UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසිකත්වය ලියැවෙන විශ්මිත නිමැවුමක්

ඓතිහාසිකත්වය ලියැවෙන විශ්මිත නිමැවුමක්


නිර්මාණය වෙමින් පවතින නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

සිත්පිත් නැති මහ කළුගලකින් මෙත්, කරුණා මහ ගුණ විදහා දැක්වෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවයි. හෙළ රජ දවස සිදුකළ එවන් විශ්මිත නිර්මාණ අද පවා අපේ රටේ ඓතිහාසිකත්වය විදහා දක්වයි. ලෝවැසියන් එබඳු නිර්මාණ දැකබලා ගැනීමටත් අපේ රටට පැමිණේ.

මෑත භාගයේ දී මහ කළුගලින් නෙළන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට විවිධ පළාත්වල නිර්මාණය වී ඇත. ඒ අතර උඩුබද්දාව නැවකඩ නිර්මාණය වෙමින් පවතින බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට ඉතිහාසයට අභිනවයෙන් එකතු වනු ඇත.

විශ්මිත නිර්මාණ වසරකින් දෙකකින් කළහැකි නොවේ. ඊට ඉතා දිගුකලක් ගතවනුයේ ඉතා සියුම් ආකාරයෙන් එබඳු නිර්මාණ කළ යුතු හෙයිනි. නවීන තාක්ෂණික ක්‍රම ද උපයෝගී කර ගනිමින් අපේ රටේ නිර්මාණ ශිල්පීන්ගේ සුරතින් බිහිවන කලා නිර්මාණ බුදුදහමත්, කලාවත් ඒකරාශී කරවන්නට ද සමත්වන බවද කල්පනා කළ යුතු ය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැවකඩ වැව ඉස්මත්තෙහි පිහිටි රමණීය භූමි භාගයක පිහිටි විහාරස්ථානයකි සෙල්ගිරි, සේල පබ්බත හෙවත් ශෛලගිරි විහාරය.

තනියවල්ලභ නමැති ප්‍රාදේශීය රාජ්‍ය පාලකයා විසින් ස්වකීය ඇතුන්ට ස්නානය සඳහා කරවන ලද නාවකඩ අනතුරුව නැවකඩ වී ඇතැයි ජනප්‍රවාදයෙහි පවතී.

මෙරට ඉංගී‍්‍රසි පාලන සමයෙහි දී කරන ලද සිතියමෙහි සටහන් වී ඇති මෙම විහාරස්ථානයේ මෑත භාගයෙහි ආදි කර්තෘන් වහන්සේ යටගම ඤාණුක්කංස නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගෙන් අනතුරුව පල්ලෙපිටියේ ධම්මවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති ධූරය හොබවා ඇත. වත්මන් විහාරාධිපතින් වහන්සේ ඉලිප්පදෙණියේ සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

කනදුල්ල ධර්මරාජ පිරිවෙන්හි පරිවෙනාධිපති ධුරය හොබවන ලද රාජකීය පණ්ඩිත ආලංකුලමේ පේමසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි නැවකඩ සෙල් පිළිමය නිර්මාණය වෙමින් පවතී. මෙරට ඉතිහාසයට ඒකරාශී වන එම නැවකඩ සෙල් පිළිම වහන්සේ නිර්මාණය පිළිබඳ ආලංකුලමේ පේමසිරි ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

නැවකඩ වැව අසල පිහිටි සේල පබ්බතයෙහි අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අදහස ඇති වී තිබිණි. එම දැවැන්ත පර්වතයෙහි මෙම ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කළේ 2010 සැප්තැම්බර් මස 24 වැනිදා ය.

පද්මාසනය සමඟ උසින් අඩි 60 ක් වන එම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ විතර්ක මුද්‍රාව සහ කටකහස්ත මුද්‍රාවෙන් යුක්තව නිර්මාණය කරගෙන යනු ලැබේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සඳහා බොහෝ දෙනා විවිධ අයුරෙන් ආධාර උපකාර කරනු ලැබේ. පොල් ඉරටු, පොල්කටු අලෙවි කර ඇතැම් සැදැහැවත්තු ආධාර කරති. නැවකඩ, බින්නැහැපොළ, මඩකුඹුරුමුල්ල, උඩුබද්දාව, කහදෙණිගම, බිබිලදෙණිය මහාගාර ආදී අවට ගම් රැසක එක් නිවසකින් පොල් ගසක් බැගින් මේ සඳහා වෙන් කර ඇති අතර දෙමසකට වරක් එම ගස්වල පොල් කඩා අලෙවිකර එම මුදල් විහාරස්ථානයට ගෙනැවිත් ආධාර කරති. උඩුබද්දාවේ පදිංචි ආර්.එම් රත්නායක මහතා පොල් අක්කර දෙකක් ද, මඩ කුඹුරුමුල්ලේ සුදර්ශනාරාමයේ පඩිකාරමඩුවේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොල් අක්කර භාගයක් ද පරිත්‍යාග කර ඇති අතර ඉන් ලැබෙන ආදායම සෙල් පිළිම වහන්සේ නිර්මාණයට වැය කරනු ලැබේ.

එමෙන් ම ලැබෙන උපකාර අතර ඇතැම් සැදැහැතියන් මේ සඳහා බුලත් කොටු වගාකර ඒවා අලෙවියෙන් ලැබෙන ආදායම ද විහාරස්ථානයට ගෙනවිත් පිරිනමති.

වයඹ පළාතේ පාසල් දරුවන්ගෙන් මේ සඳහා විශාල සහායක් ලැබුණු අතර ඊට වත්මන් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් මහතාගේ සහ එම මහත්මියගේ කැපවීම ද අගය කළ යුතුව ඇත.

පිළිම වහන්සේ නිර්මාණය වන ආරංචිය දැන ගත් දා පටන් මෙරට විවිධ ප්‍රදේශවලින් මෙම කටයුත්ත නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ලැබෙන ආධාර ගැනද සිහිපත් කළ යුතුව ඇත. කෝටි ගණනක් වැය කළ යුතු මෙම මහඟු කටයුත්තට ආධාර කරන්නැයි කිසි විටෙක ධර්ම දේශනාවන්හි දී සිහිපත් නො කිරීම ද විශේෂත්වයකි. ධර්ම දේශනා සඳහා විවිධ පළාත්වලට වැඩම කළ ද මේ සඳහා ආධාර නොඉල්ලීමට හැම විට කටයුතු කළේ ය. මුදලට බණ කියනවා ය යැයි චෝදනාවට ලක් වීම ඉන් වැළකී ගියේ ය.

මෙබඳු ඓතිහාසික නිර්මාණයක් සඳහා අපේ ම නිර්මාණ ශිල්පියෙකු සොයමින් සිටි අවස්ථාවක මිනුවන්ගොඩ ස්ටාර් ඉන්ඩස්ට්‍රීස් අධිපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතාගේ නිර්මාණ දැක මෙම මහඟු කටයුත්තෙහි නිර්මාණ දායකත්වය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ඒ මහතා එකඟවීමද අප ලද භාග්‍යයක් සේ විශ්වාසයේ පවතී.

පිළිම වහන්සේ නිර්මාණයට සහ පරිසරය නිර්මාණයට ද සමඟ රුපියල් කෝටි හතරක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙන අතර නිර්මාණ ශිල්පී මහතා කිසිවිටෙක නිර්මාණ කටයුතු සඳහා මුදල් ඉල්ලා අප අපහසුතාවයට පත් නොකිරිම ද අගය කළ යුත්තකි.

ලබන වසරේ වෙසක් හෝ පොසොන් පොහොයට ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු අවසන් කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බව ද ආලංකුලමේ පේමසිරි හිමියෝ පැවසූහ.

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]