාමී මිනිසා එවැනි යහපත් ක්‍රියා
දකින්නේ අර්ථශූන්‍ය දෙයක් වශයෙනි.
ලෝකය පවතින්නේ අන්‍යොන්‍ය සහයෝගය මත ය. ධනවතුන්ගේ අනුකම්පාව දිළින්දන් වෙත ලැබිය
යුතු වේ. ධනවතුන් උපයන ධනයෙන් කොටසක් පොදු ජන සුභසිද්ධිය වෙනුවෙන් වැය කිරීම
ඔවුන්ගේ ධනය නිසි තැනට යෙදවීමක් (ඨානගත) පත්තකම්ම සූත්‍රයේ දැක්වේ. ධනයෙන් මත්ව පව්
පින් නොහඳුනාගෙන කටයුතු කළ මහාධන සිටුවරයා වැන්නෝ කොතෙකුත් දක්නට ලැබේ. බුදුරදුන්ගේ
ඉගැන්වීම අනුව කෙනෙකුගේ ධනවත්කම හෝ බලවත්කම මෙලොවට වළංගු වුව ද එයින් පරලොව
සුගතියක් අපේක්ෂා කළ නොහැකි ය. එයට හේතුව ධන සම්පත් සියල්ල අතහැර මරණයට පත්වන
හෙයිනි.
පරලොව ජීවිතයට පිහිට වන්නේ රැස්කළ පින් හා කුසල් පමණි. එබැවින් ධන ආශාවෙන් මත් නොවී
ධනයෙන් කොටසක් වැයකර ලොවට සෙතක් වන දෑ ද කළ යුතු වේ. ධනය දෙලොව ට ම ප්‍රයෝජනවත්
වන්නේ එවිට ය. මහා ධන සිටුවරයෙක් ව මසුරුකමින් රැස්කළ ධනයෙන් සිටුවරයාගේ පරලොව
ජීවිතයට අල්ප වූ හෝ යහපතක් සිදුනොවුණි. අවසානයේ දී ඔහුට ප්‍රේතාත්මයෙන් පවා මිදීමට
උපකාරී වූයේ තමාගේ ඥාතීන් ද නොවන වෙනත් අයෙකු විසින් කළ පින්කමකින් ය. මෙය කෙතරම්
අවාසනාවක් ද? ඇති තරම් ධනය තිබියදී ඒවා වැයකොට පින්කම් කළේ නම් ඔහුට එවැනි ඉරණමක්
හිමි නොවේ.
උපයන ධනයෙන් කොටසක් තමන්ගේ වර්තමාන ජීවිතයේ අවශ්‍යතා සඳහා යොදාගන්නා අතර ම
සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා පින් කිරීම ට යෙදවීමෙන් දෙලොව ම ජයගත හැකි වේ. |